Saturday, October 8, 2011

5 ලිපිය - නියාම ධර්ම2

පසු ගිය සතියේ නියාම ධර්ම පහෙන් විඥ්‍යානය සම්බන්ධ වන නියාම ධර්ම 2 පිලිබද සාකච්ඡා කලානේ. අද අපි බලමු අනෙක් නියාම ධර්ම තුන කොහොමද ලෝකයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියලා. ඔබට මතක ඇති මං කිව්වා කොහොමද වැස්ස ඇතිවෙන්නේ කියලා ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීමේදී. එහි කර්මයේ සම්බන්ධයක් හෝ සිතුවිලිවල සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක ස්භාවධර්මයේ හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වන්නක්. එවැනි ස්භාවධර්මයේ සිදුවන ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් සොයාගත් නියම 3ක් තමයි මේ බීජ නියාම, ධම්ම නියාම, හා සෘතු නියාම කියන්නේ.
  වැස්ස ඇතිවීම අයිතිවන්නේ ධර්ම නියාම හා සෘතුනියාම දෙකට අනුවයි. නමුත් මං කලින් කිව්වා වාගේ මේ නියාමත් සත්‍ය වන්නේ අනෙක් කාරණා බලනොපාන විටයි. උදාහරණයකින් කිව්වොත් හිරුත් පෘථිවියත් අතර දුර වැනි කාලගුණික තත්ව මත වැසි සමය ග්‍රීස්ම සමය වැනි කාලයන් ඇති වනවා. එය සාතු නියාමය. සාතු නියාමයට අනුව වැසි සමයේහී වැසි ලැබෙනවා. නමුත් මිනිසුන් ගස් කැපීම වැනි පාරසරික හේතුන් මත වැසි නොලැබී යා හැකි. ඒ නිසා සෘතු නියාමය සත්‍යවන්නේ අනෙක් සාධක බලනොපාන විටයි.
   බොහෝ දෙනා නියාම ධර්ම දන්නා බැවින් මං කෙටියෙන් සදහන් කරන්නම් ලිපියේ සම්පූර්ණත්වය සදහා. බීජ නියාමයෙන් දැක්වෙන්නේ මව් ජාන ස්භාවය අනුව ඊලග (දුහිතෘ) හට ගැනීමේ ලක්ෂන පහල වන බවයි. සරලව කියතොත් දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂනය වන බවයි. සමහරු ගායන කුසලතාවක් ඇති විට එය දෙවියන්ගෙන් ලැබුණු දෙයක් සේ සලකයි. පියාටත් එම හැකියාව ඇත්නම් ඒ දෙවියා පියා වේ. නැතිනම් කර්ම ඵලයක් විය හැක.  සෘතු නියාම යනු පෘථිවියේ ස්භාවික වෙනස්කම් මත අව්ව වැස්ස සහ අනෙකුත් සෘතු විපර්යාස ඇතිවන බවයි. සමහරෙක් මගේ කරුමෙට වහිනවා යැයි පවසතත් සිදු විය හැක්කේ එහි අනෙක් පැත්තයි. එනම් වහින විට කර්ම ඵලය ලැබීමට පරිසරය සකස් වීමයි. ධම්ම නියාම යනු දුක්ඛ යන යථාස්භාවය නිසා සිදුවන දේවල්ය. සෑම දෙයක්ම ක්‍රමයෙන් විනාශයට  ( දිරා යාමට)  පත් වන බවමේ නියාම ධර්මයේ කොටසකි.
  මේ අනුව අප අවබෝධ කරගත යුත්තේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන ස්වයංක්‍රිය පද්ධතියක් බවත් එහි යම් යම් රටා අවබෝධ කරගැනීම තුලින් අනාගතය ගැන අනාවැකි පැවසිය හැකි බවත්ය.මේ අනුව මට පෙනියන කරුණ නම් කිසිවෙකුට අතීතයට හෝ අනාගතයට ගමන් නොකලහැකි බවත් බුදුන් පවා අනාගතය ගැන කීවේ අනාගතයට ගොස් බැලීමෙන් නොව ඉහත දැක්වූ රටාව හදුනා ගැනීමෙන් බවයි. ඔබලාටත් එම යථාර්තය අවබෝධ කරගැනීමට හැකි වේවා.!  

Friday, October 7, 2011

එහෙනං ඕං

ඕං දැන් කටකහනවට මං නොයෙක් එව්වා කියෙව්වානෙව. දැන් ලිපි 19 ක්ම නොයෙක් දේවල් කියෙව්වට මොකද කැහිල්ල නං හිංගිත්තක් වත් අඩු වෙලා නෑ නෙව. බොලාලාත් එව්වා කියෙව්වා කියවලා සමහර ගොල්ලෝ නිකා හිටියා සමහර ගොල්ලෝ එක එක එව්වා ලියෙව්වා. ඒ මොනව කලත් මෙකෙ ඒ හැටි තේරුමක් පල ප්‍රයෝජනයක් නෑ වගෙයි පෙනෙන්නේ.

මෙ ගොඩ වෙදකං කොරාලා මේ ලෙඩේ කඩන්න බෑ වගෙයි. බෙහෙත් අහන්නෑ නෙව. ඉතින් බොල මං කල්පනා කොලේ ඉංගිරීසි බෙහෙත් වත් අරං බලන්න කියාලා. මං වෙනුවෙන් මගේ කට කහන එක නවත්තන්න කොමෙන්ට් කොරාපු නොයෙක් විදියෙන් මාව දහිරිමත් කොරාපු ඔක්කෝමන්ලෑට බොහෝමත්ම ස්තූතියි ඕං. එහෙනං ඕං මං ගෙහුං එන්නම්. ඉංගිරීසි බෙහෙත් අහන්නෙත් නැත්නම් මක් කරන්නද දිගටම කට කහනවට එක එක එව්වා කිය කියා ඉන්නව මිසක්කා නෙවෙද්ද.

20 සතිය

අන් අය තමා ගැන හිතන ආකාරය මෙලොව දියුණුවටද තමා, තමා ගැන හිතන ආකාරය ලෝකොත්තර දියුණුවටද හේතු වේ.

Sunday, October 2, 2011

මෙතෙක් කතාව

දැන් කොටස් 18 ක් තිස්සේ ඔබට "මගේ කතාව" ලෙසින් ශෂික අසංක නමැත්තාගේ කතාව ඔබට ඉදිරිපත් කලේය. දැන් සමහර අයට මුල මතකත් නැතුව ඇති. සමහර අයට ඒ දීර්ඝ කතාව කියවීමට අපහසුත් ඇති. ඒ නිසා මං හිතුවා මෙතෙක් කතාව යලි ඔබට කෙටියෙන් පවසන්නම්.
 
 කරුණාරත්නත් නන්දාත් දකුණු පලාතේ අම්බලන්ගොඩ ගමේ ජීවත් වූ එකම පාසලේ ඉගෙන ගෙන තරුණ වයස ඉක්මයාමට ආසන්න වියේදී විවාහ වූ යුවලකි. කරුණාරත්න දිළිදු පවුලක ද නන්දා මධ්‍ය පාන්තික පවුලක ද හැදී වැඩුනේය. ඔවුන් නොයෙක් බාධක මැද විවාහ වී සූට්කේස් දෙකක් පමණක් අතැතිව මඩකලපුවේ කුලී නිවසක ජීවත් විය. විවාහ වී අවුරුදු පහක් පමණ යන තෙක් දරු සම්පත් නොලැබ දුකින් සිටියේය. අවසානයේ ඔවුන් ලැබූ  පලමු දරුවා පිරිමි දරුවෙක් විය. එහි අවුරුදු 6ක් පමණ ජීවත් වූ ඔවුන් සෑහෙන තරම් දියුණු විය. පසුව දෙවන දරුවා ලෑබීමට පෙර ඔවුන් තමන්ගේ මව් ගම වූ අම්බලන්ගොඩට පැමිණෙන්නේ ඔවුන්ගේම කියා නිවසකට පැමිනේ. එය කටු මැටි ගෙයක් විය. මේ කාලය ඇතුලත දෙදෙනාම රැකියා ස්ථාන දෙකක වැඩ කර තිබිණ.

 නව නිවසට පැමිණි පසු අපගේ කතා නායකයාගේ උපත සිදු විය. ඉන් පසු ඔවුන්ගේ ජීවිත වලට කනකොකා හැඩීය. මන්ද ඔහු හදවත් රෝගියෙක් විය. ඒ දින වල එවැනි දරුවන් ජීවත් නොවූයේය. නමුත් දෙමව්පියන්ගේ දැඩි කැපවීම මත අවුරුදු හතරක් වන තෙක්ම ඔහුව ජීවත් කරවීමට සමර්ථ විය. මේ කාලය තුල මෙම පවුලට අලුත් සාමාජිකාවක් ද එක් විය. අපේ කතා නායකයා වෙනුවෙන් දෙමව්පියන් නොකල දෙයක් නැත. අවුරුදු 4ක් වුවත් ඔහු තාමත් කරන්නේ අවුරුදු දෙකේ ළමයකු කරන වැඩය.
  දැන් ඔහුට අවුරුදු හතරකි. අයියාට හයකි. නංගීට එක හමාරකි. දැන් ඔවුන් ගඩොලින් අලුත් නිවසක් තනා අවුරුදු හතරට ආසන්නය. සියල්ල හොදින් සිදුවී යද්දී නැවත ඔවුන්ගේ ජීවිතවලට කරදර පැමිනෙන්නට විය.

Saturday, October 1, 2011

5 ලිපිය - නියාම ධර්ම

මෙම නියාම ධර්ම පහ අධ්‍යයනය පහසුව සදහා කොටස් දෙකකට වෙන් කර ගත හැකි. එනම් විඥ්‍යානය සම්බන්ධ නියාම ධර්ම හා සතර මහා භුත සම්බන්ධ නියාම ධර්ම ලෙස. කර්ම නියාමය හා චිත්ත නියාමය පලමු කොටසටත් අනෙක් තුන දෙවන කොටසටත් අදාල වේ. කර්මය පිලිබද අපි 4 වන ලිපි පෙලින් කතා කල නිසා ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍ය නැතැයි මට සිතේ. විශේෂයෙන්ම කර්ම විපාක එවේලේ ලැබෙන බවත් ජනක කර්මය ලෙසින් එය භවයෙන් භවයට යන බවත් දැන ගත යුතුය. පෙර භවයේ ඥාතීන් කොතරම් පිං අනුමෝදං කලද එය මේ බවයේ විඥ්‍යානයට දැනගත නොහැකි නම් ඒ පිං අනුමෝදං කල නොහැක්කේ ඒ නිසාය. අනිවාර්යයෙන්ම කර්මය ක්‍රියාත්මක වීමට විඥ්‍යානය දැනුවත්ව සිදු විය යුතුයි. සත්ව ඝාතනයක් නොකල තැනැත්තෙක් වුවද තමා සත්ව ඝාතනය කලා යැයි විඥ්‍යානයේ සටහන් වුවොත් ඔහුට ප්‍රාණ ඝාත අකුසල කර්මයේ විපාක ලැබේ.

චිත්ත නියාමය යනු යම් අරමුණක් ලැබුණු පසු දිගින් දිගට සිතුවිලි පහල වීමයි. යම් ස්පර්ශයක් සිදු වූ තැන් සිට එය හදුනා ගැනීම තැන් දක්වා සිතුවිලි පහල වීම පෙර කර්මය නිසා සිදු වන්නක් නොව හේතු ඵල දහමට අනුව සහ චිත්ත නියාමයට අනුව සිතුවිලි පහල වීමකී සිදු වන්නේ.  එම චිත්ත වීථි සකස්වන ආකාරය  3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය 2  ලිපියෙන් දක්වා ඇත. ඒ නිසා තමන්ට එන සෑම සිතුවිල්ලක්ම කර්මය නිසා එන සිතුවිලි නොවේ. අනෙක් නියාම ධර්ම තුන ලබන ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ලිපි පිලිබද ඔබට ඇති ගැටළු සදහන් කරන්නේ නම් අපට තවත් සඵලදායී ලෙස මේ සාකච්ඡාව කල හැකි යැයි සිතමි. ඔබට නිවන් සුව ලැබේවා!

Friday, September 30, 2011

හරි කොයිකද?

ආදරේ කියෙව්වම තරුණ එවුන්ගේ ප්‍රධානතම මාත්තුරුකාව නෙව. ඉති මේ අවුරුදු 24 25 වන විට පෙම් හබ දෙක තුනක්ම හමාර කොරාපු එවුන් ඉන්නව නෙව. ගෑනු පිරිමි කියල වෙනසක් නෑ බං. ඒත් ඔය දෙගොල්ලන්ගේ කොරමේ වෙනසක් තියෙයි. මං අත්දැකල තියෙන විදියට නං ඕං කොල්ලො ඉන්නව නෙව. උන් දෙක තුනක් හමාර කොලත් පලවෙනි එක ගැන උනන්දුවෙන් තමයි ඉදින්නේ. ඒකිට මක් උනාද දැන් වෙන එකෙක්ව බැද ගෙනද යහතින් ඉන්නවද කියාලා ඉතින් හොයා බලපිනා. අමතක කොරන්ට හරි අමාරුයි. යාලුවෙක්ගෙන් නමුත් විස්තරයක් දැනපිනා ගන්ට හරි ආසයි නෙව.

 ඒකට මොකද ඔය ගෑනු ඉන්නව නේද එවුන් දැන් ඉන්නේ මොකා එක්කද ඒකාට පණ ඇරලා. කවුරුහරි හරහට වචනයක් කතාකොලත් ඇගට කඩා පනිනවා. ඇබැයි ඕං කලින් උන්නු එකෙක් ගැන මතක් කලොත් එහෙම "අනේ ඕකව මතක් කොරන්ට එපා"ය කියලා නෙව පටන් ගන්නේ. අනේ මන්දා ඒ දවස්වල නම් ඒකා තරන් ජගතෙක් නෑ නෙව. දැන් ඉතින් ඌට වඩා මූ දාහින් සම්පතයි. ඉතින් ඔය කොරොම දෙකට අනුව කොයිකද නියම ආදරේ. හොදයි කියමුකෝ බලන්න?

Thursday, September 29, 2011

19 සතිය

සෑම මොහොතම අලුත් අවුරුද්දක් ආරම්භ වේ. ඒ නිසා සෑම මොහොතම නැවුම්ව ගතකරන්න.

Sunday, September 25, 2011

18 කොටස

දරුවා සාසනයට පුජා කල පසු සියල්ල අවසාන නොවීය. නන්දා තව තවත් පින් කම් වලම යෙදෙන්නට විය. හැමදාම රාත්‍රියට පිරිත් කියා එම දවසේ කල දේ නැවත සිහිපත් කර ඒ සත්‍යයේ බලයෙන් දරුවා සුව කරන මෙන් සත්‍ය ක්‍රියා කිරීම ද ඇගේ දින චර්යාවේ කොටසක් විය.ඈ කළුතර රැකියාව කරන අතර කෑම පැයේ කළුතර බෝධිය වන්දනා කිරීම ද පුරුද්දක් ව පැවතියාය. දිනක් ටික ටික එකතු කල මුදල් පන්සලේ පැයක විදුලි බිල වෙනුවෙන්පූජා කලාය. මෙසේ ගැහැණුන්ගේ ජන්ම ගතියක්සේ පවතින ආගම ධර්මයට ඇති විශ්වාසය නිසාම ඈ දිගින් දිගටම එවැනි දේ වල නිරත විය.

නමුත් කරුණාරත්න සැම විටම විශ්වාස කලේ ප්‍රතිකාර කිරීමෙන් ළමයා ගොඩ ගැනීමට ඇති හැකියාවයි. ඔහු   අරූද කොල කොටා හිස ගැල්වූයේ හිස කෙස් එනු පිණිසය. ආහාර රුචිය වැඩෙනු පිණිස පැරඩෝල් නමැති විටමිනය ද, ශරීර ශක්තිය වැඩෙනු පිනිස සස්ටජන් පිටි ද ගෙනැවිත් දුන්නේය.

