Saturday, February 15, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 8

මගේ පටිච්ච සමුප්පාද විවරණය කියවූ කෙනෙක්ට එන්න පුලුවන් එක් ගැටළුවක් තමයි සියලු හේතූන් ද ඵලයන්ද එක විටම ඇති වී එකටම නිරුද්ධ වනවා නම් කොහොම ද කර්ම ඵල විග්‍රහ කරන්නේ කියන එක. ඒ ගැන යම් විස්තරයක් මගේ කර්මය3 ලිපියේ සදහන් කලා. නමුත් මං මෙතැන දී එක් උදාහරණයකින් එය පැහැදිලි කරන්නම්.

එක ළමයෙක් වැස්සට තෙමෙනවා. මේ හේතුවෙන් මේ ළමයට උණ හැදෙනවා. මේ දරුවා පරික්ෂා කරන වෛද්‍යවරයා බෙහෙත් නියම කරනවා. දැන් මේ ළමයගේ මවගෙන් ඇහුවොත් උණ ගන්න හේතුව අම්මා කියාවී වැස්සෙ තෙමුණ නිසා කියලා. නමුත් වෛද්‍යවරයා කියා වී වෛරස් එකක් ශරීරයේ තියෙනවා ඒ නිසා උණ හැදිලා කියලා. දැන් මෙතැන කවු ද හරි උත්තරය දුන්නේ? අම්මා ද වෛද්‍යවරයා ද? අපිට පේනවා දෙන්නම හරි. නමුත් අම්මා ට ළමය ව සුව කරන්න බෑ. මොකද අම්මා කියන්නේ අතීත හේතුවක්. ඒ වගේම ඒ උත්තරය 100%ක් හරි නෑ. මොකද ඇත්තටම වැස්සට තෙමුණ නිසා නම් උණ ගන්නේ, තෙමෙන හැමෝටම උණ හැදෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ. වෛද්‍යවරයා කියන්නේ වර්තමාන හේතුව. ඒකට වෛරසය නැතිකලාම උණ නැති වෙනවා. ඒ වගේම ඒ වෛරසය තියෙන හැමෝටම උණ හැදෙනවා. ඒ නිසයි ධර්මය පච්චුප්පන්න කියන්නේ.
ඒ වගේ අපිට යම් ප්‍රතිඵලයක් දුටු විට එහි හේතුව ද ඒ වෙලාවේම දකින්න පුලුවන්. එසේම ඒ හේතුවට හේතුව, නැවත ඒ හේතුවට හේතුව ආදී වශයෙන් අතීතයට බැලීමෙන් අතීත හේතුවක් ද දක්වන්න පුලුවන්. මං හිතනවා ඒ ගැටළුවට ඒ උදාහරණය ප්‍රමාණවත් කියලා.

ඊ ළගට කෙනෙක් ට එන්න පුලුවන් ගැටළුවක් තමා හේතුව නැති කලාම ඵලය නැති වෙනව නම්, තණ්හාව නැති කලොත් පිලිවෙලින් වේදනාව ද, ඵස්ස ද, .........., නාමරූප ද,..........අවිද්‍යාව ද ආ දී වශයෙන් සියල්ල ම නැති විය යුතුයි නේද? එසේ නම් රහතන් වහන්සේලාට නාමරූප, පංචස්කන්ධ, තියෙන්නේ කොහොමද? නිවන් දකිනකොට සියල්ල අතුරුදහන් විය යුතුයි නේද? කියලා. මේ ගැටළුව ටිකක් තේරුම් ගැනීමට අපහසු ගැටළුවක්.

මා හිතන විදියට නිවන් දකිනකොට පටිච්ච සමුප්පාදයේ දැක්වෙන සියල්ලම නැති වෙනවා. ඉතිරි වන්නේ ඒ එක් කොටසටවත් අයිතිනැති දෙයක්. ඒක හරියට මං කලින් ලිපියේ සදහන් කල උදාහරණය වගේ. කොළපාට කණ්නාඩි දාන අපිට කවදාවත් දම්පාට දකින්න නොලැබෙනවා වගේ අපිට නිවන් දකිනකම් ඇත්ත ස්භාවය පෙනෙන්නෙ නෑ. කොලපාට කණ්නාඩි දාලා දම්පාට බැලුවම කලුපාට පේනවා වගේ අපි ට පෙනෙන්නෙම රහත් උන උතුමන්ලාගේ කිසි වෙනසක් සිදු නොවූ බවයි. ඇත්තම කිව්වොත් අපිට තියෙන්නෙත් රහතන් වහන්සේලාට තියෙන දේවල් ම තමයි. නමුත් අවිද්‍යාව නමැති කොලපාට කණ්නාඩියෙන් බලන අපිට අපිව පේන්නෙත්, රහතන් වහන්සේලාව පෙන්නෙත් නාමරූප හැටියටමයි. ඒකයි අවිද්‍යා පච්චයා නාමරූප කියන්නේ. මේ නිසා අපිට පටිච්ච සමුප්පාදය මේ විදියට ද දක්වන්න පුලුවන්
අවිද්‍යා පච්චයා සංකාරා
අවිද්‍යා පච්චයා විඥාන
අවිද්‍යා පච්චයා නාමරූප
අවිද්‍යා පච්චයා සලායතන
අවිද්‍යා පච්චයා ඵස්ස
අවිද්‍යා පච්චයා වේදනා
අවිද්‍යා පච්චයා තණ්හා
අවිද්‍යා පච්චයා උපාදාන
අවිද්‍යා පච්චයා භව
අවිද්‍යා පච්චයා ජාති

දැන් කෙනෙක්ට එන්න පුළුවන් ගැටළුවක් තමා, එහෙනම් ජාති (යමක ඇති වීම) අවිද්‍යාව නිසා විද්‍යාමාන වන දෙයක් නම් මේ ලෝකයේ ඇතිවන දෙයක් නැද්ද? මේ ලෝකේ ශුන්‍ය ද කියලා. අවිද්‍යාව නිසා තියෙනව වගේ පේනවා විතරද, ඇත්තටම නැද්ද කියලා. ඒකට පිළිතුරක් ඊ ළග ලිපියෙන් මං මගේ දැනීමේ හැටියට ඉදිරිපත් කරන්නම්

ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න
ඔබට නිවන් සුව ලැබේවා !

No comments:

Post a Comment