Tuesday, January 21, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 6

පසුගිය ලිපියේ භව දක්වා කතා කලා. භව යනු උපාදානයේ ස්භාවය අනුව නැවත යමක් ඇති කිරීමට අවශ්‍ය පරිසර තත්වය වැනි දෙයක් බව එහිදී සදහන් කලා. මේ තත්වය ඇති වූ විට ඒ සමඟම නැවත ඇසක පහල වීම කනක පහල වීම ආදී වශයෙන් ආයතනත් ඒ හා බැදි විඥානයත් පහල වේ එය භව පච්චයා ජාතී වේ.

මෙය තව දුරටත් පැහැදිලි කල යුතුය. දැන් අපි වාහනයක යන විට එලිය බලාගෙන ගියොත් පාර දෙපස ඇති සියල්ල ඇස ගැටේ. නමුත් අපිට දැක්කා කියන අදහස එන්නේ දේවල් කීපයක් පමණයි. එනම් ඇස පහල වීම සිදුවන්නේ ඒ ඒ වස්තූන් කෙරෙහි පමණයි. එනම් පුද්ගලයකු ඉපැදෙන්නේ ඒ ඒ අවස්ථාවල පමණයි. ඒ අනුව අපේ විඥානය යම් තැනක පහල නොවේද එතැන රූපයක් (ශබ්ද, රස, ගන්ධ, පහස, වර්ණ) පහල වීමක් ද නැත. අපි හිතුවත් අපි නොදැක්කත් ඒක එතැන තිබුනා කියලා ඇත්තටම එතැන අපි හිතන ජාතියේ දෙයක් නෑ. ඒ නිසා තමයි විඥාන පච්චයා නාමරූප කිව්වේ.

එය උදාහරණයකින් පැහැදිලි කලොත් නිල්පාට හා රතුපාට එකතු වීමෙන් හැදෙන්නේ දම්පාට. දැන් මේ දම්පාට දිහා කොල පාට කන්ණාඩියක් දාපු කෙනෙක් බැලුවොත් පෙනෙන්නේ කලු පාට. ඒ කලුපාට ඇතිවුනේ ඒ මනුස්සයා දම්පාට දිහා බැලූ මොහොතෙමයි. ඊට කලින්වත් පසුවවත් කලුපාට තිබුනේ නෑ. නමුත් අර මනුස්සයා හිතන්නේ කලුපාට දිගටම එතැන තියෙනව කියලයි. මනුස්ස ඇසත් විඥානයත් බාහිර රූපයක් මතට වැටුණු විට (එක්වූ විට) එතැන අලුත් රූපයක් උපදිනවා. ඒ වගේම අනික් පැත්තත් එහෙමයි. කලුපාට ඇතිවන්න පාට තුනම එකතු වන්න ඕන. ඒ නිසා විඥානයක් (හැදින ගැනීමක්) උපදින්නත් නාමරූප තිබිය යුතුයි.
උදාහරණයකින් කියනවනම් යමක් බලන කොට වෙන දෙයක් ඇහෙන්නෙ නෑ. එතකොට ශබ්ද රූපයක් පහල වෙලා නෑ. තියෙන්නේ ශබ්ද තරංග නැත්නම් චලනය වන අංශු ස්භාවයක්. ඒක ශබ්ද රූපය නොවේ.
ශබ්ද රූපය යම් තැනක පහල වේ නම් ඒ සමගම සෝත විඥානයද පහල විය යුතුයි. ඒ නිසා නාමරූප පච්චයා විඥාන කියන්නත් පුලුවන්. එම විඥානයත් නාමරූපත් පහල වීම (හට ගැනීම) ජාති ලෙස දක්වන්න පුලුවන්.

දැන් භව පච්චයා ජාති හා විඥාන පච්චයා නාම රූප යන කොටස් දෙකත් පැහැදිලි ඇතැයි සිතමි. මා පෙර සදහන් කල පරිදි සියල්ලෙහිම හටගැනීමත් නිරුද්ධ වීමත් එකට එක මොහොතෙම ඇතිවන ධර්මතා බව පැහැදිලි ඇතැයි ද සිතමි.

ඔබට නිවන් සුව ලැබේවා !

No comments:

Post a Comment