මේ අතර දිනක් නන්දා තම මහගෙදර ගියේ දරුවා ද රැගෙන දෙමව්පියන් බැලීමටය. ඕ එහි යන විට ඇගේ මාමා කෙනෙකු පැමිණ සිටියේය. දරුවා දුටු හේ දරුවාගෙන සුරතල් කරන්නට විය. "අප්පොච්චියේ මේ බලාපල්ලකෝ මෙකා ඉන්නහැටි කිරි දරුවෙක් වගේ. ඇයි බං උඹ මේකාට කන්න දෙන්නැතෙයි?".
" අනේ බලන්නකෝ මාමා දරුවගේ පපුවේ සිදුරක්ලු. අවුරුදු පහට වඩා ජීවත් වෙන එකක් නෑ කියලයි කියන්නේ" යි කියමින් ඈ හිල්ලූවාය. " කවුද දරුවෝ කියන්නේ. උඹ බය නැතුව හිටහන් මේ කොච්චර හොද කොලු පැටියෙක් ද, මට බැලුවම කියන්නැහැකි මේකා කවද හරි විස්සවිජ්ජාලේ ගොහිනුයි නතර වෙන්නේ, නේද කොලුවෝ" ඔහු දරුවා දෙස බැලුවේය. ඔහු කියන්නේ මොනවාදැයි සිතාගත නොහෙනු දරුවා යන්තම් සිනා සී බිම හොත්තේය. දරුවා බිම හිද ගන්නේ නැත. මලපහ කිරීමට ඉදගන්නා අයුරින් ඇනතියා ගැනීම කරන්නේ පිටුපස බිම තෑබූ විට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවන බැවිණි. පුටුක වුවද ඉදගත්තේ එසේමය.

 ලද ප්‍රතිකාර හේතුවෙන් දරුවාගේ හිසකෙස් නම් ටිකෙන් ටික වැඩෙන්නට විය. දරුවා දෙමව්පියන්ට මුරණ්ඩු නොවීම ඔවුන්ට පහසුවක් විය. ආහාර කැවීමේ දී එපා නොකියා කවන තරමක් කටේ ඔබා ගත්තේය. නමුත් ටික වේලාවක් යන විට ඇස්ගෙඩි දෙකෙන් කදුළු බේරෙන්නට පටන් ගනී. එවිට ආහාර දීම හමාර වෙයි. මෙසේ ඉතා වෙහෙස මහන්සියෙන් නන්දාත් කරුණාරත්නත් දරුවා අවුරුදු හතරක්ම රැක ගත්තෝය. නමුත් තවත් අවුරුද්දක් දරුවා සිටිනුයේ මරු අභියසය.

කාරිය කෙරෙන තුරු කරන රගපෑම

නුඹ වටා සමලුන්
ගුම් නදින් රග දේවී
ඒත් උඹ දැනගනින්
උන් එන්නෙ රොනට බව

යම් දිනක සමලුන්
නුඹ දමා පැන යාවී
එවිට නුඹ දැනගනින්
රොන් නුඹෙන් රැගෙන බව

ඒත් උඹ සැනසියන්
නුඹේ සිහියට ඒවී
උන් උඹේ කරුණා රොනින්
මන් වඩා ගත්තු බව

Saturday, September 24, 2011

5 ලිපිය - ආරම්භය

අපි දැනගත්තනේ සියලුම දේවල් වලට වාගේම හේතුන් පවතින බව. සදාතනික ධර්මතා හැරුණු විට අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ලක්ෂණ සහිත සියලු දේ හේතු ඵල දහමට අනුව සකස් වෙන බව. ඉතින් යම් ප්‍රතිඵලයක් විග්‍රහ කිරීමෙන් අපට පුලුවන් මේකට හේතූ මෙවාය කියලා කියන්න. අනෙක් අතට ගත් කල ඒ හේතු සකස් වූ විට ලැබෙන ප්‍රතිඵලයත් කියන්න පුළුවන්. මේකට කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. අපිට පුළුවන් පරීක්ෂණය කරලා නීරික්ෂණය කරලා නිගමනයකට එලැබෙන්න. මේම නිගමනයන් පසුව නියමයන් බවට පත්වෙනවා.

මෙන්න මේ වගේම යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා හේතු ඵල දහම අධ්‍යයනය කිරීමෙන් නියමයන් සොයා ගන්න. අප මහා බුදු රජාණන් වහන්සේ ද ඉතාමත් දීර්ඝ කාලයක් කල පරික්ෂණ මගින් නියාම ධර්ම පහක් ඉදිරිපත් කර ඇති බවට සදහන් වෙනවා.

 සාමාන්‍යයෙන් නියමයක් ඉදිරිපත් කිරීමේදී උපකල්පන කීපයක් මත තමයි ඒක සත්‍යයැයි කියන්නේ. මේ නියාම ධර්ම පහ ද එසේමයි. ඒවා ද සත්‍ය වන්නේ යම් යම් තත්ව වලදී. උදාහරණයකින් කියනව නම් ඉහත ලිපියේ සාකච්ඡා කල කර්ම විපාක දීම එකම කර්මය කල දෙදෙනෙකුට බලපාන ආකාරය දෙවිදියක් බව පැහැදිලි කලේ. දැන් මොනවද මේ පංච නියාම ධර්ම?. කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, සෘතු නියාම හා චිත්ත නියාම යනු ඒ පසයි. මේ නියාම ධර්ම පිළිබද ඊළග ලිපියෙන් සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා!

Friday, September 23, 2011

මළ ගෙදරද? මල ගෙදරද?

ඔය මගුල වගේම උත්සවශ්‍රියෙන් කොරන එකක් නෙව අවමගුල. හැබෑටම කෙනෙක් මළාට පස්සෙන් පහු ලක්සො ගණන් වියපැහැදම් කොරාගෙන සමරන්න ඕනැමද?. සමහර ඈයින් මළාට පස්සෙන් පහු පූර්ණ ගෞරව සහිතව, බෝතල් පාටී, කැරම් තරගාවලි, බූරු කුට්ටම් පොර, දුම්බීම දන්සැල් තියලා මීනී බැන්ඩ් ගහලා ගජරාමෙට පවත්වනවනේ හැබෑටම.
 ඔය ගම්පලාත්වල බලන්න එපෑයෑ අම්මාපල්ල ජීවිතේට සමාජ ආස්සොරයක් නැති එකෙක් සෙත්තපෝච්චි උනත් ගමකට සෙනග ඉන්නව නෙව ඉළව් ගෙදර. උන්ට කෝපී දීලම ගෙදර ඇත්තො නන්නත්තාර වෙනවා. සමහර එවුන් දවස් හතම නිදිමරාගෙන ඉන්නේ හැබැයි ඕං මළ එකා ගෑනුද පිරිමිද කියලවත් දන්නෑ නෙව.
 මං අහන්නේ හැබෑටම ඔයහැටි වියපැහැදං කොරාගෙන මනුස්ප සරීරයක් කුණු කර කර තබාගන්නේ මක්කටෙයි. මං අහල තියෙයි ඔය සමහර පැති වල කුලියට අඩන ගැනුත් ඉන්නවනෙව කියාලා. ඉන්නකං පැත්ත බලන්නැතුව හිටපු අඹු දරුවෝ බලන්ට එපෑයැ අනේ අපිව දාලා යන්න ඒපෝ කියලා හූ තියන හැටි. ඕක ඇහුනම ඉතින් අර මළ එකා ඒ ගෙදරම බින්න බැහැ ගන්නවා පෙරේතයෙක් වෙලා හරි ඕං. පස්සෙන් පහු බනිනවා මූ මැරිලවත් අපිට ඉන්න දෙන්නේ නැති හැටියක්ය කියාලා. ඉස්සරනං ඕං යසෝධරාවත හරි වෙස්සන්තර කව හරි කියලා තමයි දුක තූනී කොරගන්නේ.
 මං කියන්නේ අර මුස්ලිම් ඇත්තෝ වගේ මළදාම වලදෑම කොරානං අහවරනෙව. සමහර අවස්ථා වල තියාගන්නම වෙනවනම් විතරක් තියා ගත්තනම් ගැටලුවක් නෑ. ඒත් ඉතින් ඉලව් ගෙදර එක එක එවුන්ගේ සූදු පොලයි සුරා පොලයි නොකර ඒ කාසී වලින් පිනක් දහමක් කොරාලා අර මැරිච්ච මනුස්සයට පිං අනුමෝදං කොරානම් අහකයිනේ.

Wednesday, September 21, 2011

18 සතිය

ජීවිතය යනු අපි බලාපොරොත්තු වන දේ නොව අපිට ලැබෙන දේ. 

Saturday, September 17, 2011

17 කොටස

" ඉතින් ඔයාට පුළුවන්නෙව ඉඩමක් ගන්නවයි කියාලා ලෝන් එකක් ගන්න. මමත් ලෝන් එකක් ගන්නවා ගේ හදන්න".
  කොහොමින් කොහොමින් හෝ අතේ රුපියල් පන්දාහක් ඇතිව අලුත් නිවසෙහි වැඩ ආරම්භ විය. කටුමැටි නිවස අසලින්ම නව නිවසට මුල් ගල තැබීය. ගේ එසේ ඉදිවද්දි නන්දාගේ දරු ගැබද වැඩෙන්නට විය. එම අවුරුද්ද අවසාන වන විට විසිත්ත කාමරයක් ද නිදන කාමර දෙකක් හා කුස්සියක් සහිත නිවසේ වැඩ අවසන් විය.
 ඒ එකදාස් නවසිය අනූ දෙක වර්ශය ආරම්භ වූ මාසයයි. සුපුරුදු පරිදි නන්දාත් කරුණාරත්නත් රැකියාවට ගියෝය. නමුත් නන්දාට සුපුරුදු පරිදි වැඩ කිරීමට නොහැකි විය. ඈට වැඩපලේදීම අමාරු වී රෝහල් ගත කලාය. එතැනින් බොරකන්ද රෝහලට මාරු කරණු ලදුව එහිදී තෙවන දරුවා උපත ලැබුවාය. ඒ රෝස පාට හුරතල් දැරිවියකි. ඈ පළමුවම පයගැසුවේ අලුත් නිවසෙහිය.
 කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නේය. මිත්තනියට දරුවන් තිදෙනකු බලා ගැනීම අපහසු බැවින් ද කිරි දීමේ ගැටලු ද නිසා ළමුන් තිදෙන බලා ගැනීම සදහා කරුණාරත්නගේ පොඩි මල්ලිගේ බිරිද පුෂ්පා ඉදිරිපත් විය. ඊට අමතරව පහල නිවසේ පදිංචිව සිටී පිස්සු බලු රෝග වෙදාගේ දියණිය වූ දිස්නා නමැත්තිය ද ඉද හිට පැමිණියාය. පුෂ්පාට ද ඒ වසරේදීම දරුවකු ලැබුණාය. එම නිසා ඈ පූර්ණිකාගේ ද කිරි මව විය.
 අපගේ කතා නායකයාගේ වයස දැන් අවුරුදු තුන හමාරකි. ඔහු වෙනුවෙන් නන්දාත් කරුණාරත්නත් වෙහෙසුනෝය. නන්දා දිගින් දිගටම දෛවඥයෝ පසුපස ගියාය. ඒ බොහෝ   දෙනාගේ මතය වූයේ දරුවා අවුරුදු පහට වඩා ජීවත් නොවන බවය. අවුරුදු පහ පන්න ගත්තොත් ළමයා ගොඩක් කල් ජීවත් වෙයි අයෙක් කීවේය. තව සමහරෙක් කීවේ අවුරුදු දහයෙන් ළමයා මැරෙණ බවය. මේ අපල වලින් ගැලවීමට ඈ නොකල දෙයක් නැත. මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමට මුදල් එකතු කලාය. යාචකයන්ට මෙන්ම බලු කපුටු දාන ද දුන්නාය. බෝධිපූජා පැවැත්වුවාය. දෙවියන්ට කන්නලවු කොට බාර හාර විය. මේ අතර එක් දෛවඥයෙක් මෙසේ පැවසුවේය. " නොනාට මේ දරුවා ජීවත් කරවන්න ඕනම නම් දරුවව සාසනයට භාර කරන්න".
 අවසානයේ දී ඈ එයද උත්සහ කර බැලීමට තීරණය කලාය. කරුණාරත්නට මේ බව පවසා ඔහු ද ඊට එකග කර ගත්තාය. නන්දාගේ සිත හැදීමට විනා කරුණාරත්න ඒවා ගැන එතරම් විශ්වාස නොකලේය. ඔවුන් දරුවා ද රැගෙන තිස්සමහාරාම විහාරයට ගියෝය. එහිදී නායක හාමුදුරුවන් මුණගැසී දරුවා සාසනයට භාර කලෝය. "දරුවට කැමති දවසක ඇවිල්ලා මහණ වෙන්න අවසර තියෙනවා" ලොකු හාමුදුරුවෝ අවසානයේ කීවේය.

Friday, September 16, 2011

4 ලිපිය - අවසානය

කර්මය පිලිබද සොයා යාමේදි එක් එක් කර්මයට ලැබෙන ප්‍රතිපලය මෙයයැයි නියම කල නොහැක. මන්ද මේ ලොකේ සියල්ල සිදුවන්නේ හේතු ඵල දහමට අනුවයි. එමනිසා එකම කර්මය කලද අනෙක් හේතූන් මත ඒවායේ ප්‍රතිඵල වෙනස් වෙනවා. කෙනෙක්ට පුලුවන්නම් යම් කර්මයක් කොට ඉතා ආරක්ෂිතව වෙසෙන්න කරාමය අරිනතුරු ජලය නොඑන්නා සේ එහි විපාක ලැබීම කල් යවා ගතහැකිය. ඒ නිසා තමයි සමහර මිනිස්සු කියන්නේ දුප්පත් අපිටමයි හැමදේම වන්නේ අර මිනිස්සු කරන තරමක් දහ ජරා වැඩ කරලත් කිසි ප්‍රශ්නයක් නෑ කියල . කෙනෙක්ගේ දුප්පත්කම, කම්මැලිකම, නොසැලකිලිමත් බව වැනි දේවල් නිසා ඔවුන් කරන ලද අකුසල් ශක්තිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය වටපිටාව හදනවා හරියට කරාමය අරින්නා වාගේ. නමුත් තැනට සුදුසු නුවණ, බලය, සැලකිලිමත්බව වැනි දේවල් මගින් කරන ලද අකුසල කර්ම ඵල දීමට ඇති ඉඩකඩ අඩු වේ. කෙනෙකුගේ කර්ම ශක්තිය ප්‍රබල වුන පලියටම අහසින් ගලක් වැටී මිය යන්නෙවත් සල්ලි මල්ලක් වැටෙන්නෙවත් නෑ. එහෙම වන්නනම් ඒ සදහා අවශ්‍ය භෞතික හේතුද සකස් විය යුතුමය.

 මෙයින් කිසිම විටක අනිත්‍ය දුඛ්‍ය අනාත්ම හෝ හේතුඵල දහම යන සත්‍ය බිද දමන්නට කර්ම ශක්තියට හැකියාවක් නෑ. සියල්ල හරිම තර්කාණුකූලයි. එසේනම් මෙ ලොකේ සිදුවන හා අනාගතයේ සිදුවෙන දේවල් කර්මයට අනුව පමණක් පැහැදිලි කල නොහැක. එතකොට ඒවා විස්තර කිරිමට දැන ගතයුතු අනෙක් දේවල් මොනවාද යන්න ඊලග ලිපියෙන් සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා.

වවුලාගේ මගුලට යන්නේ කොහොමෙයි?

ස්ටයිල් කොරන්න කවුද බොල අකමැති? දැන් මේ කලියුග කාලේ නා නා ස්ටයිල් එනව නෙව. ඉතින් බොලාලට කියන්න මොන විධියේ  පැසොන් ආවත් එව්වා කොරන තැනක් පිලිවෙලක් තියෙන්ට එපායැ. මොකද මගුලකට යන්නැහේ ඉලව්වකට යන්න ඇහැක්යෑ. තැනට ඔබින විධියක් එපැයි.

