Monday, September 12, 2011

16 කොටස

ඔවුන් දිගින් දිගටම දරුවා වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැප කලෝය. මාස හයෙන් හයට සායනය සදහා දරුවා රැගෙන ගියෝය. හේ දැන් නිතරම ලෙඩවන ගතිය අඩු නමුත් අවුරුදු දෙකක ළමයකුට වඩා බොහෝ දුර්‍වල වූයේය. තවමත් ඇවිදීමට අපහසුය. ඇවිද්දත් ඒ යමක් අල්ලාගෙනය. වචන දෙක තුනක් කතා කල විට විනාඩියක් දෙකක් හතිලෑවේය. හිස කෙස් සියල්ලම ගැල වී ගොස්ය. කෙතරම් කෙට්ටු වී ද යත් ගෙලට හිස දරා ගැනීමටත් අපහසු තරම් විය.
  නමුත් කාලයත් සමග මේ සියල්ල කරුණාරත්නටත් නන්දාටත් සාමාන්‍ය දේවල් විය. මේ අතර නන්දාගේ තාවකාලිකව ලබා ගත් මාරු වීම කල් ඉකුත් වීම නිසා නැවත කළුතරට මාරු වීමක් ලැබිණ. මේ නිසා සෑමදාම පාන්දර තුනේ කනිසමට ඇහැරෙන නන්දාත් කරුණාරත්නත් ආහාර පිස සූදානම් වී දරුවන්ට කිරි දී, සියල්ල සූදානම් කර හතර හමාර වන විට දරුවන් දෙදෙන මිත්තනියගේ නිවසේ  රදවා යන්නෝය. යතුරු පැදියෙන් අම්බලන්ගොඩ දක්වා යන ඔවුන් එය දන්නා නිවසක දමා දුම්රියෙන් ගමන් කලෝය. නැවත රාත්‍රියේ පැමිණ දරුවන් දෙදෙනද රැගෙන නිවසට යන්නේ ඊලග දිනයට සූදානම් වීමටය. සියලු වැඩ අහවර කොට නින්දට යන විට රාත්‍රි දහයද ගෙවී ගොස් ය. මෙසේ කාලය යන්නේ, නන්දාගේ කුසේ තවත් දරුවකු වැඩුනේය.
 දිනක් නන්දාට මෙසේ කල්පනා විය. තව ටික දොහකින් පවුලේ සාමාජිකයන් පහක් වන්නේය. මෙ මැටි නිවසේ දිගින් දිගටම සිටීම දෙවන දරුවාට ද අපහසුවකි. දැන් අම්මලාගේ නිවසේ හිටිය ද යම් දිනක ඔහුට මේ නිතරම දූවිලි පිරුණූ නිවස තුල ජීවත් වීමට සිදු වන්නේය. මේ නිසා ගඩොලින් ගෙයක් සාදා ගත යුතුය. මෙලෙස කල්පනා කල ඈ අවසානයේ එය තම ස්වාමියාට යෝජනා කලාය.

 " නන්දා ඔයාට පිස්සු හැදීගෙන එනව ද ගෙයක් හදන්න මං මේ ඔළුව ගිනි අරන් ඉන්න වෙලාවේ.... ඔයැයි හිතුවද ගෙවල් හදන එක සෙල්ලම් වැඩක්ය කියලා" එම යෝජනාව ඇසුනු මොහොතෙම කරුණාරත්න පෙරලා ඇසුවේය." නෑ කරුණේ මං කියන්නේ ගෙයක් නෙවෙයි අපි අත්තිවාරම වත් දා ගමු" කරුණාරත්න වැඩක් පටන් ගතහොත් එය මග නතර නොකරන බව දත් හෙයින්දෝ නන්දා කීවාය. " අනික ඉස්සරහට පස් දෙනෙක් වෙනවා. අර ළමයා කොහොම ද මේ දූවිලි ගොඩේ තියන්නේ. " ඈ තව දුරටත් කියාගෙන ගියාය.
 කරුණාරත්න වෙන මොහොතක නම් කර ඇරීමට උත්සහ කල ද දරුවකු කුසේ සිටින කල නන්දාගේ හිත පෑරීමට හේ අකමැති විය. " එත් නන්දෝ කොහේ තියෙන සල්ලියක් ද, අනේ මන්දා මොනව හරි බලමුකෝ. ගෙයක් හදනවා කියලා ලෝන් එකක් අරගත්තොත්...හ්ම්" කී ඔහු මදක් කල්පනාවේ නික්මී " හරි මට ආවා අදහසක්...මේ ඉඩම තියෙන්නේ මගේ නමටනේ " එක පාරටම නැවතත්  කටහඩ අවදි කලේය. "ඉතින්" ඈ කුතුහලයෙන් පිලිවිසියාය. "ඉතින් අපි බදිනකොට ඔයාගේ සැර්නේම් එක වෙනස් කලෙ නෑනේ. ඉතින් මට ආවා අදහසක්" කරුණාරත්න තම අදහස කීමට අසල තූබූ ලී පුටුවේ ඉද ගත්තේය.

No comments:

Post a Comment