Saturday, November 28, 2015

මගේ කතාව 2 - අවුරුදු නිවාඩුව

ඉස්සර අපේම ගෙදර ඉන්නකාලේ අලුත් අවුරුද්ද ලබනකොට පවුලේ හැමෝම එකතුවෙලා නැකතට කිරි ඉතිරෙව්වත් කුළී ගෙදර දී නැකතට කිරි ඉතිරුවේ නැත. අලුත් අවුරුද්දට දින දෙක තුනකට කලින් අපි ගමේ යන්නෙමු. ඒ යන්නේ සතියක්වත් අවුරුදු නිවාඩුව ගමේ ගතකිරීමටයි.

 අපි ඒ කුළී ගෙදර හිටියේ අවුරුදු දෙකක් පමණයි. ඉන්පසු අපි වෙනත් කුළී ගෙදරකට ගියෙමු. ඒ අවුරුදු දෙකෙන් දෙවැනි අලුත් අවුරුද්ද ගෙවුනේ මං තුන වසරේ සිටිද්දීය. මං තුන වසරේ සිටිද්දී පළමු වාරයේ දී පාසලේ විවිධ ප්‍රසංගයක් පැවැත් වීය. එහි දී මං නැටුම් දෙකක් සඳහා ඉදිරිපත් කෙරිණ. ඒ ආජු තපර පීජු තපර  ගීතයට හා සිංහල රජ කාලේ නොවේ යන ගීත දෙකටය. එහි දී මා හැඳ සිටියේ ඕලන්ද තරුණයෙකුට ය. මාගේ මිතුරකු ඕලන්ද තරුණියකට හැඳ මා සමග නැටීය. නැටුමට එවැනි ජෝඩු හයක් හෝ අටක් සහභාගී විය. ප්‍රසංගය පැවතීයේ එල්ෆීස්ටන් රඟහලේ ය. එම නැටුම නිසා මට අලුත් ඇදුමක් ලැබිණි. අලුත් අවුරුද්දට එය හැඳගෙන යාමට සිතුනත් එය සුදුසු මඟුල් ගෙදරකට බැවින් මඟුල් ගෙයක් උනාම අඳින්නයැයි අම්මා කී බැවින් ඒ ආශාව උපන් ගෙයිම මිය ගියේය.

අලුත් අවුරුද්දට ගමේ යාමත් ලේසි වැඩක් නොවීය. සතියකට පමණ සෑහෙන රෙදි හා නැදෑයින්ට දෙන තෑගිද දමා ගැනීමට ලොකු ගමන් මළු දෙකකට අමතරව ලොකු බිස්කට් පෙට්ටි දෙකක්වත් අවශ්‍ය විය. එයින් වැඩි බරක් පැටවෙන්නේ තාත්තාගේ කරටය. අම්මා ඇඳුම් බැග් දෙකෙන් එකක් එක් කරක දා ගත් විට අවශ්‍ය වුවොත් මා වඩා ගැනීමට අනෙක් කර නිදහස්ව තබා ගත්තාය. අයියාට ද මග දී අවශ්‍ය වන වතුර බෝතල් හා ආහාර වර්ග ද දැමූ බෑගය ඔසවාගෙන යාමට සිදුවෙයි. මා වඩාගන්නා අවස්ථා වලදී අම්මාගේ ගමන් මල්ල (හැන්ඩ් බෑගය) නංගීට භාර වෙයි. ඒ අනුව කිසි බරක් නැතිව මෙන්ම අම්මාගේ කරේ ද යාමේ අවස්ථාව ලැබෙන්නේ මටයි. පළමුව දෙහිවලට බස් එකෙන් ගොස් එතැන් සිට කොච්චියේ හෝ බස් රථයකින්ම හෝ අම්බලන්ගොඩට යයි. කෝච්චියේ ගියත් බස් එකේ ගියත් බොහෝ විට ආසනයක් නම් ලැබෙන්නේ නැති තරම් ය. නමුත් කෝච්චියේ යාමට අපි තුන්දෙනා වැඩි කැමැත්තක් දැක්වීමූ. නමුත් බොහෝ අවස්ථාවල අපට අවශ්‍ය වේලාවට දුම්රියක් නොපැමිනේ. 