බලන්න එපායැ පෝයකට පන්සලකට ගෙහුන්. අම්මාපල්ලා මේ කොල්ලො කුරුට්ටොයි, කෙල්ලොයි ඇදන් එන විකාර වැරහැලි. ඒ විතරක්නම් මදෑ, මේ කොල්ලෝ අමු රස්තියාදු කාරයො වගේනෙව. ඒ මදිවට කෙල්ලෝ අඩ වතින් සැරසීගෙන කැකිරි පැලෙන්න හූ තියනවා අම්මාපල්ලා පන්සල කියල ගානක්වත් ඇද්ද මං කියන්නේ. හැබැයි ඕං සබාවක් ඉස්සරහට ගෙහුන් කතාවත් කොරන්ට කිව්වම බෙහෙත් කාපූ ගොළුවො වගේ අල්ලපු එකාට ඇහෙන්න කතා කොරගන්න බෑ.
 දැන් බලන්න මං මේ විස්සො විද්දියාලෙ නෙව ඉන්නේ. මේක තමන්ගේ පාසල් මව වගේම ගෞරව කොරන්ට ඕන තැනක් නෙවෙද? ඉසකේ හට හට කේසීගේ වගේ සමහරු හිස් වැසුම් දාගෙන, ඒ මදිවට නිස්සද්දව ඉන්න ඕන විභාග, දේශන , රැස්වීම් ශාලාවල දෙක වෙන්න කෑ කොස්සන් ගහනවා. මුන්ට විනෝද ගමනක් යනකොට බුදි. අනේ ඇත්තට තැනට ඔබින විදියට හැසිරෙන්න දන්නේ නෑ නෙව.
 ස්ටයිල් ආ පලියට දෙමව්පියන් බඩට නොකා හමුබුකොරන සේසතම වියදං කොරාගෙන ස්ටයිල් කොරන්නැතුව තැනට සුදුසු විදියට නව විලාසිතා කොලාට මයෙ අමනාපයක් නෑ. හැබැයි ඕං අලුත්ම පැසොන් එක කියලා සරොන් ගහගෙන වවුලගෙ ගෙදර ගෙහුං පස්සෙං පහු මං නොකිව්වාය කියන්ට එපා ඈ.  

Thursday, September 15, 2011

17 සතිය

මෝඩයා යනු මෝහය ඇත්තා වේ. එනම් යමක් හෝ කෙනෙක් මාගේ යයි සිතන්නාය.

Monday, September 12, 2011

16 කොටස

ඔවුන් දිගින් දිගටම දරුවා වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැප කලෝය. මාස හයෙන් හයට සායනය සදහා දරුවා රැගෙන ගියෝය. හේ දැන් නිතරම ලෙඩවන ගතිය අඩු නමුත් අවුරුදු දෙකක ළමයකුට වඩා බොහෝ දුර්‍වල වූයේය. තවමත් ඇවිදීමට අපහසුය. ඇවිද්දත් ඒ යමක් අල්ලාගෙනය. වචන දෙක තුනක් කතා කල විට විනාඩියක් දෙකක් හතිලෑවේය. හිස කෙස් සියල්ලම ගැල වී ගොස්ය. කෙතරම් කෙට්ටු වී ද යත් ගෙලට හිස දරා ගැනීමටත් අපහසු තරම් විය.
  නමුත් කාලයත් සමග මේ සියල්ල කරුණාරත්නටත් නන්දාටත් සාමාන්‍ය දේවල් විය. මේ අතර නන්දාගේ තාවකාලිකව ලබා ගත් මාරු වීම කල් ඉකුත් වීම නිසා නැවත කළුතරට මාරු වීමක් ලැබිණ. මේ නිසා සෑමදාම පාන්දර තුනේ කනිසමට ඇහැරෙන නන්දාත් කරුණාරත්නත් ආහාර පිස සූදානම් වී දරුවන්ට කිරි දී, සියල්ල සූදානම් කර හතර හමාර වන විට දරුවන් දෙදෙන මිත්තනියගේ නිවසේ  රදවා යන්නෝය. යතුරු පැදියෙන් අම්බලන්ගොඩ දක්වා යන ඔවුන් එය දන්නා නිවසක දමා දුම්රියෙන් ගමන් කලෝය. නැවත රාත්‍රියේ පැමිණ දරුවන් දෙදෙනද රැගෙන නිවසට යන්නේ ඊලග දිනයට සූදානම් වීමටය. සියලු වැඩ අහවර කොට නින්දට යන විට රාත්‍රි දහයද ගෙවී ගොස් ය. මෙසේ කාලය යන්නේ, නන්දාගේ කුසේ තවත් දරුවකු වැඩුනේය.
 දිනක් නන්දාට මෙසේ කල්පනා විය. තව ටික දොහකින් පවුලේ සාමාජිකයන් පහක් වන්නේය. මෙ මැටි නිවසේ දිගින් දිගටම සිටීම දෙවන දරුවාට ද අපහසුවකි. දැන් අම්මලාගේ නිවසේ හිටිය ද යම් දිනක ඔහුට මේ නිතරම දූවිලි පිරුණූ නිවස තුල ජීවත් වීමට සිදු වන්නේය. මේ නිසා ගඩොලින් ගෙයක් සාදා ගත යුතුය. මෙලෙස කල්පනා කල ඈ අවසානයේ එය තම ස්වාමියාට යෝජනා කලාය.

 " නන්දා ඔයාට පිස්සු හැදීගෙන එනව ද ගෙයක් හදන්න මං මේ ඔළුව ගිනි අරන් ඉන්න වෙලාවේ.... ඔයැයි හිතුවද ගෙවල් හදන එක සෙල්ලම් වැඩක්ය කියලා" එම යෝජනාව ඇසුනු මොහොතෙම කරුණාරත්න පෙරලා ඇසුවේය." නෑ කරුණේ මං කියන්නේ ගෙයක් නෙවෙයි අපි අත්තිවාරම වත් දා ගමු" කරුණාරත්න වැඩක් පටන් ගතහොත් එය මග නතර නොකරන බව දත් හෙයින්දෝ නන්දා කීවාය. " අනික ඉස්සරහට පස් දෙනෙක් වෙනවා. අර ළමයා කොහොම ද මේ දූවිලි ගොඩේ තියන්නේ. " ඈ තව දුරටත් කියාගෙන ගියාය.
 කරුණාරත්න වෙන මොහොතක නම් කර ඇරීමට උත්සහ කල ද දරුවකු කුසේ සිටින කල නන්දාගේ හිත පෑරීමට හේ අකමැති විය. " එත් නන්දෝ කොහේ තියෙන සල්ලියක් ද, අනේ මන්දා මොනව හරි බලමුකෝ. ගෙයක් හදනවා කියලා ලෝන් එකක් අරගත්තොත්...හ්ම්" කී ඔහු මදක් කල්පනාවේ නික්මී " හරි මට ආවා අදහසක්...මේ ඉඩම තියෙන්නේ මගේ නමටනේ " එක පාරටම නැවතත්  කටහඩ අවදි කලේය. "ඉතින්" ඈ කුතුහලයෙන් පිලිවිසියාය. "ඉතින් අපි බදිනකොට ඔයාගේ සැර්නේම් එක වෙනස් කලෙ නෑනේ. ඉතින් මට ආවා අදහසක්" කරුණාරත්න තම අදහස කීමට අසල තූබූ ලී පුටුවේ ඉද ගත්තේය.

Saturday, September 10, 2011

4 ලිපිය - කර්මය3

කර්ම කිරීම තුලින් සිතට නැතිනම් විඥ්‍යාන ධාතුවට ශක්තිය සැපයෙන ආකාරය ඉහත ලිපියේ දී පැහැදිලි කලානේ. එහි දී පෙනී ගිය කරුණක් නම් චේතනාවක් රහිතව කරන ක්‍රියාවකින් විඥ්‍යාන ධාතුවට බලපෑමක් නෑ කියන එක. අද අපි සොයා බලමු කර්මය පල දෙන්නේ කෙසේද කියා.
  සෑම කර්මයකම එවෙලෙහි ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. යමක් කල විටදී හා කරමින් සිටින විටදී ඇතිවන හැගීම හා ඒ හැගීම අරමුණු කරගෙන සිදුවන ක්‍රියා එවෙලෙහිම ලැබෙන ප්‍රතිඵල ලෙස හදුන්වන්න පුලුවන්. යම් අකුසල හෝ පාප ක්‍රියාවක් කිරීමේ දී ඇතිවන බය එහි පලමු ප්‍රතිඵලයන් ලෙස පෙනෙනවා. බය හේතු කොටගෙන සිදුවන හෞතික ප්‍රතිඵලයන් කර්ම විපාක හැටියට සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැදින්වෙනවා. අධික රුධිර පීඩනය, වෙව්ලීම, තැති ගැන්ම මෙන්ම නීතියෙන් හා සමාජයෙන් දඩුවම් ලැබීම , කරන්නට යන පාපී ක්‍රියාව වැරදීයාම නිසා අනතුරට පත්වීම යන සියලු ප්‍රතිඵල කර්ම විපාක ලෙස දැක්විය හැකියි. කුසල් හා පුණ්‍ය කර්ම වලදී ද මෙවැනි ප්‍රතිඵල ලැබේ. සතුට, ජනතා පැසසුම් , තෑගි බෝග ලැබීම් එවැනි විපාක කීපයකි. මෙලෙසම පසුව ලැබෙන ප්‍රතිඵල ද දැකිය හැකි.මේ භවයෙම පසුව ලැබෙන පල විපාක ලෙස නැවත නැවත සිහි කිරීමෙන් ඇතිවන සතුට හෝ භය, සම්මාන හෝ නීතියේ රැහැනට හසු වීම් වැනි දෑ දැක්විය හැකි.
     යම් පුද්ගලයකු කරන ලද කර්මයක් ඊලග භවයට බලපාන්නේ කෙසේද?. කෙනෙක් මැරෙන මොහොතෙ දි තමා කල කර්මයන් සිහි වීමෙන් සිතට එන සිතුවිල්ල අනුව ඊලග භවය සකස් වීම නිසයි බොහෝ කර්ම ඵල ඊලග භවයට ගෙන යන්නේ. අවසාන සිත සතුටුදායක නම් ඊට අනුරූප රුපයක් ඇසුරු කොට ඊලග භවය සකස් වේ. ඒ අනුව දේව, බ්‍රහ්ම හෝ මනුෂ්‍ය  භවයක හෝ ප්‍රතිසන්ධි සිත හට ගැනීම සිදු වෙනවා. මෙහිදි තමා කල අල්ප වරදක් හෝ ගැන පසුතැවීමකින් මිය යන්නේ නම් ඊලග භවය තැවෙන රුප හෙවත් අපාගාමී සත්වයන් ඇසුරු කොට හට ගන්නවා. උදාහරණයකින් කියනවනම්,  අනේ මං අර ගසට පය තැබීමෙන් පවක් කරගත්තා යැයි තැවෙන සිතින් මල කෙනෙකු වෙන කිසිම වරදක් නොකලද සතර අපායෙන් එකක හට ගැනීමට පුලුවන්.
  ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනී යන තව කරුණක් ඇත. එනම් ක්‍රියාවත් ප්‍රතිඵලයත් අතර කාල වෙනසක් නෑ කියන එක. ඒක ටිකක් පැහැදිලි නැතුව ඇති. මෙහෙමයි, ඇත්තටම මැරෙන මොහොතෙදි  කර්ම සිහි වීම තමයි ඊලග භවයෙ හට ගැන්මට හේතු වුනේ. නැතුව ඒ කර්මයම නොවෙයි. මන්ද පෙර කර්ම කර තිබුනද අවසන් සිත (චුතුප්පාද සිත) අනුවයි ඊලග සිත හට ගන්නේ. ආනන්තරීය පාප කර්මයකදි වන්නේ අනිවාර්යෙන්ම කර්මයේ බරපතලකම නිසා අවසාන සිතට එය අරමුණු වීමයි. මෙහිදි දැන ගත යුතු වන්නේ ටැංකියේ කොපමන ජලය තිබුනද කරාමය විවෘත කරන තුරු ජලය නොඑන්නා සේ කොතරම් අකුසල් කලද එය පල දිමට සුදුසු වටපිටාව සකස් විය යුතුය යන්නයි. එසේම කරාමය අරිනතාක් ටැංකියේ ජලය හිස් නොවන්නා සේ කර්ම ශක්තියද පල දෙන තුරු තමා පසුපස එන බවද දැන ගතයුතුය. එසේම ටැංකියේ ජලය ස්වල්පයක් ඇති කල්හි වාශ්ප වීම වැනි ක්‍රියා මගින් අහවර වන්නා සේ සමහර සුලු කර්ම අහෝසී වී යන්නට ද හැකි බවයි. මන්ද මේ සියල්ල ශක්තීන් වන බැවිනි.

Friday, September 9, 2011

තාක්සොනේට ඇහැක් වෙච්චි දේ

දැන් බොලා අපිලා ඉන්නේ 21 වැනි සත වර්සොයේ නෙව. ඉතින් බලන්ට එපෑයැ දියුණුව. මට එකවෙලාවකට හිතෙනවා අම්මපා අපිට නැති මගුලක් නෑ නෙව කියාපිනාලා. දැන් කොච්චරවත් බයිස්කෝප් තියෙයිද එක එක තාක්සොනය පාවිච්චි කොරන. 3ඩි සවුන්ඩ්ද ,3ඩි ඇෆෙක් ද මොනවද කියයි, ඉතා පැහැදිලි වර්ණ රූප කියයි. බොලාට කියන්න මොකද මන් දැක්කව නෙව බයිස්කෝප් පෙන්නන තැනක්, බයිස්කෝප් ඒකේ තියෙන දේවල් අපිට දැනෙනව නෙව බලාපිනාගෙන යනකොට. ඕං ඒකේ පැපොල් කන දර්ශොණයක් යනකොට පැපොල් පුසුඹේ බෑ බාං. පුසුඹ කියෙව්වාම මතක් උනේ දැන් කාලේ නැති පුසුඹක් තියෙයිද නොයෙක් පරික්සොණ කොර කොර ලොවෙත් නැති පුසුඹවල් හදනවනෙව. ඕං මං අහගෙන අපේ ජැසොමින් අයියගේ පුසුඹත් හදාපිනාලලු. මී හරක්ට ගහන්ට වෙන්ටෑ මයෙ හිතේ.
 දැන් බලාන්ට එපෑයැ හොද හොටෙලේකින් කාලා දිව පිනවන්න නොකරන දෙයක් ඇත්ද දිවිය ලොකෙවත් නැතිව ඇති එයිවගේ අමුර්ත පාන. ඊලගට බැලුවම හදන තරමක් පරික්සොන කොර කොර හදාපිනාලා තියෙන්නේම සැප ගන්ටම ඔනෑ දේවල්මනෙව. උපත්පාලන කොපුද පෙතිද කියයි, කෝ හැබෑටම ඔය හිත පාලනය කොරගන්න කොපුවක් තියා විල්ලක්වත් හදාලා තියෙයි මහලොකුවට. අපිට පාඩමක් කොරන්ට හරි වෙන වැඩක් කොරන්ට හරි ගියාම තියෙන ලොකුම පුරස්නේ නෙව එක විදියකට එක අරමුණක ඕක තියාගන්ට බැරි එක. කෝ ඉතින් ඔය මහලොකු තාක්සොනේට ඇහැක් වෙලා තියෙද ඒකට මැසිමක් තනන්ට. අහවල් එක පාලනය කරන්නනම් හදාවි එක එක විගඩන් මහලොකුවට. පිනවල අහවරයක් කොරන්ට පුලුවන් එකක්ද මං අහන්නේ ඇත්තටම ඔය තාක්සොනේ පාවිච්චි කොර කොර ධනය විනාස කොරපිනාලා කරන්ට තනන්නේ?  

