Sunday, January 20, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 2

අරවින්ද ත් මමත් කුඩා කාලයේ පටන්ම මිතුරෝ විය. අප දෙදෙනාම ගියේ එකම පාසලටය. ඔහු කුඩා අවදීයේ දීම ඔහුගේ පියා ඔවුන්ව හැර දමා ගොස් තිබිණ. කූඩා කාලයේ පටන් ඔහුව හදා වඩා ගැනීමට බේබි නැන්දා නොගත් උත්සහයක් නොමැත. ගල් කැඩූවාය. ලණු ඇඹරුවාය. පොල් අතු විව්වාය. කූලී වැඩ කලාය. කඩවල් වලට ආප්ප පිච්චුවාය.

 ඔහුත් මාත් උසස් පෙළ දක්වාම එකම පන්තියේ ඉගෙන ගත්තෙමු. ඔහුට උසස් පෙළට සාමාන්‍ය සාමාර්ථ තුනක් සමග සම්මාන සාමාර්ථයක් තුබුනේය. මට සම්මාන සාමාර්ථ දෙකක් සමග අධි සම්මාන සාමාර්ථ දෙකක් තිබුණි. එබැවින් සරසවි වරම් ඔහුට අහිමි විය. මා සරසවියට බදවාගෙන ඇති බව දැනගත් ඔහු හුගාක් සතුටු විය. ඊට සතියකට විතර පසු ඔහු රස්සාවක් හොයාගෙන කොළඹ යන බව පවසා ගෙදරින් පැනගොස් තිබිණ. ඉන් පසු මට ඔහුව මුණ ගැසුනේ මා නිවාඩුවට ගෙදර පැමිණි එක් අවස්ථාවකත් බේබි නැන්දාගේ ඉලව් ගෙදරදීත් පමණි. පළමු වර හමු වූ අවස්ථාවේ ඔහු පැවසුවේ තමා ලොකු ගොඩනැගිලි ඉදිකිරීම් වැඩපලක වැඩ කරන බවය. 

“කොහුවල බහින අය ඉස්සරහින් බැහැගන්න“

ඒ හඩින් නැවතත් පියවි ලොවට ආ මා විගහට බසයෙන් බැස ගතිමි.
කොහුවල හන්දියෙන් බැස ගත් මම අසල පිහිටි ලොතරැයි කූඩුව වෙතට ගියෙමි. මොහිදිම්බෙක් මහතාගේ
“සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා“ ගීතය හි හඩ යටපත් කරගෙන මා “ මේ උන්නැහේ කැළණි හෝල්ට් කොහෙද තියෙන්නේ“යැයි කූඩුව තුල උන් පුත්ගලයාගෙන් විමසිමි.
“ ආ.... මේ.. කැළණි හෝල්ට් ද? ඔහොම උඩහට කෙලින්ම ගියාම බස් ගහල ඇති මහත්තයා “ කියූ ඔහු මිටියක් ගෙන ලැල්ලෙහි ඇති ඇණ වලට තට්ටු කරන්නට විය.
“බොහොම ස්තූතියි මහත්තයා“ කියූ මම එතැනින් පිට විය. තවමත් යකඩ කටින් ගීතය වාදනය වෙමින් පැවතින.
පන ගියත් පෑගී අද වාසනාව අද අදිනවා.....

කැළණි හොල්ට් එකට ආ මට 2 වන පටුමග සොයා ගැනීම අපහසු නොවිණි. එහි මදක් දුර ගිය විට කොල පාට ගේට්ටුවක් සහිත දෙමහල් ගොඩනැගිල්ල පහසුවෙන්ම සොයා ගත හැකි විය. ඇත්තටම අරවින්දගේ දියුණුව දැක මට මහත් සතුටක් ඇතිවිය.
මම ගේට්ටුවට දෙවරක් තට්ටු කලෙමි. ටික මොහොතකින් ගේට්ටුව විවෘත වී කාන්තා මුහුණක් එලියට එබින. මද වෙලාවක් මදෙස බලා සිට “කරුණාරත්න ?“ යැයි ඇසීය.
මමද සිනාසී හිස සැලුවෙමි.
“ආ එන්න එන්න මහත්තයා අපෙ එක්කෙනා කිව්වා මහත්තයා අද මෙහෙ නවතින්න එන වගක්. එයාට අද වැඩනේ මං හිතන්නේ හාර්ෆ් ඩේ එකක් දාලා ඒවී. “
“මිසිස් අරවින්ද මීට කලින් මාව දැකල නැතුව ඇති. මට මගුල් ගෙදරවත් එන්න හම්බ උනේ නෑනේ“ මා ඇසිමි.
“ආ ඔව් ඔව් මට අරවි, මහත්තයා ගැන කියලා තියෙනවා ඕන තරම්. එන්න මහත්තයා ඇතුලට. එහෙන් උදේම එන්න ඇත්තේ. ගේ හොයා ගන්න අමාරු උනේ නෑ නේ?“ ඈ විමසීය.
“ඔව් උදේ 5.30හේ ආවේ. ගේ හොයා ගන්න අමාරු උන්නෑ. තට්ටු දෙකේ ගෙයක් තියෙන්නේ මේ ගේ විතරනේ “. මා එසේ කියූ විට ඇගේ මුහුණට ආඩම්බර බවක් ආරූඪ විය.
“ ඉදගන්න මහත්තයා.  මහත්තයා අපේ මහත්තයාට සෑහෙන්න උදව් කලාලු නේද ඉගෙන ගන්න කාලේ.“

ඇත්තටම අරවින්ද මුල අමතක නොකරන හොද මිත්‍රයයෙකි. “ ආ ඔව් අපි දෙන්නා උසස් පෙළ වෙනකම්ම එකටමයි හිටියේ.“
“ඉන්නකො මං බොන්න මොනව හරි හදන් එන්නම්. එතකන් මහත්තයා මෙතනම ඉන්නවද කාමරයට ගිහින් ඉන්නවද ? හ්ම්ම් කමක් නෑ එන්නකො කාමරය පෙන්නන්න. “

ඈ සාලය අසලම වූ කාමරය වෙත පිය මැන්නාය. මාද ගමන් මල්ල රැගෙන ඈ පසු පසින් කාමරයට ගියෙමි.දොර අසලම බිත්තිය අයිනේ එහි ඇදක්ද, දොර කෙලින්ම වූ බිත්තියේ ජනේලය අසල ලියන මේසයක්ද , ඇදට ඉහලින් ඇදුම් රදවනයක් හා ඒ අසලම අල්මාරියක් ද විය.
“බොහොම ස්තූතියි මිස්.“ කියු මම ඇද උඩ ඇදුම් බෑගය තබා ඒ අසලින් හිද ගතිමි. ඇය කාමරයෙන් ඉවත් විය.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/02/3.html

No comments:

Post a Comment