ගමේ ගියපසු ළමයින්ගේ රාජකාරිය සෙල්ලම් කිරීමත්, කැවිලි පෙවිලි වල රස බැලීමත් ය. අප අවුරුද්දට කරන ක්‍රීඩා අතර වල කජු ගැසීම, පංච කෙලිය, එළුවන් කෑම, තොරන් කොට්ට පැනීම විශේෂ තැනක් ගනී. අපිට වඩා වැඩුමල් අයියලාගේ ක්‍රිඩා වූයේ කැට ගැසීම හෝ ගුඩු පැනීම යි. මා වඩාත් ප්‍රිය කලේ පංච කෙළියටයි. මන්ද මට මහන්සි නොවී කලහැකි වූ එකම අවුරුදු ක්‍රීඩාව එයයි. 

අවුරුදු දවසේ නැකතට කිරි ඉතිරවීම කරන්නේ ගෙදරම්මලාගේ ගෙයි සාලය මැදයි. සියළු නෑයන් වට වී සිටිද්දී ගෙදරම්මා ලිප මොළවයි. ඉන්පසු ඇත්තේ තමාගේ පැත්තට කිරි උතුරුවා ගැනීමට කරන අරගලයයි. ඒ සඳහා කවුරුත් තමා සිටින දිශාවේ ගින්න වැඩි කර ගැනීමට දර හා පොල් කොළ ඔබයි. අවසානයේ කාගේ හෝ පැත්තට කිරි ඉතිරෙයි. එවිට කාගේ පැත්තට කිරි ඉතිරුව ද  හැමෝම ප්‍රීතියෙන් අත්පොළොසන් ගසයි.  ගෙදර තාත්තා විසින් (අම්මාගේ තාත්තා) නැකතට කාටත් කිරිබත් කවා ආහාර අනුභවය ආරම්භ කරයි. එකල ආහාර ඉඳුල් කිරීම නැතහොත් අලෙවි කිරීම නම් චාරිත්‍රයක් වෙයි. එනම් වාසනාවන්තයැයි සැළකෙන හෝ කවුරුත් ආදරය කරන හෝ පිරිමි දරුවකුට පළමුව ආහාර ගැනීමට සැලැස්වීමයි. බොහෝ විට ලොකු අයියාට එම අවස්ථාව හිමි වේ. අපේ පවුලේ පමණක් නොව පිරිමි දරුවකු නොවූ අල්ලපු නිවසේ ද ඉඳුල් කිරීමේ චාරිත්‍රයට අයියාව කැඳවයි. එවිට ඔහුට පඬුරක් ද ලැබෙයි.  නැකතට තෙල් ගැමේ චාරිත්‍රය ද සිදුකරන්නේ ගෙදර තාත්තා විසිනි. උඩට උඩුවියන්, පයට පාවඩ නැතත්, ඖෂධ තෙල් නොවුනත් ගෙදර තාත්තාගේ ආශිර්වාදය සමඟ පොල්තෙල් ගෑවද අපිට එය ලොකු දෙයකි. පසුව කවුරුත් ලිඳට ගොස් නා ගන්නෝය.  අවුරුදු චාරිත්‍ර අවසානයේ නෑ ගෙවල්වල යයි. ඒ ඒ නෑයාගේ ගෙදර එක් ආහාර වේලක් සියළු නෑයන්ට ලබා දේ. එදිනට සියළු නෑයින් ඒ නිවසට රැස්වේ. ඒ හැම නිවසකම සිටින වැඩිමහළු අයට බුලත් දී ඒ නිවසින් පිටවන විට අපට බුලත් කොලයක එතූ පඬුරක් හෝ තෑගි ලෙස ඇඳුමක් ලැබේ.