Thursday, September 8, 2011

16 සතිය

මිතුරා යනු දුක සැප බෙදා ගන්නා නොව දුක නැතිකර සැනසීම ලංකර දෙන්නාය

Sunday, September 4, 2011

15 කොටස

"ලංකාවේ ප්‍රථම හදවත් සැත්කම සාර්ථක වේ" යන ශීර්ෂ පාඨය ලොකු අකුරින් තිබෙනු දුටු නන්දා වහා එය යෙහෙළියගෙන් උදුර ගත්තාය. ලංකාවේ දී හදවත් සැත්කමක් සාර්ථක වූ පලමු අවස්ථාව මෙය බවද ඉන්දියාවේ සිට පැමිණි ඩොක්ටර් නරේන්ද්‍ර ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සැත්කම සිදු කර ඇති බව ද රෝගියාගේ දෙමව්පියන් ඒ පිළිබද ස්තූතිය පල කල බවද එහි වැඩි දුරටත් සදහන් වී තිබුණි.
 සවස වැඩ ඇරී එන අතරතුරදීම කරුණාරත්න වෙත මෙම ආරංචිය පැවසූ ඇය පසුවදාම කොළඹ යාමට ඇවිටිලි කලාය. පසු දින දරුවාද සමග කොළඹ පැමිණි ඔවුන් රෝහල වෙත ගොස් පුවත්පත ඉදිරිපත් කොට එම වෛද්‍යවරයා හමුවිය යුතු බව සැලකලෝය.  නමුත් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එම වෛද්‍යවරයා දැනට කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන බවත් වෛද්‍යවරයා මුණ ගැසීමට එහි යා යුතු බවත්ය. එබැවින් කරුණාරත්නටත් නන්දාටත් සිදු වූයේ නැවතත් මහ රෝහල වෙක යාමටයි. එහි ගියද ඔවුන්ට වෛද්‍යවරයා මුණ ගැසීමේ අවස්ථාව ඇහිරීගියේ ඒ වන විට වෛද්‍යවරයා නැවත විදේශගතවී හුන් බැවිණි. නැවත මාස තුනකින් පමණ නැවත වෛද්‍යවරයා පැමිනෙණ බවද එබැවින් නැවත තුන් මසකින් දරුවා රැගෙන එන ලෙසද දන්වා සිටියේය.
  ඉන් තුන් මසක් ඉක්ම ගිය පසු ඔවුන්ට වෛද්‍යවරයා මුණගැසීමේ අවස්ථාව උදා විය. එහි දී දරුවා විශේෂ පරික්ෂා කීපයකටම භාජනය කෙරිණි. එහි දි අනාවරණය වූයේ දරුවාගේ හදවතෙහි සිදුරක් පමණක් නොව ශිරා දෙකක්ද සිහින් වී ඇති බවය. එබැවින් එකවර සැත්කමකින් එය සිදු කල නොහැකි බවත් එය අවස්ථා දෙකක දී සිදු කලයුතු බවත් තීරණය කෙරිණි. එසේම දරුවාගේ වයස තවම අවුරුදු දෙක බැවින් එවැනි සැත්කමක් නොකල හැකි බවද අවම වශයෙන් අවුරුදු පහ සම්පූර්ණ විය යුතු බවද තව දුරටත් දරුවා පරික්ෂා කල වෛද්‍යවරු පවසා සිටියෝය.
 නැවතත් දරුවාගැන තුබූ අලුත් බලාපොරොත්තුව ද වළාවකින් වැසි ගිය සදක් මෙන් අදුරු වන්නට විය. දරුවා නැවතත් අවුරුදු පහ දක්වා ආරාක්ෂා කිරීමේ වගකීම දෙමාපියන් මත පැටවින. නමුත් වෛද්‍යවරුන් ඒ සදහා බෙහෙත් වර්‍ග කීපයක් ද විටමින වර්ග කීපයක් ද ලබා දෙන ලෙස අනුමත කල අතර මාස හයෙන් හයට දරුවා පරික්ෂාවන් සදහා යොමු කරන ලෙස ද කියා සිටියෝය. 

Saturday, September 3, 2011

4 ලිපිය - කර්මය2

 මුලින් අපි කුසලාකුසල සහ පින්පව් අතර වෙනස උදාහරණ ඇතිව සොයා බලමු. බොහෝ විට ඔය අවස්ථා දෙකෙහිම කතා කෙරෙන ක්‍රියාවක් තමයි දානය. දානය කර්ම අවස්ථා හතරින් කුමන අවස්ථාවකට වැටේද? දන් දීම මගින් අත් හැරීමක් සිදු වේ නම් එය නිවනට උපකාර වන හැකියාවකි. එම නිසා එවිට එය කුසල් ගණයටයි වැටිය යුත්තේ. නමුත් කෙනෙක් දන් දීම තුලින් යමක් බලා පොරොත්තු වේ නම් , මාලු අල්ලන්නකු දමන ඇමක් බවට එම ක්‍රියාව පත් වෙනවා. එවිට එය අත්හැරීමේ කුසලතාව වලකන බැවින් අකුසල ගණයට වැටෙනවා. වෙනත් විදියකින් දක්වනවා නම් එයින් ලෝභය ස්මතු වීම නිසා නිවන් මග අවුරන බැවින් අකුසල් වෙනවා.
 නමුත් එය නැවත නැවත සිහිපත් කිරීමෙන් සිතට සතුටක් දැනෙන බැවින් පිනක් සිදු වෙනවා. නමුත් යමෙක් නොදී බැරි කමට දන් දී දුන් දෙය ගැන සිතමින් දුකට පත් වේ නම් එය පවක් ලෙස සැලකිය යුතුයි. මේ ආකාරයට බාහිර ක්‍රියාව එකක් ලෙස පෙනුනද සිත ක්‍රියා කරන ආකාරය අනුව විඥ්‍යාන ධාතුවට ශක්කිය ලැබෙන ආකාරය ද වෙනස් වෙන බව පේනවා. එම නිසා එක් එක් පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵල ද වෙනස් විය යුතුයි. මෙම උදාහරණයට අනුව පින් කල කෙනාද අකුසල් කල කෙනාද බොහෝ විට දෙව්ලොව යා හැකි. කුසල් කල කෙනා අත්හැරීම දියුණු කිරීම තුලින් බ්‍රහ්ම ලෝක දක්වා ගමන් කල හැකියි. නමුත් පව් නල කෙනා බොහෝ විට දුගතිගාමී විය හැකි.
 අප කරන බාහිර ක්‍රියාව අනුව මොහු යහපත්ය අයහපත්ය යැයි ස්ථීරව කිව නොහැකි ද මේ නිසාවෙනි. මේ අනුව යම් ක්‍රියාවක් සමාජයට යහපත් ලෙස බලපෑව ද එමගින් කතෘට අයහපත් ප්‍රතිඵලයක් ලබා දේ. මෙය කෙතරම් පුලුල්ද කිවහොත් යමෙකු තවකෙකුගේ ගෙල කපන්නේ ඔහු දෙව්ලොව යාමටත්, මලක් සිඹින ලද්දකු අපා ගත වීමටත් හැකියාවක් පවති. මෙහි ක්‍රියාකාරීත්වය නැතහොත් ප්‍රතිඵල ලැබෙන ආකාරය හැකි පමණ ඊලග ලිපියෙන් සොයා බලමු. 

සියතින් ගෙල මිරිකා ගැනීම

 අපේ ගැන්සිය කොයි වේලේත් මානන්නේ සැට් වෙන්න ස්පාසුවක් ලැබෙනකම් නෙව.මං නං ඉතින් ඔය සුරාව හැරලයි බොල ඉන්නේ. ඉතින් බොලාට කියන්න මං ඒවා ඇරියට මොකද ඔය බයිට් ටිකයි සැන්ඩියී අරින්නේ නෑ. මාත් සැට් එකත් එක්කම තමා.
        ඉතිං ඕං කස්ටිය පඩි කොල දෙක තුනක් වියපැහැදම් කොරලා ජොලියක් දාන්ට සැට් වෙනවයි කියමුකෝ. බෝතල් දෙකක් විතර අහවර වෙනකොට නෙව ජොලිය තියෙන්නේ. එකෙක් පටන් ගන්නවා මට ඇති වගේ බං මං පොඩ්ඩක් එලියට ගොහින් එන්නම් කියල යන්න. මායි තව එකෙකුයි විතරයි නෙව කෙලින් කටින් ඉන්නේ. ඉතින් ඕං අපි දෙන්නා ගෙහුන් බලනකොට මූ කබරයා දානවා. ඕං අරූ පැනලා පිට අතගානවා, මූ බඩ අතගා ගන්නවා. ඒ පාර තව එකෙක් ගේ ඇතුලෙම කබරයා දාලා. ඉතින් කුම්බලායින් මාළු කෑවානම් විදවාපන් බළලෝ කියන්නැහේ බයිට් කාපිනාලා සැන්ඩි බීවානම් අස්කොරාපන්කෝ අපි දෙන්නා. ඒක අහවර වෙන කොට තව එකෙක් මිදුලෙ දපලා බඩගානවා. සමහරක් විට පිගානක් වීදුරුවක් පොලවෙ අතාරිනවා.ඉතින් ඕං ඔලුව කැරකෙනවා, මත් වෙලා විකාර දොඩවනවා, පස්සෙන් පහු වෙන්දාත් ඇගට අමාරුලු.  ඕං ඔහොමතමා ආතොල් එක හමාර වෙන්නේ. 
  හැබැටම ඔයි තරම් අමාරුවෙන් ඔක උගුරට දමාපිනා ගන්න ඕක අමුරුත රස වෙන්ටෑ කියලා මූඩියෙන් එකක් මාත් දමාපිනා ගතිමි කියමුකෝ. ඕං එතකොට තමා තේරුණේ මක්කෙයි ඕකට ගිනි වතුර කියන්නෙ කියාලා. ඒ වංගියේ ඒක උගුර කට පුච්චාගෙන ගෙහුන් ආමාසෙත් දවාපිනාලූවනෙව. ඒ විතරක්යෑ ඉහමොලත් රත්වෙලා කදුලුත් පැනපි. මස් කෑලී තුන හතරකට වගකියල තමා ඒ දාහේ නිවා ගත්තේ. අම්මාපල්ල මුන් මොන මගුලකට මේ දහජරාව බොනවද මන්දා. තෙලිඡ්ඡ නං ඕං පැණි රසවත් කිව හැකි.

Thursday, September 1, 2011

15 සතිය

මේ ලෝකෙ නිර්මාණය වී තිබෙන්නේ ගතිගුණ වලින් පමණි.

Sunday, August 28, 2011

14 කොටස

දැන් සියල්ල හමාරය. වෛද්‍යවරුද ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. දරුවා ගැන සියලු බලා පොරොත්තු අත්හැර දැමීමට සිදු වී ඇත. දැන් ඔවුන්ට ඇති එකම සරණ ආගම ධර්මය පමණි. කරුණාරත්න නම් දරුවා පිළිබද ආශාව අත්හලේය. නමුත් අම්මා කෙනෙකුට එය කිසිසේත් කල නොහැක්කකි. ඔහු ද ඒ බව දන්නා බැවින් නන්දා කියන ඕනෑම දෙයක් කිරීමට කරුණාරත්න සහයෝගය දුන්නේය.
 නන්දා තම දරුවා වෙනුවෙන් කල හැකි සියලුම දේ කලාය. ඕ දන්නා කියන සෑම පන්සලකටම දේවාලයකටම බඩ ගෑවාය. බෝධි පූජා පැවැත්වූවාය. සෑම රාත්‍රියකම නින්දට පෙර පිරිත් කියා සත්‍යග්‍රහ කළාය. දෛවඥයන් ලවා කේන්දර බලවා කල යුතු සියල්ලක්ම උපදෙස් පරිදි කලාය. ඉන් දරුවා යම් සුවයක් පෙන්වුවද දිනෙන් දින ඇටසැකිල්ලක් බවට පත් විය. මූණ ඉදිමෙන්නට විය.

 ඒ දරුවාගේ දෙවන උපන් දිනයයි. නන්දා එදින අලුයම පිබිදී නැවුම් බවකින් යුතුව වැඩෙහි යෙදුනාය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ නන්දාගේ කුසට දරුවකු පිළිසිද ගැනීමයි. මෙයින් ඈ ප්‍රබෝධමත් වූයේ දිනක් දෛවඥයකු පැවසු කරුණක් නිසාය. ඈ දරුවාගේ කේන්දර කොපිය බැලවීමට එක් ස්ථානයකට ගියේ යහලුවකුගේ මග පෙන්වීම යටතේය. එහිදී කේන්දරය බැලූ දෛවඥයයා නන්දාට කිසිසේත් ඇදහිය නොහැකි ප්‍රකාශයක්  කලේය . " කවුද කියන්නේ මේ ලමයා ලෙඩෙක් කියලා, මේ ලමයගේ කේන්දරේ හැටියට දැන් ටිකක් කරදර කාලයක් උනාට මේක විශේෂ කේන්දරයක්. මේ වගේ වාසනාවන්ත කේන්දරයක් බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. මේ දරුවා ලෙඩෙක් නෙවෙයි. මේ දරුවා ගෙදර සින්දු කිය කිය නට නටා ඉන්න ඕන ලමයෙක්. නොනාට තව ගැහැණු ළමයෙක් ලැබෙන්න තියෙනවා. ඒ මෙ ලමයා පතාගෙන එන දැරිවියක්. ඈ මේ ලමයගේ වාසනාවටයි උපදින්නේ."  මෙයින් නන්දාට එදා ඇති වූයේ තරහවකි. මෙහෙමත් බොරුකාරයෙක් මේ ලමයා ජීවත් කරන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කරන්නේ යැයි ඕ තමාටම කියා ගත්තාය. නමුත් ඉන් එක් අනාවැකියක් දැන් නිවැරදි වී ඇත. ඇයගේ කුසට තවත් දරුවෙකු ලැබී ඇත. මෙදින ද දරුවාගේ උපන්දිනය නිසාද යම් බලාපොරොත්තුවක පෙරනිමිත්තක් හිතට දැනුණු නිසාදෝ හෝයි ඈ කිරිබතක් සෑදුවාය.
  එදින රැකියාවට ගොස් ප්‍රබෝධයෙන් වැඩ කල ඈට කෑම පැයේදී තම යහලුවකුගේ බත් පත එතූ පත්තරෙහි  තුබූ ලිපියක් නෙත ගැටිණි. එය තම පවුලේ දෛවය වෙනස් කරතැයි ඈ කිසිසේත් නොසිතන්නට ඇත.

Saturday, August 27, 2011

4 ලිපිය - කර්මය

අප මෙතෙක් දවස් ලෝකය පිළිබද ගැඹුරින් සහ සරලව සොයා බැලීමක් කලා. නමුත් කෙලින්ම මෙහි ඒ පිළිබද අදහස් දක්වා තුබූයේ බුංජු විසින් පමණයි. කෙසේ නමුත් මෙහි පැමිණෙන අනෙක් අයද මේ ලිපි පෙල කියවනවා යැයි මා සිතමි. ගිය සතියේ අප ලෝකයේ ක්‍රියාකාරිත්වය යටතේ සිත ක්‍රියා කරන්නේ කේසේද යන්න සොයා බැලිමු. එහිදි සිතේ ක්‍රියාකාරිත්වයට ශක්තිය සපයන ප්‍රධාන සාධකයක් ලෙස කර්ම ශක්තිය හදුනා ගතිමු. මේ කර්ම ශක්තියේ ක්‍රියාව ඉතා පැහැදිලිව විස්තර කිරීම ඉතාම අපහසු කටයුත්තක් නමුත් යම් පමණකින් හෝ ඒ පිළිබද සොයා බැලීම සුදුසු යැයි මගේ හැගීමයි. බුදුන් වහන්සේ විසින් සොයා නිම කල නොහැකි අචින්ත්‍යය දෙයක් ලෙස  කර්ම විෂය හදුන්වා ඇති බවයි පැවසෙන්නේ. නමුත් අපි පසුගිය ලිපිය අවසන් කල තැනින්ම මෙම ලිපියද ආරම්භ කර අපට හැකි පමණින් මෙම කර්ම විෂය සොයා බලමු.
 විඥ්‍යාන ශක්තිය මුල් කරගෙන කෙරෙන ප්‍රතිඵල සහිත ක්‍රියාවක් අපි කර්මය ලෙස හදුන්වමු. වෙනත් ආකාරයකින් කියතොත් චේතනාවක් සහිතව සිදුවෙන ක්‍රියාවක් කර්මය ලෙස හදුන්වමු. මෙවැනි ක්‍රියා කොටස් හතරකට බෙදිය හැක. එනම් කුසල්, අකුසල්, පින් හා පව් ලෙසය. කුසලය යනු කුසලතාවයයි. නැතිනම් හැකියාවයි. එවැනි ක්‍රියාවකින් සිදුවන්නේ හැකියාවක් දියුණු වීමයි. මෙහිදි සාමාන්‍යයෙන් කුසලතා ලෙස දක්වන්නේ නිවනට ප්‍රයෝජනවත් වන හැකියාවන්ය. එවැනි හැකියාවන් නිවනට පමණක් නොව යහපත් ජිවිතයකට ද ප්‍රයෝජනවත් වේ. මෙවැනි හැකියාවන් මොට කරන ජිවිතයට අනර්ථය පිණිස පවතින හැකියාවන් ද ඇත. සමහරුන් උජාරුවෙන් පවසන එවැනි පහත් හැකියාවන් අකුසලතා ලෙස හදුන්වමු. එවැනි අකුසලතා වර්ධනයවන යම් ක්‍රියාවක් වේ නම් ඒවා අකුසල කර්ම වේ. ඊලග කර්ම දෙක නම් පින හා පවයි. නැවත නැවත මතක් කිරීමෙන් සිත සැනසෙන ක්‍රියාවක් වේද එය පුණ්‍ය ක්‍රියාවක් ද සිත පසුතැවෙන ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් ද ලෙස සැලකේ. මෙහිදි පුණ්‍ය ක්‍රියා හා අපුණ්‍ය ක්‍රියා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වේ. මන්ද යම් ක්‍රියාවකින් පසු තැවීම හෝ සතුටු වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිණි.
 මේ අනුව කර්මය සිදුවන ප්‍රධාන ආකාර සතර පිලිබද තව දුරටත් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. ඔබට නිවන් සුව ලැබේවා!

