Sunday, January 5, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 5

අද මා ලියන්නේ යථාර්තය සොයා ලේබලය යටතේ එන 50 වැනි ලිපියයි.  පටිච්ච සමුප්පාදය යටතේ අපි ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා කියන තැනට වෙනකන් සහ අවිද්‍යා පච්චයා සංස්කාර දක්වා ද සාකච්චා කලා. මොකද මේ හේතු ඵල දහම රේඛිය හෝ චක්‍රාකාර දෙයක් ලෙස විග්‍රහ වුනත් ඉහත සාකච්චා කල කොටස් දෙක සමාන්තරව සිදුවන දෙකක්. වඩාත් නිවැරදිව කියනවනම් මේ මුලු පටිච්ච සමුප්පාද චක්‍රයම ක්‍රියාත්මක වෙන්න ගතවන්නෙ එක මොහොතක් පමණයි. සමහරු එය ආත්ම  බවයන් 3ක් දක්වා ගෙන යනවා.

අද සාකච්චා කරන්න තියෙන්නේ යම් අරමුණක් පැමිණි පසු එය අදුනාගැනීමෙන් අනතුරුව සිදුවන්නේ කුමක් ද යන්නයි. අපි යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසක්, පහසක් හෝ සිතුවිල්ලක් හදුනාගැනීමෙන් අනතුරුව ඒ පිලිබද සිතේ උපදින කැමැත්ත හෝ අකමැත්ත (තණ්හාව) මත කර්ම සිදු වෙනවා. වෙන විදියකින් කියනවනම් සංස්කාර උපදවනවා. “මේ ලස්සන කාර් එකක් ඒක මට ලැබේවා“, මේ මගේ හතුරෙක් ඕකව විනාශ වේවා“ ආදී වශයෙන් එක්කෝ යම් ක්‍රියාවක් කිරීමට සිතෙනවා නැත්නම් යම් සිතුවිලි පරම්පරාවක් හටගන්න පටන්ගන්නවා ඒත් නැතිනම්, ඉරිසියාව, ලෝභය, ද්වේශය ආදී හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. මේ සිද්ධියට කියනවා නැවත යමක් ඉපැද්දවීමේ, කිරීමේ, සිතීමේ, ආශාව හෙවත් උපාදානය කියලා.

පරණ උදාහරණයම ගතහොත් වචනය හදුනාගැනීමෙන් පසු එහි ඉතුරු වචන හෝ ඊළඟ වාක්‍ය කියවීමේ උවමනාව ඇතිවෙනවා. මේ උවමනාව නිසා ඇස ඊළඟ වචනය දෙසට යොමුවෙනවා. මෙහිදී තේරුම් ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඊ ළඟ වචනය දෙසට ඇස හැරෙනවා කිව්වට ඇත්තටම වෙන්නෙ, ඇසක් පහළවීමට නැතිනම් පහල කිරීමට ඇති කැමැත්ත නිසා ඊ ළඟ වචනය අරමුණූ කරගෙන ඇසක් ඇති වීමයි. එයට කියනවා ඇසක් ඉපදුනා කියලා. ඒක කලින් තිබුණු ඇහැක් නෙවෙයි. එතකොට ඒ ඇස මොන ඇසක් ද යන්න තීරණයක් තිබිය යුතුයි. මොකද ඒක අලුත්ම ඇහැක් නිසා. ඒක බලු ඇහැක් ද, මනුස්ස ඇහැක් ද, දේව ඇහැක් ද ආදී වශයෙන් ඇහැ හටගන්නේ මොන විදියද කියන එක තීරණය විය යුතුයි. ඒ තීරණයටත් හේතු ගොඩක් තියෙනවා. එකක් තමා කැමැත්තේ ස්භාවය, ඒ කියන්නේ උපාදානය ඒ වගේම කර්ම ස්භාවය, ඒ කියන්නේ මොහොතකට පෙර තිබූ නිමිත්ත, දැන් ද්වේශයක් ඇත්නම් ඇසත් ඊට සුදුසු පරිදි තමයි පහල වෙන්නේ. ඒ වගේ හේතු තව තියෙන්න පුලුවන්. ඒ අතරිනුත් වැඩියෙන්ම බලපාන දෙයක් තමා භවය.  භවය යන්න හරියටම විග්‍රහ කරන්න මට තේරුමක් නැතත් ඒක නිකන් හරියට “සුදුසු පරිසරය“ වැනි අදහසක් දෙන දෙයක්.

උදාහරණයකින් කියනවනම් සෘණ උෂ්ණත්ව වලදී ජලයේ හට ගැනීම ඝණ ස්භාවය, සාමාන්‍ය උෂ්ණත්ව වලදී ද්‍රව ස්භාව හා වැඩි උෂ්ණත්ව වලදී වාශ්ප ස්භාවය ගන්නවා. අන්න ඒ වගේ උෂ්ණත්වය අනුව ජලයේ ස්භාවය වෙනස් වන විදියට භවයේ ස්භාවය අනුව පහළ වන්නේ මොනවාගේ ඇසක් ද යන්න තීරණය වෙනවා. භවය සකස් වෙන්නේ උපාදානයේ හැටියටයි. එය ද්වේශ සහගත උපාදානයක් නම් (මේ මගේ හතුරෙක් ඕකව විනාශ වේවා වගේ) ඇස පහළ වන භවය ද්වේශ සහගත කාම භවයක්. අනෙක් හේතු මත සාමාන්‍යයෙන් ජීවිතය පවතින තාක් අපට පහළ වෙන්නෙ මිනිස් ඇසක් ම තමයි. නමුත් මේ මරණ මොහොත නම් ඊ ළඟ ඇස සතර අපායේ තැනක පහල වෙන්නත් පුළුවන්.

දැන් තණ්හාවේ සිට භව දක්වා එන හැටි පැහැදිලි ඇතැයි සිතමි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන හැටිත් ඒ සමඟම උපාදාන ඇතිවන සැටිත් පැහැදිලි ඇතැයි සිතමි. යම් ගැටළුක් හෝ අදහසක් හෝ විවේචනයක් ඇත්නම් සදහන් කරන්න.

ඔබට නිවන් සුව ලැබේවා !

2 comments:

  1. යකඩෝ උඹ ඔයින් 50 ක් ලිව්වයැ.. මම දන්නෑ නෙව..

    ReplyDelete