Wednesday, October 28, 2015

හිමිකම

දිය දහරක සුමිහිරි බව
විඳ ගත්තෙමි මා හොඳහැටි
දිය දහරේ මිහිරියාව 
රැගෙන ආවේ නොමැතිය මම
දුන්හිඳ නරඹන ලෙස ආ 
සුන්දර යුවතියකගෙ රුව 
මගෙකොට විඳ ගන්නට එය 
රැගෙන ආමි නිවසට මම
තිස් වසරක් ගෙවී ගිහින් 
දරු මල්ලන් සමගින් මම 
දුන්හිඳ බලනට ආ සඳ 
හැඟුනා මේ දෙය නොදැනිම
පෙර දින දුටු මිහිරියාව 
තවමත් ඇත දුන්හිඳ මත 
එනමුත් සොඳුරිගෙ රුව මට 
නොපෙනේ එහි පෙර ලෙසටම 

147 සතිය

යම් ගැටලුවකට අප දෙන පිළිතුර නිසා වෙනත් ගැටලු ඇති වේ නම් එය නිවැරදි පිළිතුර නොවේ.

Saturday, October 10, 2015

මගේ කතාව 2 - හරි මඟ පෙන්වීම

අම්මාත් තාත්තාත් කොළඹට ආවේ අප පිළිබඳ විශාල බලාපොරොත්තු රාශියක් ඇතිවය. අප තිදෙනාට හොඳ අධ්‍යාපනයක් දීම ඉන් එක් බලාපොරොත්තුවකි. නමුත් දෙදෙනාම රැකියාවට යන බැවින් ද අපට හොඳ නරක කියා දීමට වෙනත් වැඩිහිටියකු නොමැති බැවින්ද අපේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටළුවකට ඔවුන් මැදිවිය. ඒ වන විට අයියා පහ වසරේද, මම තුන වසරේද , නංගී එක වසරේද විය.

නංගී පාසලකට ඇතුලත් කිරීම ද පහසු නොවීය. කොළඹ ජනප්‍රිය පාසැල් කීපයකටම අයැදුම්පත් දැමූව ද ඒ කිසිවකට විශාල මුදලක් නැතිව ඇතුලත් කරගැනීමට නොහැකි විය. අවසානයේ දී දෙහිවල ප්‍රස්බිටීරියන් බාලිකා විද්‍යාලයට ඇතුලත් කරවීමට හැකිවිය. අම්මා නිතරම අපගේ අධ්‍යාපනය ගැන වෙහෙසුනාය. අයියාගේ දඟවැඩ නිසා අම්මා සිටියේ කනස්සල්ලෙනි. කොයිවෙලේ හෝ ඔහුගේ වැඩවලින් මටත් නංගිටත් අනතුරක් වේයැයි ඇය බිය වුවාය. මේ නිසා අපව නිදැල්ලේ හැරීමට අම්මා ඉඩ නොතැබීමට හැකි පියවර ගත්තාය. මුලින්ම අප තිදෙනා දහම්පාසලකට යොමුකරවීමට ඇය කටයුතු කලාය.

ශ්‍රී සිරිවර්ධනාරාමය පිහිටියේ අපේ ගේ පිහිටි සිරිවර්ධන පාරට අල්ලපු වැටේය. ඒ නිසා ප්‍රධාන පාරෙන් යනවාට වඩා පහසුවෙන් මලිත් අයියාගේ නිවස අසලින් වැටී තුබූ අඩිපාරකින් පන්සලට යාමට අපට හැකි විය. ඉරිදා උදේම ගෙයි මුල්ලේ පිහිටි වතුසුද්ද ගසෙන් මල් නෙලාගෙන මල්වට්ටියක් සකස් කරගෙන තුන්දෙනාත් සමඟ දහම්පාසැල් ගියහැටි මට තාම මතකය. හැමදාම දහම්පාසල ආරම්භ කරන සීනූව නාදකරන හඬ ඇසෙන විට අපි ගෙදරින් පිටත් විමු. පළමුව රැස්වීමට සහභාගී වන ළමෝ පේලි සැදී නායක හාමුදුරුවන් සමඟ පන්සිල්ගෙන බුදුන්ට මල් පහන් පූජා කරයි. අනතුරුව හාමුදුරුවන් කෙටි අනුශාසනාවක් කරන අතර, ගුරුවරයකුගෙන් කතාවක් ද, ඉහළ පන්තියක සිසුවෙකුගෙන් කතාවක් ද බැගින් කතා දෙකක් පවත්වා රැස්වීම අවසන් කෙරේ.  පසුව අපි පන්ති වලට ගොස් දහම් අධ්‍යාපනය ලැබුවෙමු. එහිදී උගෙනගත් සිරිත් මල්දමෙහි එන එක් කවියක් මට තාම මතකය.
උරුවන් බබා වත් 
සිව්පද කියා ගෙන වත්
 සින්දු කියමින් වත්
 ගෙවල් අසලින් යාම නොහොබිත්

අයියාව මට්ටු කිරීම පිණිස ඔහුව ශිෂ්‍යත්ව පන්තියකටත්, රිචීලයි අම්මා විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පන්තියටත් ඇතුලත් කලේය. පාසැල් ඇරී පැමිණිමෙන් පසුව අයියාට අමතර පන්ති යාමට තුබූ නිසා ටිකක් ඔහුගේ දඟවැඩ පාලනය කරගැනීමට මව සමත් විය. නංගී සුපුරුදු පරිදි සවස්කාලය ගතකලේ අම්මාගේ වැඩපලේය. හැන්දෑවට බොහෝවිට ගෙදර ඉතිරි වූයේ මා පමණි. මම එවැනි දිනවල හැන්දෑව ගතකලේ සාංකාවෙනි. 



නමුත් නිවාඩූ කාලවලදී තුන්දෙනාම ගෙදර බැවින් අම්මා අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තාය. අයියා ශිෂ්‍යත්වයට සූදානම් වන බැවින් ඔහුට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ද, මට කොටුරූල් පොතක ලියන ලද එකතු කිරීමේ, අඩු කිරීමේ හා ගුණ කිරීමේ ගනණ් සියයක් හෝ පනහක් ද, නංගීට ඩබල් රූල් පොතක අකුරක් හෝ අකුරු පේලීයක් ද බැගින් දී හැන්දෑවට එනවිට ඒවා සම්පූර්ණ කර තබන ලෙස අණකොට වැඩට යයි. හැන්දෑවට පැමිණි පසු ගෙදර වැඩ පරික්ෂා කරන මව ඒවා නොකර තිබුනේ නම් වේවැල් කසාය දුන්නාය. මීට අමතරව දවසට එක සංඛ්‍යාව බැගින් චක්‍කරය ද පාඩම් දිය යුතුය. නංගීට ලැබෙන්නේ දෙවරක් සිට පස් වරක් දක්වා වන අතර මට එය අට වරක් දක්වාද අයියාට දොලොස් වරක් දක්වා ද වෙයි. 

මෙසේ අපව යහමඟ පෙන්වීමට අම්මා විශේෂයෙන් කැප වී කටයුතු කලාය.


  

Friday, October 2, 2015

146 සතිය

ධර්මය යටනොවී තබා ගැනීම කලහැක්කේ ධර්ම ප්‍රචාරය කරමින් ප්‍රඥාවන්තයන් බිහිකිරීමෙන් මිස උප්පැන්නෙට සිමා වූ බෞද්ධයන් බිහිකිරීමෙන් නොවේ.