පෙම් කෙලපල්ලා

අපෙ අප්පා මහන්සියෙන්
හම්බු කොරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා දුක් විඳගෙන
ඉතුරු කොරපු සල්ලි මෙව්වා
ඉල්ලුවාම ඕන තරම්
සොයා දුන්නු සල්ලි මෙව්වා
කෙල්ලේ මන් උඹ වෙනුවෙන්
පූජ කරන සල්ලි මෙව්වා

අපෙ අප්පා ලෝන් ගගහා
රෝල් කරපු සල්ලි මෙව්වා
අපෙ අම්මා නොකා නොබී
ඵකතු කරපු සල්ලි මෙව්වා
උජාරුවට මගේ වගේ
වීසි කරන සල්ලි මෙව්වා
පරපෝෂිත යාචකයින්
පිනුම් ගහන සල්ලි මෙව්වා

Friday, August 26, 2011

මකුණු දැලින් හුලං බැදීම

අපේ විසිතුරු කොල්ලා ඉන්නව නෙව. ඌයි මායි අතොරෙ වුනු කතිකාවක් නිසා ඕං  මේං මේක දමාලාපිනාන්ට හිතුනා. බොලාලා දන්නව නෙව නගර සෝභනියන්ව (වෙසගනන්ව) දැන් දිගට හරහට පොලෝසියෙන් කුදලාගෙන යනව නෙව. මං කියෙව්වේ මේ රාජකාරියට නැතුව අහවල් දේකට නොවෙයි. දැන් හැබෑටම ඔය තනන්නේ සිරි ලංකාවේ තුන්වන සික පදය සුරකින්නෙයි. නෑ නෙව. මොකෙයි ඕකුන් කුදලං ගොහින් හත් අට දාහකට ඇප මත මුදා හැරියම උන් ගොහින් පවුලක් පන්සලක් වෙලා හේනක් කුඹුරක් කොරාගෙන ඉන්නවෙයි. රට කරවන කාණ්ඩෙට කීයක් හරි හොයා ගන්නයි, රටේ එවුන්ගේ පරසාදේ දිනාගන්නයි කොරන බූත වැඩ නෙව. උන් ඔය ගාන පැයෙන් දෙකෙන් හම්බු කොර ගනී සුටු ගාලා.
 ඔය තහනම් ගහේ ගෙඩි කෑවේ මිනිහා ලෝකේ පහලඋන කාලෙම නෙව. එහෙව් එකේ මොන සක්කරයා ආවත් නවත්තන්ට ඇහැක් එකක් ද ඔය. රට කරවන රාලලාට තියෙන්නේ ඔක නීති ගත කොරලා විදිමත් විදියට කිරියාත්මක කොරවන එකයි. එතකොට ඔය ගබ්සා කොරන්නයි සමාජ රෝග වලට පතිකාර කොරන්නයි ඕනැන්නේ නෑනේ. මාසෙකට සැරයක් චැක් කොරලා ලෙඩ හැදිච්චි එවුන්ගේ බලපත්තරෙ අහෝසි කොරාලා වන්දියකුත් දුන්නනම් අහවරනේ. උන්ගෙන්ම බදු ගහලා ආදායමකුත් හොයාගෙන රට ගෙනියන එක නෙව තියෙන්නේ.
කරන කලට පව් මීරිය මී සේ
 විදින කලට දුක් දැඩිවේ ගිනි සේ
                                      කියාලා අපි පවු නොකර හිටියම ඉවරනේ. මොකද,
 නැණ මද එකා ගුණ දහමින් වෙලූවත්
 උගේ ගතිය ඌ නාරී මැරූවත්.

Thursday, August 25, 2011

14 සතිය

ඔහු හෝ ඇය හමුවන කල් සතුටින් සිටියානම් "ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ" කියන්නෙ ඇයි?

Sunday, August 21, 2011

13 කොටස

ඩිස්පැන්සරිය වෙත ගෙනගිය දරුවා පරික්ෂා කල වෛද්‍යවරයා මූලික ප්‍රතිකාර කීපයක් කොට කරාපිටිය රෝහල වෙත මාරු කර හැරීය.
 එහිදී දරුවා පරික්ෂණ කීපයකට භාජනය කෙරිණි. සවස වැඩ ඇරී ගෙදර පැමිණි න්දාත් කරුණාරත්නත් ආ පයින්ම නැවත කරාපිටිය රෝහලට ගියෝය. එහි ගිය කරුණාරත්න වෛද්‍යවරයා හමුවී දරුවාගේ විස්තර විමසීය.
" ඩොක්ටර් කොහොමෙයි මගෙ දරුවට ?"
" මිස්ටර් දරුවගේ පියා නේද?"
" එහෙමයි"
" මහත්මයා කලබල වෙන්න එපා මෙහෙම කිව්වට. දරුවගේ හාට් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අපි කාර්ඩිලොජි ටෙස්ට් එකක් කලා. දරුවා බේර ගන්න නම් පිටරට අරන් යන්න වෙනවා. ලංකාවේ ඒකට ප්‍රතිනාර කරන්න හැකියාවක් නෑ. කලබල වෙන්න එපා, මං බෙහෙතක් ලියලා දෙන්නම්. මං හිතන්නේ අවුරුද්දක් විතර පාලනය කර ගන්න පුලුවන්. මහත්මයා දරුවා ඉන්දියාවේ ගෙනියන්න සූදානම් කරගන්න."
 එයින් කරුණාරත්නට හදවතට රෝස කටුවලින් අනින්නාක් මෙන් සියුම් වේදනාවක් සමග හුස්ම හිරවෙන බවක් ද දැනිණි. මොහොතක් වෙලා ගල්ගැසී සිට නැවත පියවි ලොවට පැමිණ "එහෙමයි ඩොක්ටර්" කියා පිට වී ගියේය. දැන් කරුණාරත්නගේ ඔලුව දහසක් ප්‍රශ්න වලින් පිරී ඇත. මේ කාරණාව නන්දාට පවසන්නේ කෙසේ ද? මෙය ඇසූ පමණින් නන්දා මහත් වෙදනාවට පත්වෙනු නිසැකය. දරුවා ඉන්දියාවේ ගෙනියන්න සෑහෙන මුදලක් වැය වන අතර ප්‍රතිකාර වලටද සෑහෙන වියදම් දැරිය යුතුය. ඔහු අත තිබුණු මුදලද යතුරු පැදියක් ගැනීමට වියදම් කර ද තිබිණි.

ඔහු අතේ කඩදාසි තුණ්ඩුවක් තිබිණි. එහි පැරඩෝල් නම් විටමිනයක නමක් ද සස්ටජන් නම් පිටි වර්‍ගයක නමක් ද සදහන් ව තිබිණි. ඒ දෙක රැගෙන නන්දා ද සමග නිවසට පැමිණි නමුත් නන්දාට පැවසුවේ තවම රෝගය සොයා නොගත් බවයි. දරුවාගේ අසනීප ගතිය නැතිවන තුරු දවස් කීපයක් රෝහලේ නවත්වා ගත්තේය.     
දින දෙකකට පසුව නැවතත් සුදු පුතා ගෙදර පැමිණියේය. නමුත් සෑම සති දෙකකට වරක් ක්ලිනික් සදහා කරාපිටි ගියේය. ඒ සෑම අවස්ථාවකම කිසිම ප්‍රතිකාරයක් නොකල අතර යථෝක්ත විටමිනයත් පිටි වර්‍ගයත් පමණක් දීමට අනුමත කලේය.
  මෙසේ කාලය ගෙවී ගියේය. කරුණාරත්නට දරුවා ඉන්දියාවේ ගෙනයාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටද නොහැකි විය. නිතර ගමන් බිමන් යෙදුනු බැවින් යතුරුපැදිය විකුණා දැමීමට ද නොහැකිය. ඉඩම උගස් තැබුව ද බඩු විකුණා දැමුවද ප්‍රමාණවත් මුදල සොයා ගත නොහැක. මාස හයක් පමණ ගිය කල දිනක් නැවත දරුවා ක්ලිනික් රැගෙන ගියේය.
 " මහත්මයා තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දරුවා බේරා ගන්න සෑහෙන මුදලක් යනවා. දරුවා රට ගෙනියන්න තරම් වත්කමක් නැති බවත් ඇත්තයි. අපිට කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා. ඒත් මෙහෙම ලමයි බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඔබට තව දරුවෙක් ඉන්නව නේද?. දැන් තියෙන්නේ හිත හදාගන්නයි. හැමදාම බෙහෙත් කර කර තියා ගත්තත් අවුරුදු තුනකට වඩා දරුවා ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ පාර විටමින් එකත් පිටි එකත් මං නිකන් දෙන්නම්. ආයෙත් ක්ලිනික් එන්න අවශ්‍ය නෑ."

Saturday, August 20, 2011

3 ලිපිය - අවසානය

අපි ගිය සතියේ සොයා ගත්තා යම් ක්‍රියාවක් කිරීමේදී අරමුණක් ඉන්ද්‍රියක ගැටුනු විට ඊට අදාලව සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය. ඒවා චෛතසික කියමුකෝ. මෙම චෛතසික ඉපදවීමේ ශක්තිය  තිබෙන්නේ  විඥ්‍යාන ධාතුවේ බවත් අපි දන්නවනේ. ඒ වගේම අපි දන්නවා යම් ශක්තියක් ක්‍රියා කිරීමේ දී ශක්තිය හීන වන බව. එතකොට මේ විඥ්‍යාන ධාතුවට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද?. මෙන්න මේ ශක්තිය ලැබෙන්න ඕන කර්මයෙන්.
 දැන් බලන්න මල ස්පර්ශ වූ විට එය මලක් බව හදුනා ගන්නේ මතකයෙන්. එනම් අපි මලක් ගැන කලින් ඉගෙන ගෙන දැකලා තිබෙන නිසයි ඒක මලක් කියලා හදුනා ගත්තේ. හැබැයි කවදාවත් දැකල නැති දෙයක් දැක්කොත් අපිට ඒක හදුනගන්න බෑ. නමුත් ඒ දේ දුටු විට අපේ ඇසේ විඥ්‍යානය පහල වෙනවා. එනම් කර්මයක් සිදු වෙනවා. එතකොට පැහැදිලි වෙනවා විඥ්‍යාන ධාතුව හැදෙන්නේ කර්මයෙන් බව. මේ කර්මයන් සිදු කරන්නේ සලායතන හෙවත් ඉන්ද්‍රිය ඇසුරු කරගෙන. එම නිසා ඒ ඒ ආයතනයට අදාලව විඥ්‍යාන පහල වෙනවා. නාමරූප ඇසුරින් විඥ්‍යානය පහලවේ කියන්නේ ඒකයි. කෙනෙක් මැරෙනකොට මේ ආයතන හයෙන් පංචේන්ද්‍රිය හැර යන නිසා ඊට අදාල විඥ්‍යාන පහද නැති වෙනවා. නමුත් ශක්තියක් අතුරුදහන් වෙන්නේ නැති නිසා (ශක්ති සංස්තිති නියමය) මේ ශක්තිය මනෝ විඥ්‍යානයට එකතු වෙලා ඊලග භවයට ගෙන යනවා. නමුත් ඒ ශක්තිය පංචේන්ද්‍රියෙන් නූපන් බැවින් පෙර භවයේ මලක් දැක ඇතත් හදුනා ගැනීමක් සිදු වෙන්නේ නෑ. නමුත් සමහර විට මනෝ විඥ්‍යානයේ ඒ රූප හදුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ නිසයි සමහර පෙර භවයේ ඇසුරු කල දේවල් නැවත ගැටුනු විට හුරු පුරුදු ගතියක් දැනෙන්නේ.

 දැන් අපි හොයා ගත්තා කර්ම ශක්තිය මගින් විඥ්‍යාන ධාතුව ක්‍රියා කරන බවත් විඥ්‍යාන ධාතුවේ ඇති ශක්තිය මගින් චෛතසික උපදනා බවත්. එම චෛතසිකත් නාම රූපත් ක්‍රියා කිරීමෙන් නැවත කර්ම සිදුවන බවත් එම කර්ම ශක්තිය නැවත විඥ්‍යාන ධාතුවට හේතු වන බවත් අපිට පැහැදිලි. දැන් මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි. සියල්ල චක්‍රාකාරව හේතු පල දහමට අනුව සිදුවේ. එය අචේතනික සචේතනික යන සියලු දේට පොදු වේ. (ඹබේ අදහස් දක්වන්න. එය නිවැරදි මග යාමට උපකාර වේ. නිවන් සුව ලැබේවා!).

Friday, August 19, 2011

හිසේ ඇම්මට කොට්ට මාරු කිරීම

බොලාලට කියන්න ඕං අපේ හාන්දුරුවරු යස වැඩක් කරාපිනාලලු වාහන අනතුරු නවත්තන්ට. කොහේදෝ මංදා පාරක ඇක්සිඩොන්ට් වැඩිය කියාලා පාර දිගේ පිරිත් පැන් ඉහගෙන යනවා මං දැකපිනා ඔය ටෙලිවිසොන් එකේ. විපරීත කාලේන කඡ්ඡේන පුහුලං කියාපි.
 " පිංවතුනේ සියල්ලටම හේතු තියෙනවා, හේතු ඇති කල්හී පල ඇති වෙනවා හේතු නැති කිරීමෙන් පල නැති වෙනවා " කිලා බන දේසනා කොරන හාන්දුරුවෝ ඇක්සිඩොන්ට් නවත්තන්න පාර දිගේ පිරිත් පැන් ඉහිනවා.
 ඇක්සිඩොන්ට් නැති කරන්න මක්කෙයි කරන්ට ඕනැන්නේ. රියදුරන් මගීන් දැනුවත් කොරන්ට ඕනෑ. උන්ගේ විනය තනන්ට ඕනෑ. මාර්ග පද්දොතිය හරියට හදලා සංඥා බෝඩ් හරි හමන් විදියට පුදර්ශොනය කොරන්ට ඕනෑ. නීතිය අකුරට කිරියාත්මක කොරන්ට ඔනෑ. ඇයි හත්වලාමේ ඕකෙන් මේකෙන් වෙන්ටේ බුදු දහම හෑල්ලුවට ලක් වෙන එකනෙව.
 පිරිතෙන් ආරක්සාව ලැබෙන්නේ වෙන වෙන විදි වලින් නෙව. නැතිව ගෙයි දොරවල් ජනෙල් හායි ගාලා ඇරල තියෙලා පිරිත් බෝතලයක් ගෙයි දොරකඩින් තියෙව්වට ආරක්ෂාව ලැබෙන්නෑ නෙව.
 ඕකත් හරියට වැවට පිරිත් කියලා වැවේ වතුර පිරිසිදු කොලා වගේ වැඩක් නෙව.

13 සතිය

දුක් වීමට හෝ තරහ ගැනීමට කිසිම සාධාරණ හේතුවක් නොමැත.