මෙසේ අලුත් අවුරුද්දට ගමේ ගොස් සතියකට පමණ පසුව නැවත කොළඹ පැමිණියත් අවුරුදු උණුසුම දිගටම පවතී. අවුරුදු උත්සව මාසය පුරාවටම ඇත. කොළඹ පැමිණි පසුද අම්මා සමඟ පංච කෙළියේ යෙදෙන්නේ පාසැල් නිවාඩුව අවසන් වන තුරුය. කොළඹ පැමිණ ගෙවුනු දෙවන අළුත් අවුරුද්දේ එක් අවුරුදු උත්සවයක විකට ඇදුම් තරඟයකට මා ඉදිරිපත් වුනේ ඕලන්ද තරුණයෙකුටයි. ඒ පාසැලේ ප්‍රසංගයට ඇන්ද ඇඳුම නිසයි. නමුත් සිදු වූයේ මා වේදිකාවට නගිනවාත් සමඟ මගේ කලුපාට උස හිස්වැස්ම දුටු නිවෙදකතැන මාව මැජික් ශිල්පියකු ලෙස හඳුන්වාදීමයි. මට කරගතහැකි දෙයක් නොවීය. මා මගේ නම පමණක් කියා වේදිකාවෙන් බැස්සේ ය. තාත්තා පැමිණ“පුතේ දැන් මොනවාහරි ඉදිරිපත් කිරීමක් කරන්න කීවොත් ඔයා කියන්න වැස්ස නිසා මැජික් පෙන්නන්න බෑ. පස්සේ දවසක පෙන්නන්නම් කියලා හොඳද“ කියා මාව දිරිමත් කලේය. ඒවේලේ වැහිබර කාලගුණයක් ද තිබූ බැවින් මම ද තාත්තා කියු විදියටම කලේය.  ඉන් මට ජයක් නොලැබෙන බව දන්නා මම ගෙදරට වී උන්නෙමි. නමුත් හැන්දෑවේ යකඩකටින් මගේ නම කියනු ඇසින. ඒ සැනසිලි තැග්ගක් වශයෙන් මට ප්ලාස්ටික් බෝලයක් ප්‍රදානය කිරීමටයි.

Thursday, November 26, 2015

විට ගීතය

කට රතුකරන් හැමදාම මන් ඉන්නේම විටයක් හපන්
බත් නැති උනත් වේලක් දෙකක් මට ඉන්න බෑ විට නැතිවනම්
නිතර හැපෙනා විටකට ඉතින් කතාකර ගන්න පුලුවන්නම් 
කියයි හඩගා ලොවට මතුදා විටට මං ආදරෙයි කියලා
 
විටක හුණු වැඩි විටක හුණු නැති ප්‍රමිතියක් නෑ විටේ
කෙලවරක් බලා කෙලම ගසනවා හප හපා මේ විටේ
ඉන්නෙ පිළිකන්නේ මම නම් මිදුළ කැත වෙයි කියා
 
නොනිද රෑ පුරා හපන විට පිරේ පඩික්කම ඇඳ යටේ
විඳින වේදනා පුවක්ටික හපා ගන්න බෑ මට අනේ
නැතිව දුංකොළ විටේ කොහොමැයි රස ගන්නේ නොදනිමි අනේ 
 
 

Friday, November 20, 2015

150 සතිය

පුරුදු කිරීමෙන් තොරව නිදහස් විය නොහැක. වීර්යයෙන් යුතුව පුරුදු කල යුතුය.

Thursday, November 12, 2015

149 සතිය

සියල්ල වෙනස්වෙයි නම් අපට බලාපොරොත්තු තබාගත හැක්කේ වෙනස්වීම ගැන මිස කුමක් ගැනද ?

Saturday, November 7, 2015

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 1

අයියාගේ ශිෂ්‍යත්ව විභාගය නිසා අම්මාගේ වැඩි අවධානයක් අයියා වෙත යොමු වුනත් අයියා පමණක් පාඩම් කරද්දි අපට රූපවාහිනිය නැරඹීමට හැකියාවක් නොවුනු බැවින් අපටද ඒ කාලය ඉගෙනීමට යෙදවීමට සිදුවිය. මන්ද නිවසේ සියල්ලටම තිබුනේ එක කාමරයක් පමණි.

