දරුවා සාසනයට පුජා කල පසු සියල්ල අවසාන නොවීය. නන්දා තව තවත් පින් කම් වලම යෙදෙන්නට විය. හැමදාම රාත්‍රියට පිරිත් කියා එම දවසේ කල දේ නැවත සිහිපත් කර ඒ සත්‍යයේ බලයෙන් දරුවා සුව කරන මෙන් සත්‍ය ක්‍රියා කිරීම ද ඇගේ දින චර්යාවේ කොටසක් විය.ඈ කළුතර රැකියාව කරන අතර කෑම පැයේ කළුතර බෝධිය වන්දනා කිරීම ද පුරුද්දක් ව පැවතියාය. දිනක් ටික ටික එකතු කල මුදල් පන්සලේ පැයක විදුලි බිල වෙනුවෙන්පූජා කලාය. මෙසේ ගැහැණුන්ගේ ජන්ම ගතියක්සේ පවතින ආගම ධර්මයට ඇති විශ්වාසය නිසාම ඈ දිගින් දිගටම එවැනි දේ වල නිරත විය.
නමුත් කරුණාරත්න සැම විටම විශ්වාස කලේ ප්‍රතිකාර කිරීමෙන් ළමයා ගොඩ ගැනීමට ඇති හැකියාවයි. ඔහු අරූද කොල කොටා හිස ගැල්වූයේ හිස කෙස් එනු පිණිසය. ආහාර රුචිය වැඩෙනු පිණිස පැරඩෝල් නමැති විටමිනය ද, ශරීර ශක්තිය වැඩෙනු පිනිස සස්ටජන් පිටි ද ගෙනැවිත් දුන්නේය.
මේ අතර දිනක් නන්දා තම මහගෙදර ගියේ දරුවා ද රැගෙන දෙමව්පියන් බැලීමටය. ඕ එහි යන විට ඇගේ මාමා කෙනෙකු පැමිණ සිටියේය. දරුවා දුටු හේ දරුවාගෙන සුරතල් කරන්නට විය. "අප්පොච්චියේ මේ බලාපල්ලකෝ මෙකා ඉන්නහැටි කිරි දරුවෙක් වගේ. ඇයි බං උඹ මේකාට කන්න දෙන්නැතෙයි?".
" අනේ බලන්නකෝ මාමා දරුවගේ පපුවේ සිදුරක්ලු. අවුරුදු පහට වඩා ජීවත් වෙන එකක් නෑ කියලයි කියන්නේ" යි කියමින් ඈ හිල්ලූවාය. " කවුද දරුවෝ කියන්නේ. උඹ බය නැතුව හිටහන් මේ කොච්චර හොද කොලු පැටියෙක් ද, මට බැලුවම කියන්නැහැකි මේකා කවද හරි විස්සවිජ්ජාලේ ගොහිනුයි නතර වෙන්නේ, නේද කොලුවෝ" ඔහු දරුවා දෙස බැලුවේය. ඔහු කියන්නේ මොනවාදැයි සිතාගත නොහෙනු දරුවා යන්තම් සිනා සී බිම හොත්තේය. දරුවා බිම හිද ගන්නේ නැත. මලපහ කිරීමට ඉදගන්නා අයුරින් ඇනතියා ගැනීම කරන්නේ පිටුපස බිම තෑබූ විට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවන බැවිණි. පුටුක වුවද ඉදගත්තේ එසේමය.
ලද ප්‍රතිකාර හේතුවෙන් දරුවාගේ හිසකෙස් නම් ටිකෙන් ටික වැඩෙන්නට විය. දරුවා දෙමව්පියන්ට මුරණ්ඩු නොවීම ඔවුන්ට පහසුවක් විය. ආහාර කැවීමේ දී එපා නොකියා කවන තරමක් කටේ ඔබා ගත්තේය. නමුත් ටික වේලාවක් යන විට ඇස්ගෙඩි දෙකෙන් කදුළු බේරෙන්නට පටන් ගනී. එවිට ආහාර දීම හමාර වෙයි. මෙසේ ඉතා වෙහෙස මහන්සියෙන් නන්දාත් කරුණාරත්නත් දරුවා අවුරුදු හතරක්ම රැක ගත්තෝය. නමුත් තවත් අවුරුද්දක් දරුවා සිටිනුයේ මරු අභියසය.
No comments:
Post a Comment