Saturday, August 13, 2011

12 කොටස

ඔහු රන්වන් තලෙලු සමක් ඇති, තඹ වන් කෙස් කීපයක්ද ඇති නීරෝගී දරුවෙකි. අසල සිටී හෙදිය දරුවා ගෙන ටික දුරක් ගොස් "ඩොක්ටර් ඩොක්ටර් ...." කියා කෑ ගැසීය. දොස්තර මහතා පැමිණෙන විට දරුවා නැහැයෙන් කටින් සෙම දමමින් සිටියේය. දරුවා වහා හදිසි ප්‍රතිකාර අංශය වෙත යොමු කෙරිණි.
 දවස් දෙකක් එහි ප්‍රතිකාර ලැබීමෙන් පසු දරුවා මවට බාර කෙරිණ. දැන් නන්දාටත් කරුණාරත්නටත් ඊට වඩා දෙයක් නොවීය. දැන් ඔවුන්ට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. ඔවුන්ද නීරෝගී යහපත් දරුවන් දෙදෙනෙකි. පළමු දරුවා කළු බැවින්ද මේ දරුවා සාපේක්ෂව පැහැපත් බැවින්ද ඔවුන්ගේ චූටි පුතා ලොකු පුතා ද දෙවැනි දරුවා සුදු පුතා ද විය.
 දැන් දරුවන් දෙදෙනාම වැඩෙන්නේ නන්දාගේ දෙමව්පියන් ලගය. දෙදෙනාම හොද ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙන තම ගෙදරම්මාට කරදරයක් නොවීය. නිතරම හඩන්නේ නැත. තම ඇගේ චූ කරගත්තානම් ඒ බොහොම කලාතුරකිනි. නන්දා විසින් හැමදාම උදේටත් රෑටත් ඔවුන්ට මුත්‍රා කිරීමට හුරු කලාය. ඒ නිසා ඔවුන් රාත්‍රියට ද තෙමා ගත්තේ කලාතුරකිනි.
 කෙමෙන් කෙමෙන් කාලය ගතවිය. මේ පවුල තම කුඩා පැල්පතේ සතුටින් ගත කලේය. කුඩා දරුවන් සිටින පවුලක පවතින ගැටලු ඔවුන්ට නොතිබුනාම නොවේ. නමුත් සුදු පුතාට අවුරුදු එක හමාරක් ගතවන තුරුම ඔවුන් සතුටින් ගත කලේය. ඉන් පසු නැවතත් ඔවුත්ගේ අවාසනාව ඔවුන් සොයා එන්නට විය.
 ටික ටික දෙවන දරුවාගේ වෙනස්කම් ඔවුන්ට දක්නට ලැබිණ. දරුවා නිතරම අසනීප වන්නට පටන් ගත්තේය. නිතරම උණ ගත්තේය. වෛද්‍යවරුන් ද උණට සෙමට බෙහෙත් කලා මිස නිතරම අසනීප වීමට හේතුවක් සෙව්වේ නැත. ටික ටික දරුවාගේ නිය හා තොල් දම් පැහැයට හැරෙමින් පැවතුනි. හිසේ තුබු තඹවන් කෙස් සියල්ල හැලී ගියේය.
 කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිකාව සුපුරුදු පරිදිම පවත්වාගෙන ගියේ ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය ඔවුන්ගේ රැකියාවන් වීම නිසාය. දිනක් දරුවන් දෙදෙන මහ ගෙදර අත්තම්මා අතේ සුරතල් වෙමින් සිටියේය. ඒ අතර සුදු පුතාට නැවතත් උණ ගැණිනි. නිතරම වාගේ උණ ගන්නා බැවින් එය එතරම් ගණනට නොගෙන පැනඩෝල් භාගයක් දියකොට පොවා දරුවා නිදි කරවිය. නමුත් දරුවා නිදි නොගෙන දිගින් දිගටම හඩන්නට හොත්තේය. ටික වේලාවක් ගතවන විට දරුවා වෙවුලන්නට පටන් ගත්තේය. දරුවාගේ දතකට පූට්ටු වී ෆිට් එක සෑදිණි. එයින් බිය ගත් මිත්තනිය හැදිවත පිටින්ම දරුවා වඩාගෙන ඩිස්පැන්සරිය වෙත පයින්ම පාරදිගේ දිව ගියාය.

3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය 2

අපි ගිය සතියේ සොයා බැලුවා කොහොමද මේ ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහිදි අපිට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තහවරු විය. එනම් මේ ලෝකේ බොහෝ ප්‍රතිඵලයන් හේතු නිසා ඇතිවී හේතු නිසා නැති වී ක්‍රියාත්මක වන නොනවතින සිද්ධි දාමයක් යන්න සහ ඒවා චක්‍ර්‍ර ලෙස නැවත නැවත සිදුවෙන බැවින් ආරම්භයක් දැකිය නොහැකි බව.
 නමුත් මෙහිදි මා කල්පනා කිරීමේදි ස්ථිර වු වෙනස් නොවන යම් යම් දේවල් ඇති බව පෙනී ගියා. නිර්වාණය, අදුර, සමහර හැගීම්  (පුද්ගල බද්ධ හැගීම් නොවේ) ඒ අතර වේ. තව දුරටත් කල්පනා කිරීමේදී පැහැදිලි වූ දෙයක් නම් ඒවා අහේතුකව පවතින ධර්මතා වීම.
  අද අපි බලමු සත්වයාගේ පැවැත්ම සිදුවන්නේ කොහොමද කියලා. සත්වයකු සෑදි ඇත්තේ මූලික වශයෙන් නාමරූපයත් විඥ්‍යානයත් එකතු වීමෙන් බව අපි ලෝකයේ සංයුතියෙදි සොයා ගතිමු. මේ පිළිබද තව දුරටත් සොයා බලමු.
 අපි උදාහරණයකට ගනිමු කෙනෙක් මලක් කඩන ක්‍රියාවක් කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මල තියෙනවා. ඒකේ ක්‍රියාව ඉහත ලිපියට අනුව ස්වායක්තව සිදුවේ. සත්වයාගේ පැත්තෙන් ඇස තිබේ. එයත් සතර මහා භූතයන් ඇසුරුකොට ඇති රූපයක්.  ආලෝකයේ සහය ඇතිව මේ රූප දෙක ගැටෙනවා. එවිට ඇසේ ඡායාවක් වැටුනු බව දැනෙනවා. එය ස්පර්ශය වේ. ඊ ළගට එය හොද දෙයක් ලෙස දැනෙනවා. එය වේදනාව වේ. ඉන්පසු මේ මලක් බව අදුන ගන්නවා.එය සංඥාවයි. ඊ ළගට මලට අදාලව තමාගේ අදහස් ගලාගෙන එනවා.එය සංස්කාරයයි.  ඒ අනුව මල කෙරෙහි ආශාවක් ඇති වෙනවා. මල කැඩීමේ ආශාව එනවා. මල කැඩීමට අවශ්‍ය සිත් ක්‍රියාත්මක වීමෙන් මල කැඩෙනවා. ඇත්තටම මෙහි මල කඩනවා නොව කැඩෙනවා. දැන් මෙහිදි පැහැදිලි වෙනවා මල කැඩූ කෙනෙක් නැති බව සහ මල හා ඇස ගැටීමෙන් පසු සියල්ල, සිතුවිලි එකට එකක් හේතු විමෙන් ඉබේම සිදුවන බව. එතකොට මේ සිතුවිලි ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය කොහෙන්ද ලැබෙන්නේ. එය අප සොයාගත් මූලික ශක්ති ප්‍රභවයන් පහෙන් එකක් විය යුතුය. එනම් ඒ විඥ්‍යාන ධාතුව වේ. 
 දැන් අපට පැහැදිලි වෙනවා මේ ලෝකේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන බව. මා සදහන් කල ස්ථිර ධර්මතා ක්‍රියා නොවන බැවින් හේතු ඵල දහමට අනුව විස්තර කල නොහැක. ඒවා පිළිබදත් විඥ්‍යානය පිලිබදත් ඉදිරි ලිපියක දී සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා.

Thursday, August 11, 2011

නිදහස

අද ඕං මං කියාන්ට යන්නේ අපේ දහය එකොළහ වසර ඉංගිරීසි පොතේ තිවුන කතාවක්. බොලාට, මං කියන්නේ ඒ කැලැස්වල උගෙන ගත්තු ඈයන්ට මතකත් ඇති.
  ඔන්න ඉතින් එක් ගම්මානයක බැද්ද කිට්ටුව මනුස්පයෙක් ඉදපිනා. මේකා ජිවිකාව ගෙන ගියේ දර විකුණලා. දවසකට ඇති වෙන්න කාසි උපයාගන්න පරමාණවත් දර ටිකක් කාපාලා පොඩි අත් කරත්තයකට දමාලා තල්ලු කොරාගෙන ගෙහුන් විකුනලා තමයි ජිවිකාව ගෙන ගියේ. ඉතින් ඔය අතරෙ සිදාදියෙදි මේකට මිත්තරයෙක් හම්බු වෙලා කයියට වැටුනා. ඉතින් ඕං මේ යාලුවත් මේ දිලිදු මනුස්පයාට කියාපිනා,
 " ඉතින් ආයුබොවන් ඔහේ හැමදාම ඔහොම ඉන්නෙයි කල්පනාව. දියුණු වෙන්න අදහසක් නැතෙයි" කියාලා. මේ මනුස්පයත් ඒ පාර අහපිනා "ඔය දියුණුව කියන්නේ මක්කෙයි" කියාලා.
 ඒ පාර මේ සිදාදිකාරයා " ඇයි කැමති නැතෙයි ලොකු මන්දිරයක අතට පයට වැඩ කාරයෝ, ලස්සන සුරූපී බිරින්දෑ කෙනෙක්, ඊ ලගට කිසිම දෙයක් නොකර නිදහසේ තමන්ටම කියලා වාහනයක වාඩි වෙලා ගෙහුන් චිත්තර පටියක් බලාපිනාලා සතුටින් ඉන්ට" කියාලා අහපිනා.
 ඉතින් මේ කතාව අහපු අර දර විකුණන්නටත් ලොවෙත් ආසාවක් ආපිනා දියුණු වෙන්ට. ඒත් කොහොමෙයි දියුණු වෙන්නේ. ඒ පුරස්නෙත් අහපිනා මිතුතරයාගෙන්.
 "කොරන්ට තියෙන්නේ මහන්සි නොබලා දර කපාලා අමාරුවෙන් හරි පුලුවන් තරම් දර කරත්තෙට පටවාලා සිදාදියෙ හැම තැනම ඇවිදලා පුලුවන් තරම් හනිකට ඒ දරටික හමාර කොරලා ආයෙත් වංගියක් ගෙහුන් ඒ වාගේම දර විකුණන එකයි. ඒ වාගේ දවසට තුන් වරක්වත් කොරගත්තොත් මාසයක් හමාරක් යනකොට බැරියෑ ගොන් කරත්තයක් ගන්ට. ඒ කරත්තෙන් ඔයිටත් වඩා දර ඇද්ද හැකි නෙවැ. එතකොට බැරියැ ගොනෙකුත් ගන්ට. එතකොට නම් බොට බැරියැ දරට අමතරව වෙන දේවලුත් විකුණන්ට. පස්සෙන් පහු හොද විසාලෙට ගේකුත් හදාගෙන රූප සුන්දරියක් කැන්දාගෙන අවුත් දරුමල්ලොත් හදාගෙන ඉන්ට බැරුවයෑ. බිසිනොස් එක ලොකු වෙනකොට සේවකයොත් ගත්තෑකි. බොට ඉතින් ජොලියෙ කාලා බීලා ඉන්ට ඇහැක් නෙව..." කියමින් දිගටම කියාපිනාගෙන යන්ට පටන් ගත්තයි කියමුකෝ.
 ඉතින් මේ අලුත් මිත්තරයා කියන සියල්ලම සාවදානව අහන් හිටපිනාපු මේ දර විකුණන්නා කල්පනා කොරන්ට පටන් ගතිපිනා." මේ වැඩේට මට දුක් විදින්ට ඕනෑ. ඔය කියන තත්වෙට එන්ට තව අවුරුදු දහ පහලොවක්වත් යාවී. එතකොට මගෙ තරුණකාලෙත් අහවරයි. දරුමල්ලො හදාගෙන ලොකු බිසිනොස් කාරයෙක් වුනාම ලොවෙත් නැති පුරස්නයි වගකීමයි. එතකොට මොන සැප සම්පත තිවුනත් මොන ජොලියක්ද?, ඇරත් දැනුත් මන් නිදහසේ කාලා බීලා සින්දුවක් කියාගෙන ඉන්නව නෙව. මෙච්චර දුක් විදල ආයෙත් මන් එන්ට හදන්නේ ඒ නිදහස සොයන්නට නෙවෙද" කියාලා හිතපු මේ මනුස්පයා මිත්තරයාට කියාපිනා,
"ඈ බං අවුරුදු ගානක් මගේ සන්තුස්ටිය නැති කොරාගෙන දුක විදලා ආයෙත් හිටපු තැනටම නෙවෙද මං එන්නේ. දැනුත් මං සන්තෝසෙන් නිදහසෙන් ඉන්න එකේ මගේ ජීවිතේ හොදම කාලෙ විනාස කොරගන්නේ මක්කටෙයි ආයුබොවන්!"

Wednesday, August 10, 2011

12 සතිය

ඔබ ඇයට හෝ ඔහුට ආදරය කරන්න. නමුත් පෙම් නොකරන්න.

Sunday, August 7, 2011

11 කොටස

ඔවුන් දෙදෙන විවාහ වන විට ඔවුන් සතු වූයේ සූට් කේස් දෙකක බඩු පමණකි. ඔවුන් අම්පාරේ සිටි සය අවුරුද්දට සිසිලන විදුලිපංකාවක්ද , හිටවන විදුලිපංකාවක්ද, ඇදකුත්,  කැබිනෙට්ටුවකුත්, අල්මාරියකුත් , මහන මැෂිමකුත්, රූපවාහිනියකුත්, වෑර්ලස් එකකුත්, මේසයක් සමග වැල් පුටු හයක් ද ඇතුලු නිවසකට අත්‍යවශ්‍ය අනෙක් සියලුම උපකරණ ද  ගැනීමට සමත් වී තිබුණි. අලුත් ගෙට පදිංචි වන දින නන්දාට අම්මාගෙන් ගල් වංගෙඩියක්ද ලැබුණී. 
 දැන් දරුවාටද අවුරුද්දකුත් මාස නවයකි. ඔවුන් වැඩට යන විට දරුවා නන්දාගේ මහ ගෙදර තබා යාමට පුරුදු විය. දරුවා හැදුනේ ආච්චි අම්මා ලගය. නන්දාගේ අක්කටද පුතකු සිටී බැවින් ශාලික ඔවුන්ට චූටි පුතා විය. ඔහුට ආච්චි ගෙදඅම්ම්ම්මා ද සීයා ගෙදතා....ත්තාද විය. උදේට මහගෙදර දමා වැඩට ගොස් සවස එනවිට දරුවා රැගෙන ඒම නන්දාගේ රාජකාරියකි.
 ඔවුන් නිවසට පැමිණ සතියක් ගියතැන ගෙදර කුලියට සිටී දෙදෙනාද යන්නට ගිය බැවින් ඔවුන්ට නිදහසේ කිටීමට අවස්තාව ද සැලසිණි. එය විශාල වත්තකින් යුතු බැවින් ආහාර සදහා වැඩි වියදමක්ද නොවීය. අසල්වාසීන්ද ඉතා යහපත් පුද්ගලයින් විය. මෙම ඉඩමේ මුල් අයිති කරුවන් වූ සාමිපුල්ලේගේ ගෙදර ද ශාලිකගේම වයසේ ගැහැනු දරුවෙක්ද ඔහුගේ වයෝවෘද මව ද වාසය කලෝය. පහල ගෙදර විසූවේ පිස්සු බලු රෝගයට වෙදකම් කරන වෙද මහතෙකුත් බිරිදත් දිස්නා නම් වූ දියණියකුත්ය. ඇගේ අයියලා තුන් දෙනෙකු හිටිය ද ඔවුන් එහි නොසිටියේය.
  දිනක් කරුණාරත්න පැමිණ "ඔයයි කැමති දෙයක් තියෙයිනම් කියාන්න " යැයි නන්දාගෙන් විමසා සිටියේය. " මොකක්දෑ.." යි පවසා නැවත බිම බලාගෙන ඈ කල්පනාවට වැටිණි. ඇත්තටම පලමු දරුවා ලැබීමට සිටි අවදියේ ඈට මස් අනුභව කිරීමේ දොලක් උපන්නාය. එදා කරුණාරත්න විසින් සාදාදුන් මස් හැලියකටම වග කීමට ඈ සමත් විය. මෙවර එසේ කිසිවක් නොකී නිසාදෝහෝයි කරුණාරත්න මෙසේ අසන්නට ඇත. යම් කිසි බාධාවක් නිසා නැවත මේ ලොවට පැමිණි ඈ " නැ එහෙම දෙයක් නෑ" යි කීවාය. ඇත්තටම නන්දාට දෙවන දරුවා පිලිසිද ගත් දින සිට කිසිම ආශාවක් නූපන්නාය.
 1989 මාර්තු මස මැද හරියෙදී ඈට අමාරු වී රෝහල් ගත කලාය. එම මස බ්‍රහස්පතින්දා දිනයක් වූ විසිතුන්වන   දින අලුයම හිරු නැග එද්දී නන්දා පින්වත් පුත් රුවනක් ලැබීය. ඒ අප කතා නායකයාගේ උපතයි.