අයියාත් මමත් පාසැල් වෑන්රියෙන් පාසැල් ගිය බැවින් අපට විවිධ වයස්වල සිසුන් මිතුරන් ලෙස ඇසුරුකිරීමට ලැබුණා. වැඩිහිටි අයියලා පාසැල් වෑන්රිය තුලදී කරන ක්‍රීඩා, කතා වලට අපද සහභාගී විය. කාඩ් සෙල්ලම් කිරීම, වලලු දැමීම, කරන්ට් පාස් කිරීම වැනි ක්‍රිඩා ඒ අතර විය. ඊට අමතරව අසභ්‍ය ගනයේ බයිලා කීම ද, පෙම්වතියන් ගැන කතා කිරීම ද අපට අසන්නට ලැබිණි. පාසැල් ඇරී ගෙදර ආ විට අයියා වැන්රියෙන් බැස මා රැගෙන අල්ලපු ගෙදර ගේට්ටුව අසලට වී වැන්රිය යනතුරු සැඟ වී බලා සිටී. පසුව වැන්රිය නොපෙනී ගිය පසු ගෙදර යයි. පළමුව අයියාගේ මේ හැසීරීම මට ද ප්‍රහෙලිකාවක් විය. පසුව දැනගන්නට ලැබුණේ  අයියා මිතුරන්ට  අපේ ගේ තට්ටු දෙකේ ගෙයක් වූ අල්ලපු ගේ බව කියා තිබූ බවයි.

ඒ ගෙදර විසූ දමිළ පවුල මුලින් අප සමඟ ගනුදෙණු නොකලත් පසුව ඔවුන් අප සමඟ හොඳින් සිංහලෙන් ගනුදෙණු කලේය. ඒ පවුලේ ද පිරිමි ළමුන් දෙදෙනෙක් හා අක්කා කෙනෙක් සිටි බැවින් අපි හැන්දෑවට එම නිවසේ මිදුලෙහි ක්‍රීඩා කළෙමු. එම නිවසේ ඔවුන්ගේ ආච්චී කෙනෙක් ද විසූ අතර අප ක්‍රීඩා කරනවිට ඈ ආලින්දයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී. දිනක් අප ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනවිට සුපුරුදු පරිදී ඈ රූපවාහිනිය නරඹමින් සිටියා. හදිසියේම අයියා වැරෙන් පන්දුවට පහරදීමට උත්සහ කිරීමකදි පිත්ත ගිලිහීගොස් නිවසේ උළුවස්සේ වැදී ගේ තුලට පියාසර කලා. එකවරටම ආච්චීගේ විළාපයක් ඇසුනා. පිත්ත ගොස්  ඇයගේ හිසමතයි පතිතවී තිබුනේ. එයින් බයට පත් අයියා ගෙට්ටුවෙන් එළියට පැන දිව්වා. වෙනකලයුතු යමක් නොතිබූ මම ද දිවගොස් ගෙයි දොර මුල්ලේ සැංඟී හිටියා. පසුව ආරංචි වූයේ වරද ඒ අයියා බාරගෙන ඇති බවත් ආච්චි අම්මා රෝහල්ගතකර ප්‍රතිකාර කරවූ බවත් ය. ඒ නිසා ඒ සිදුවීම ගැන කිසිම තොරතුරක් අපේ දෙමව්පියන්ට ආරංචි නොවී ය. එය අපේ අයියාගේ අතින් සිදුවූ බව දැනගත්තේ නම් අයියාට අම්මාගෙන් හොඳහැටි ලැබෙන්නට තිබුණි.

මොන සෙල්ලං දැම්ම ද අයියා අවසානයේ යන්තම් හෝ අම්මාගේ බලාපොරොත්තුව ඉෂ්ඨකරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විය. ඒ එක් ලකුණකිනි. සමත් අවම ලකුණ 113ක් වූ අතර අයියා 114ක් ලබාගෙන තියුණු ජයක් අත්කරගත්තේය. අයියා ගෙදර ලොකුපුතා බැවින් ද එය දරුවකු ලැබූ පළමු අධ්‍යාපන ජයග්‍රහණය නිසා ද අම්මා තාත්තා මෙන්ම අයියා කුඩාකල සිට බලාගත් ගෙදම්මා(ආච්චී) ද සතුටු විය. ගෙදරම්මා (ගෙදම්මා) අයියාගෙන් මොනවාද ඕනේ යැයි ඇසූවිට ඔහු කීවේ “මට තට්ටු දෙකේ ගෙයක් ඕනෑ“ ය කියා යි. 


Thursday, November 5, 2015

148 සතිය

අපට අරමුණු ජය ගැනීමට අවශ්‍ය සැලැස්මක් නොව, අරමුණ දෙසටම ගමන් කිරීම පමණයි.