Friday, August 5, 2011

3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය

අප දෙවන ලිපි පෙල මගින් ලෝකයේ සංයුතිය ගැන සොයා බලන ලදී. අප මීලගට ලෝකය ක්‍රියා කරන්නේ කෙසේද යන්න සොයා බලමු. එහිදි අපට සතර මහා භුතයන්ගෙන් සැදුනු අජීවි ලෝකය හා විඥ්‍යාන ධාතුව සම්බන්ධ වන සජීවි ලෝකය යන කොටස් දෙක වෙන වෙනම සොයා බැලීම යෝග්‍යයැයි මට සිතේ. එහි පලමු පියවර වශයෙන් අජීවි ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බලමු.
 මෙහිදි අපි මේ ලෝකයේ ස්භාවික සිද්ධි ඇති වන්නේ කෙසේද යන්න සොයා බලමු. වැස්ස ඇතිවෙන්නේ කොහොමද? කවුරුහරි අහසෙ ඉදන් වතුර හලනවද, නැත්නම් වැස්සට අධිපති දෙවි කෙනෙක් මිනිසුන්ගේ හිත සුව පිනිස වැස්ස මවනවද? ඒ වාගේ අනිත් සංසිද්ධින් වෙන්නේ කොහොමද?
  අපි බලමු කාටත් වැටහෙන නිසා වැස්ස ඇති වෙන්නේ කොහොමද කියලා. අහසෙ තිබෙන ජල වාශ්පවල බර වැඩිවීම නිසාත් ගුරුත්වාකර්ෂණ බලය නිසාත් නේද වැස්ස ඇති වෙන්නේ. එතකොට අහසේ හැමදාම වහින්න තරම් ජලය කොහින්ද? අහසට ජලය ලැබෙන්නේ පොළවෙ ඉදලා වාශ්පීකරණය වීම නිසා. එතකොට අපිට පෙනෙනවා වැස්ස කවුරුවත් ඇති කරන දෙයක් නොවෙයි හේතු කීපයක් නිසා ඇතිවන බව. මෙහිදී අපට තව කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමයි යම් ප්‍රතිඵලයක් ඇතිවීමට හේතු බලපානවා. ඒ හේතු ඇතිවීමට වෙන හේතු බලපානවා. මේ විදියට ගියාම නැවතත් මුලින්ම ඇතිවූ ප්‍රතිඵලය අවසානයට ඇතිවූ ප්‍රතිඵලයටම හේතු වෙන බව. ඒ නිසා අපට පටන්ගත් හෝ අවසාන වන තැනක් දකින්න බෑ. ඒක චක්‍රාකාරව දිගටම සිදු වෙනවා. ඒකට අපි ජල චක්‍රය යැයි කියමු.
 මේ විදියට කල්පනා කලවිට හැම සංසිද්ධියක්ම ගත් විට, ගස්වැල් ඇතිවීම , වායු චක්‍ර , මූලද්‍රව්‍ය චක්‍ර වගේම සංසාර චක්‍රය, කල්ප චක්‍ර වාගේ විවිධ ප්‍රමානයේ චක්‍ර ලෙස දැකිය හැකි. ඒ නිසා විය යුතුයි ආරම්භය සොයන්න මහන්සි වෙන්න එපායැයි බුදුන් වදාලේ. ඒ වාගේම තව කරුණක් මෙහිදි අපට පැහැදිලි වෙනවා. ඒ තමයි මේ චක්‍ර ක්‍රියාත්මක වන එක නැවැත්වුවොත් අපට කෙලවරක් දැකියහැකි බව. කොහොමද මේ චක්‍ර නවත්වන්නේ.
  අපි හිතමු අපිට ජල චක්‍රය නවත්වන්න උවමනායි කියලා. අපි මුලින්ම හේතුවක් අල්ල ගන්න ඕන. අහසට ජලවාශ්ප ලැබීමට හේතුව පොලවේ ජලය වාශ්පවීමනේ. අපි පොලවට වැටෙන හා පොලවේ තිබෙන සියලුම ජලය වාශ්ප නොවන සේ වායුගෝලයෙන් ආවරණය කලොත් යම් දවසක වැස්ස නැතිවෙනවා. එසේ නම් අපිට පෙනෙනවා යමක හේතුව නැති කිරීමෙන් එය නැතිකල හැකි බව. ඇත්තටම ප්‍රතිඵලයක් ඇතිවීමට හේතු ගොඩක් තිබෙනවා. එයින් එක් හේතුවක් නැති කලද ප්‍රතිඵලය නැතිවෙනවා. මන්ද යත් ප්‍රතිඵලයක් ඇති වුනාම ඊට හේතුවූ කරුණු සියල්ල පවතින්නේ නෑ. උදාහරණයක් වශයෙන් ගසක් ඇතිවීමට බීජය හේතු වුනත් ගස සැදුනු පසු අපිට ගස නැති කරන්න බීජය නැති කරන්න බෑනේ. 
 ඉතින් දැන් පැහැදිලී නේද මෙ ලෝකයේ ක්‍රියාවන් සිදුවන්නේ දෙවියන්ගේ හරි භ්‍රහ්මයන්ගේ හරි මිනිසුන්ගේ හරි වෙනත් කෙනෙක්ගේ හරි කැමැත්තට නොවන බව. වෙනත් බොහෝ ආගම් වලට වඩා බුදුසමයෙ ඇති එක් ප්‍රධාන වෙනසක් ලෙස මා දකින්නේ මේ විද්‍යානූකුල විග්‍රහයයි. නමුත් මා මෙයින් අනෙත් ආගම් කිසිසේත් හෙලා නොදකින බව කරුණාවෙන් සලකන්න.ඔබ ඔබේ ප්‍රඥ්‍යාවෙන් සිතාබලා හරි වැරදි මෙහි ලියා දක්වන්නේ නම් මැනවි. ඔබට නිවන් සුව ලැබේවා.

කවුද දෙයියෝ ?

ඉතින් ඕං  දැන් හුචස් පෙල අභාගයත් පටන් ගන්න හින්දාත් , මගේ "යථාර්තය සොයා.............." ඊළග ලිපියටත් අදාල නිසාත් , මගේ කට කහන නිසාත් මේ මගුලත් කියල දාන්ට ඕනෑයි කියාලා හිතුනා.
 ඉතින් පහුගිය දොහේ අපේ හුචස් පෙළ කොරන බබාලගේ අම්මලෑ එහෙම දේවාල වලට ගොහින් කන්න ලව් (love 4 eat) කරපිනාලා එහෙම භාරහාර එහෙම වෙන්ට ඇති නොවෑ. මොකද ඉතින් කපු උන්නැන්සෙට දාහක් දෙදාහක් පූජා නොකලොත් එහෙම දෙයියො කෝපාවිස්ඨ වෙලා බබාලට ලයිට් කණු එව්වොත්!
 දැන් ඔය බෝධිපූජා සාන්තිකරුම කොලයි කියාලා කොයි දෙයියද විභාග සාලාවට ඇවිදිල්ලා උත්තර කියාපිනාලා ගියේ. ඇරත් ඔය ගෙඩි පිටින් පළතුරු අරන් ගියයි කියාලා කොයිතරම් කන්න- ලව් කොලාත් කනවයෑ. පුදුම වැඩේ කියන්නේ පූජා වට්ටියට තියන සල්ලි ටිකයි  ගෙඩි පිටින් තියෙන පළතුරු ටිකයි නොවෑ දෙවියොත් අරගන්නේ. ඉතින් ළමයත් මොන දහංගැටේ දාලා හරි විභාගෙ ගොඩ දාගනිපිනාම ගොහින් භාරහාර ඔප්පු කොරන්ට තව කුට්ටියක් ගොහින් පූජා කොරාපන්කෝ.
 අනේ හැබැටම ඉතින් ඉස්කොලේ හාමිනේලා, මහත්තෙයැන්ලා උදේ හිට ගිරිය කඩාගෙන මොරදීලා ගාලකඩාගත්තු හරක් රැලක් ආංබාං කොරන්නැහේ බබාලට අකුරු කොරාපිනාපු, රෑ දෙගොඩ හරිය වෙනකම් පන්ති ගානේ බඩගා පිනාලා නිදිවරාගෙන පාඩම් කොරපිනාපු ඒවායෙ වැඩක් නෑ නොවෑ බැලින්නම්.
 දැන් ඔය දොස්තර මහත්තෙයැන්ලා, ඉස්කෝලෙ මහන්තෙයැන්ලා එහෙම ඕනෑම නෑ නෙව බලාගෙන ගියාපුවාම ඈ... ඇයි බාං කොච්චරවාත් හාස්කං තියෙන දෙයියෝ ඉන්නවනෙවෙද මේ සිරි ලංකාවේ හැබැටම

Wednesday, August 3, 2011

11 සතිය

ඔබට අතීතය හෝ අනාගතය වෙනස් කල නොහැක. වෙනස් කල හැකි වර්තමානය වෙනස් කිරිමට උත්සහ කරන්න.

Sunday, July 31, 2011

10 කොටස

ඔවුන් තිදෙන තම  කූලී නිවහනට ආයුබෝවන් කියා තමාගේම නිවසකට පැමිනියෝය. එම නිවස පිහිටා තිබුනේ නන්දාගේ මහ ගෙදර සිට ඇල්පිටිය දෙසට එනවිට හමුවන පනෙල්කන්ද නම් ප්‍රදේශයේය. පනෙල් කන්ද පාර ආරම්භ වන්නේ සුසාන භූමියක් අසලිනි. අනෙක් පස සිල්ලර කඩයකි. එම වැලිපාරේ සැතපුම් කාලක් පමණ එනවිට සොහොන්භුමිය අවසන් වන තැනම පොහොසත් පෙනුමක් ඇති සුදු හුණු පිරියම් කල නිවෙසකි. එය මොවුන් ගත් ඉඩමෙහි අයිතිකරුවන් ජිවත් වන නිවස වන අතර ඊට යාබදව පිහිටා තුබූ පොල්අතු සෙවිලිකල මැටි ගෙය අදාල නිවස විය. පාරට බෑවුම් වන කන්දක පිහිටි එම නිවස නන්දා විසින් එහි පදිංචිකරුවන්ගේ ද අවසරය ඇතිව ගොමමැටි ගා ලස්සනට සකස් කලාය. තම හිතවත්ම ඥාතීන් කිහිප දෙනෙකුට ආරාධනා ඇතිව පොඩි උත්සවයකින් ගෙට ගෙවදීම කලෝය.
 එහි ස්තෝප්ප කොටසක් ද සහිතව විසිත්ත කාමරයක් ද එක් නිදන කාමරයක් ද විය. නිවසට යාබදව පිටු පසින් වෙනමම මඩුවක කුස්සි කාමරයද ඊටත් මදක් එපිටින් පොල්අතු වලින් ආවරණය කල වැසිකිලිය ද විය. නිවසට පිටුපසින් පර්චස් 50ක් පමණ වූ ඉඩමය. එය කොස් ගස්ද යකඩවරම්( ඇලස්ටෝනියා) ගස්ද වෙනත් වටිනා ගස් කීපයක්ද  සහිත වූ කැලෑවක් බදු විය.
 පාරෙන් එපිට මෙම නිවසට මුහුනලා තව එක් නිවසක් පිහිටියේය. එය ද ගඩොලින් බැද සුදු හුණු පිරියම් කල එකකි. එහි "පිස්සු බලු රෝගයට ප්‍රතිකාර කරනු ලැබේ" යැයි සදහන් බෝඩ් ලැල්ලක් සවිකර ඇත. මෙම නිවාස දෙක හැරුණු විට එහි අනෙක් නිවාසයක් දක්නට ලැබුනේ  අඩි දහසක් තරම් දුරිනි.
 මෙසේ අලුත් නිවසක ඔවුන්ගේ ජීවිතයේ අලුත් පියවරක් ඇරඹුණි.

Saturday, July 30, 2011

3 ලිපිය - ආරම්භය

මේ ලිපිය ඇරඹුමට කලින් කාරනා කීපයක් තියෙනවා කියන්න. මේ ලිපි පෙල සදහා ප්‍රධාන වශයෙන් අදහස් දෙකක් තිබෙනවා. සමහර අය මේ ලිපි ගැඹුරු වැඩි බවත් සමහර අය ගැඹුර මදි බවත් පවසා සිටියා. මෙහිදි මා සදහන් කල යුත්තේ මාගේ අරමුණ අභිධර්මය විග්‍රහ කිරීම නොවන බවයි. මා මෙම ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ අප ජීවත් වෙනකොට අපිට එන ගැටළු සහ සිතට එන දුක අවම කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමයි. බොහෝ ගැටළු වලට මා දකින ප්‍රධාන හේතුවක් නම් යතාර්ථවාදීව ගැටළු දිහා නොබැලීමයි. නමුත් ඒ සදහා ගැඹුරු අභිධර්මය ද අවශ්‍ය නොවේ. ඒ නිසා මා උත්සහ කරන්නේ මේ ලෝකයේ සිදුවන සිදුවීම් දෙස යථාර්තවාදීව බැලීමට පුරුදු කිරීමටයි.
  මෙහිදී මා බුන්ජුට කෘතඥ වෙනවා මට "අභිධර්මයේ මූලික කරුණු" යන රේරුකානේ චන්ද්‍රවිමල ස්ථිවරයාණන්ගේ පොත ලබා දීම ගැන. එහි ඇති කරුණුත් මා සදහන් කර ඇති නරුණුත් සලකා බැලීමේදී ලොකු වෙනසක් නැතත් යම් යම් දෝෂ තිබූ බව පැවසිය යුතුයි. මා ඉහත ලිපියේදී සදහන් කලා විඥ්‍යානය වෙනස් කිරිමට අනෙක් ධාතු වලට නොහැකි බව, නමුත් දුර්වල ශක්තියක් ඇති විඥ්‍යාන ඒවායේ බලපෑමෙන් වෙනස් වන බව සදහන් කල යුතුයි. එසේම මහා භුතයන්ගෙන් තේජෝ ධාතුවට වැඩි බලයක් ඇති බවද පැවසිය යුතුයි. එහි සදහන් අනෙක් කාරණා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීම අපහසු බැවින් සදහන් නොකර ඉදිමි. එම පොත අවශ්‍ය කෙනෙකු මාගෙන් ඉල්ලන්න.
තෙවන ලිපි පෙලින් මා හේතුඵල දහම ගැන සොයා බලන අතර එහිදිද අභිධර්මයේ එන පටිච්චසමුප්පාද ධර්මය පිලිබද විග්‍රහයකට නොයන අතර අපට පෙනෙන දැනෙන ලෝකයේ පැවැත්ම පිලිබද සොයා බැලීමක් කිරිමට සුදානම් වෙමි. ඔබට තෙරුවන් සරණයි!. 

Friday, July 29, 2011

පැන්නට පසු සිතා බැලීම

හැබැටම මොකටද බාං කොල්ලො කෙල්ලො පෙම්හබ පටන් ගන්නේ? මං ඉතින් ආලෙන් වෙලිල ඉන්න මගේ සගයො ඒ කියාන්නේ ගෑනු පිරිමි දෙගොල්ලොන්ගෙන්ම ඇහැව්වා මොකටෙයි බොලාලා පෙම් කොරන්නේ කියාලා. ගොඩක් ඈයෝ නම් කියාපිනා අපි දෙන්නාට දෙන්නා ආදරෙයි නොවැ, මගේ ලයිප් පාට්නෝර් තමයි එයා. ඉතින් ඔහොම කියාපිනාපු ඈයොම ටික දවසක් ගොහින් බැලින්නම් මෙන්න වෙන එකියක්, එකෙක් එක්ක යනවා. ඉතින් මං ඇහැව්වා "මොකෑ බං මේ.., කෝ උඹලැ ලයිප් පාට්නොර්ද කවුද?"   එතකොට මුන් කියාපිනා අපි දෙන්නා ගැලපෙන්නෙ නැතිය ඒක නිසා වෙන් වුනාය කියාලා. අලි හුට්ටප්පරයයි, ඉතින් මං ඇහැව්වා බොලාට ඒක තේරුනේ ආලෙ කොරල බයිස්කෝප් බලන්න බොක්ස්ද මොනවයිද ගිහිල්ලා නානාප්‍රකාර තැන්වල ගියාටත් පස්සෙද කියාලා". ඒ පාර මුන් කියාපි එහෙම තමයි බාන් එකපාරොටම ගැලපෙන කෙනා හොයාගන්න බෑ නොවෑ".
  දැන් ඇත්තටම ඔය පෙම් කොරන එවුන් තමන්ගේ හැබෑ සොරුපෙන්මද පෙනී ඉන්නේ. ඒ කාලෙනම් කියන කියන විදියට දෙන්නට දෙන්නා හිටියට දීගතල ගියාට පස්සෙත් එහෙම ඉන්නවද? නෑ නොවෑ. ඉතින් කොහොමෙයි ගැලපෙනවද නැද්ද බලන්නේ. හොදම වැඩේ තමයි යාලුවො වාගේ ඉදල ගැලපෙනවද නැද්ද කියාලා බලන එක.
නැත්නම් හොද ක්‍රොමෙයක් තියෙයි, දැන් විවාහ උනැයින් පස්සෙත් ගැලපෙන්නැතිය කියල හිතුනාම දික් කසාද වෙලා තව එකෙක් විවාහ කොරාගෙන බලනවා, දරුවොත් හැදුවට පස්සේ මූ හරි මේකී හරි මට ගැලපෙන්නැතිය කියාලා තව එකෙක් , එකියක් සහේට ගෙන බලනවා. කොහොමෙයි වැඩේ..

Wednesday, July 27, 2011

10 සතිය

‍ප්‍රේමවන්තයින් ආදරයට වඩා යමක් බලාපොරොත්තු වුවද ආදරවන්තයා කිසිවක් බලාපොරොත්තු නොවේ

Sunday, July 24, 2011

සිත,

උඹ නම් මහ මෝඩ රජෙක්
ආයෙත් උඹ ඉල්ලන්නේ
එපා කියා ඉවත දාපු
ජුගුප්සාවෙන් අහක බලපු
කාල ව‍‍ර්ණ රළු රෙද්දෙන්
පොරවාලා මුවා කරපු
ඒ අසූචි ගොඩම තමයි

ස්වේත ව‍ර්ණ මුදු සේලෙන්
සඟවාලා සුවඳ හලා
තිබුනත් එය අපූරුවට
ආයෙත් උඹ ඉල්ලන්නේ
ඒ අසූචි ගොඩම තමයි

ඇත්ත නැත්ත නොම තේරෙන
රූප මඳින් නෙත් නොපෙනෙන
එක එක දේ ඉල්ලන්නේ
උඹ නම් මහ මෝඩ රජෙක්

9 කොටස

"සුසිලෝ කොහෙයි යන්නේ.." සුසිලා ගමනක් යාමට සැරසෙනු දුටු ශාලික දරුවා ඇසීය. ඒ ඇසුනු නන්දා විත් දරුවා අතට ගෙන " සුසිලා නොවෙයි මයෙ පුතා නැන්දා කියන්න " යැයි ආදරයෙන් තුරුළු කර ගත්තාය. එවිට දරුවා "අම්මා සුසිලා කොහෙයි යන්නේ " නැවතත් ඇසීය.
" නැන්දා යනවනේ කඩේ " ඈ කීවාය.
"සුසිලෝ මට තොපි ගේන්නෝ ".
එවිට නන්දා තරහින් මෙන් "මං කීවනේ නැන්දා නැන්දා ..." යයි කියන විටම කරුණාරත්න නිවසට එනු දැක කීමට ගිය දේ ගිල ගත්තාය.
 " ඉඩම කොහොමෙයි ?" කරුණාරත්න ගෙට ගොඩවීමටත් පෙර නන්දා පිළිවිසියාය.
ඔහු " ඒක නම් ඒ ගානට මසුරන් වටිනවා, සොහොන අද්දර හින්දද  කොහෙද එච්චර අඩු, ඔක්කොම හොදයි ඒත්...." කියමින් ඇද උඩ වාඩිවී සපත්තු ගලවා ඇද යටින්   දැමුවේය.
" ඒ ගෙයි පවුලක් ඉන්නවා උන් තව මාසයක් ඉන්නවාලු".
"දැන් මක්කෙයි කරන්නේ , අපිට තව සති දෙකයි නෙව දීලා තියෙන්නේ."
" මං ඒ මිනිස්සුත් එක්ක කතා කෙරෙව්වා, උන් කියනවා ඒ ගොල්ලො හිටියට කමක් නැතිය සති දෙකයි නෙව කොහොම හරි ඉදිම්මු කියාලා"
" ඉතින්.. "
"ඉතින් මං මක්කරන්නද, ගෙදර ටිකක් මදි උනත් ඒ දෙන්නාත් හොද මිමිනිස්සුනේ..."   

Saturday, July 23, 2011

2 ලිපිය - අවසානය

අප මෙම ලිපියේදී සදහන් කල ආපෝ තේජෝ වායෝ පඨවි යන ශක්තීන් 4 මූලික කරගෙන වෙනත් ගන්ධ, රස, ඕජස ආදී අනුශය ධාතු වලින් මෙම භෞතික ලෝකයද විඥ්‍යාන ධාතුව (චිත්ත ශක්තිය) මගින් ප්‍රාණයද සෑදී ඇති බව සිතිය හැක.
 ඉහත ලිපියෙහි ආපෝ යනු ගලායාම ලෙස සදහන් කර ඇත. යම් ස්ථාන වල එය ආකර්ෂණ ශක්තිය ලෙස දක්වා තිබෙනු මා දැක ඇත.
 කෙසේ වෙතත් මේ සියලු ධාතු වලද පැවැත්මක් නැත. ඒ ඒ මූල ධාතු එකිනෙක අන්තර් ක්‍රියා කරමින් වෙනස්වීම් සිදුවේ. උදාහරණයක් ලෙස පඨවි ධාතුව වැඩි ලෝහවල තේජෝ ධාතුව වැඩි කිරිමෙන් එහි ආපෝ ධාතුව ඩැඩිකල හැක. නමුත් අනෙක් ධාතුවලට වීඥ්‍යාන ධාතුව වෙනස් කල නොහැක. නමුත් විඥ්‍යාන ධාතුවට අනෙක් ධාතු වෙනස් කලහැක. එමනිසා වඩාත් ප්‍රබල ශක්තිය ඇත්තේ විඥ්‍යාන ධාතුවටයි.
 මේ අනුව එක් මූලධාතුවක් වෙනස්විම අනෙකට වෙනස්වීමට හේතුවේ. මෙලෙස ශක්තීන් එකමත එක ක්‍රියා කිරීමෙන් මෙම ලෝකය වෙනස් වෙමින් පවතී. සියල්ල හේතූන් නිසා ඇතිවේ. බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණයක් මෙම හේතුඵල දහමයි. ඒ පිලිබද ඊළග ලිපියෙන් සොයා බලමු.
ඔබේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්නේ නම් මාගේ අවංක ස්තූතිය. මන්ද මා 100% ක් නිවැරදි නොවියහැක. නිවන් සුව ලැබේවා! 

Friday, July 22, 2011

ලස්සන කන්නද?

හැබැටම ලස්සන කන්ටද මං අහන්නේ? මං ඕං ඔය පුරස්නේ ඇහැව්වා කීප දෙනෙක්ගෙන්ම.නානාප්‍රකාර උත්තර අතරේ තිවුණු එකම අදහස තමයි තව කෙනෙකුගේ හිත ගැනීම. අපි බලමු ලස්සනෙන් ඇති ප්‍රයෝජ්ජං ටිකක්.
වැඩපොලක නම් රාත්‍රිසේවය කොලාම ලස්සන උදවියට උසස් තානාන්තර එහෙම හම්බු වෙනවලු.
 තරුණ එවුන්ටනම් කොල්ලෙක් කෙල්ලෙක් දාපිනා ගන්ට පුලුවන්ලු. (ලස්සනට රැවටිලා විනාස වෙන එවුනුත් ඉන්නවනේ හැබැට).
 වෘත්තීමය වසොයෙන් ගත්තාම නගරසෝබනියන්ටයි නිරූපන සිල්පිනියන්ටයි ලස්සන වෙලදාම් කොලහැකිලු.
 හැබැටම මං අහන්නේ ඉගෙනගන්න වයොසෙ එවුන්ටයි වල පයයි ගොඩපයයි ඉන්ට එවුන්ටයි මොටෙයි ලස්සන. උන්ටත් ඉතින් ලස්සන වෙන්ට සෑහෙන වියපැහැදමක් කොරන්නේ ලාභ පරියෝජන ඇති නොවෑ.
 දැන් බලන්න සල්ලාලයො අතින් දූසනය වීම, අතේ තියෙන තුට්ටුවට කෙල වීම, බස් එකේදි අතවරයට පත්වීම වගේ  බොහෝ පරියෝජන තියනවනෙව උන්ට ලස්සන උනාම.
 බොලාට කිව්වම මොකද ඔය පේසොල් කොරාගෙන සුවද ගහගෙන අඩනිරුවතින් යන ගැටිස්සියෝ දැකපිනා වෙලාවට මයෙත් කාම තෘස්නාව වැඩිවෙනව නෙව. මං ඉතින් අනිච්චා වත සංකාරා කියලා හිත හදා ගන්නව.
 මයෙ නම් හිතේ වැදගත් වන්නේ ලස්සන නොවෙයි බොල පිරිසිදු කම. ඔය උඩින් කපරාරු කොරාගෙන ගියාට මොකද ඕකුන්ගේ අහවල්තැන් හොදනවද දන්නෙත් නෑ නෙව. මං අහන්නේ පිරිසිදුවට පිලිවෙලට හිටියනම් අංගපුලාව නැතැත් කාටත් හිතහොදින් කටයුතු කොරානම් අනිත් උන්ගේ හිතගන්න ඔයාකාර වියපැහැදම් කොරාන්ට ඕනැන්නේ නෑනේ.
 මං දැකපිනාලා තියෙනව ඔයි වගේ පිරිසිදුවට පිලිවෙලට හැදපැලදගෙන යන ගැටිස්සියො එහෙම. බොලාට කියන්ට මොකද හරිම පිං පාටයි, කොච්චර බලා හිටියත් එපා වෙන්නෑ නෙව.ඒ විතරක්ද අරවගේ පල්හිතුවිලි එන්නෙත්නෑ නොවෑ..

Thursday, July 21, 2011

9 සතිය

මේ ලොව ඇතිවීම, පැවතීම, නැතිවීම යයි 3ක් නැ. ඇත්තේ ඇතිවීම හෝ නැතිවීම යි. එය අපි වෙනස් වීම යයි කියමු.

Sunday, July 17, 2011

8 කොටස

කාලය කෙමෙන් ගෙවී ගියේය. කරුණාරත්න දිගින් දිගටම රැකියා සදහා ඉල්ලුම් කලේය. නමුත් කිසිවක් සාර්ථක නොවීය. නන්දාටද ලෝන් එකක් ගැනීමට සේවා කාලය ප්‍රමාමටවත් නොවීය. එබැවින් ඈ  තවත් මාස කීපයකින්  දරුවා ලැබිමට ඇති බව පවසා අම්බලන්ගොඩට මාරුවීමක් ඉල්විය.
 ඉඩම ගැනීමට ඔවුන්ට කල හැකි දෙයක් තිබුනේ නැත. විවාහ වි එනවිට ඔවුන් ගෙනවිත් තිබුනේ සූට් කේස් දෙකක බඩු පමණි. උගස් තැබීමට තරම්වත් වත්කමක් නොවීය. සියලුම රත්‍රන් බඩු උගස් තිබූවද ගතහැකි වන්නේ රුපියල් පන්දහසකටත් අඩුවෙනි. මේ වෙලාවේ ඔවුන්ගේ පිහිටට හිටියේ කරුණාරත්නගේ ලොකු මස්සිනාය. ඔහු රටගොස් පැමිණ ලොකු නංගී විවාහ කරගත්තේ කරුණාරත්න විවාහ වීමට දින දෙකකට පෙරය. මස්සිනා වෙනුවෙන් සෑදූ පෝරුවෙහිම ඔවුන් දෙදෙනාගේ මංගල්‍ය සිදු විය. කරුණාරත්න ඔහුට ඇමතුවේ අමරේ යන නාමයෙනි. අමරේ ඔවුන්ට ඉඩම ගැනීමට අවශ්‍ය තිස් දහසක මුදල වෙනුවට හතලිස් දාහක්ම ණයට දුන්නේය. එයින් ඔවුන් ඉඩමට සල්ලී බැන්දාය.
 ඔවුන් තමන්ගේම කියා නිදහස් පවුල් ජිවිතයක් වෙනුවෙන් පළමු පියවර තැබුවෝය. මේ අතර දෙන දෙයියන් දෙනකොට උඩ පැන පැන දෙනවා කියන්නා වාගේ කරුණාරත්නට බෙන්තර සමූපාකාර සමිතියේ‍ සාමාන්‍යාධිකාරී තනතුරට පත්වීමක් ලැබුණාය. නන්දාටද අම්බලන්ගොඩට තාවකාලික පත්වීමක් ලැබුනේ අවුරුදු දෙකකටය.
 මේ අනුව නන්දාට දෙවන දරුවා ලැබීමට මාස තුනක් තිබියදී නැවත ගමට පැමිනීමට අවස්ථාව උදාවිය.

Saturday, July 16, 2011

2 ලිපිය - ලෝකයේ සංයුතිය2

බුන්ජු විසින් කලින් සටහනට අදහසක් ඉදිරිපත් කර තිබුණා. එහි හොද විග්‍රහයක් තිබුනා ලොකයේ සංයුතිය පිලිබද, පරමාර්ථ ධර්ම 82ක්  ඇතිබව පොතක තිබුණු බවද එහි සදහන්. ඒ පොත මා කියවා නැති බැවින් ඒ ගැන යමක් කීමට මට අපහසුයි. නමුත් ඉදිරියේදී ඒ පිලිබද වැඩිදුර සදහනක් කිරිමට ඔහුගෙන් එම පොත ඉල්ලා ගැනීමටද බලා පොරොත්තු වෙමි.

 ඔහු සදහන්කර ඇති අනෙක් කරුණ මාද පිලිගන්නෙමි. ඇත්තටම බුදු දහමෙහි සංකල්ප තිබිය නොහැකි. මට අවශ්‍ය වූවෙද මෙම මූලධාතු ශක්තීන් බව පෙන්වීමටයි. චෛතසික 52 නම් (සසංකාරී/අසංකාරී, සෝමනස්ස සහගත/දෝමනස්ස සහගත ................වශයෙන්) මාද අසා ඇත. රූප 28 ගැනනම් සදහන් කල හැක්කේ මා සදහන් කල 5ට අමතරව වර්‍ණ, ගන්ධ, රස, පොට්ඨබ්බ වහයෙන් අනුශය ධාතු 4ක් අසා ඇති බවයි.

 ආපෝ යනු මා සිතනපරිදි ගලායාමේ ශක්තියයි. තේජෝ යනු තාප ශක්තියයි. වායෝ යනු විසිරිමේ (විකර්ෂණ) ශක්තියයි. පඨවි යනු ස්පර්ශය දැනවිමේ (ආකර්ශණ) ශක්තියයි. ආකාශ යනු අවකාශය නැතිනම් ඉඩකඩයි. මෙම මූලධාතු වෙනවෙනම වෙන්කොට තැබිය නොහැක. උදාහරණයක් ලෙස  යම් වස්තුවක තාප ශක්තිය ශූන්‍යකල නොහැක. එවිට අනෙක් ශක්තීන්ද නැතිවේ.. අප දන්නා කුඩාම ඒකකයක් වන ඉලෙක්ට්‍රෝනයක පවා මෙම සියලු මූලධාතු පවතී. එසේම මෙම මූලධාතු ඇතිවීමට හේතුවද ත්‍රිලක්ෂණයයි. එනම් වෙනස් වීමයි, නැත්නම් චලනයයි.  එම මූලධාතු පවතින ප්‍රමාණය අනුව මේ සංකීර්ණ ලෝකය නිර්මාණය වී ඇත.

Friday, July 15, 2011

යකාගේ තරමට විමානේ පහල වෙලාද?

බොලාට කියන්න මං අපේ අප්පොච්චිලැයිගේ යාලුවෙක්ගේ ගෙදර ගියා නෙව. බොලාට කියන්න ඒක ගෙයක් නොව මාලිගෙයක්. තට්ටු දෙකයි. නිදන කාමර පහයි. ඉස්තෝප්පුවයි සාලයයි අපේ ගෙදර විතර ඇති. සාලේ මැද දියඇල්ලකුත් තිබුනයි කියමුකෝ ඕං. උන් නාන්නේ ඒකෙන් වෙන්ටැති මයෙ හිතේ. කොහොමින් හරි මයෙ හිතේ කෝටියකට එහා යන්නැති ඒ ප්‍රාසාදය තනන්න. බොලාට කියන්න කාමර පහක් තිවුනට මොකෑ මුන්ට ඉන්නෙත් එකාලු නෙව. ඒකාත් දැන් රට ගොහින්ලු.
  ඉතින් ඕං එහේ ගොහින් එන ගමනෙදි අපෙ මව්තුමිය මට කියපි " පේනවනේ උඹත් කවද හරි දවසක ඒ වගේ ගෙයක් හදන්ට ඕනෑ". හත්වලාමයි ඇයි බොලව් මට මොකටෙයි ඔයි තරම් ගෙයක්. ඉතින් මං කියෙව්වා මටනම් ඔයි තරම් පිස්සුවක් නෑ, ඔයිට හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවැයි කියාලා. එතකොට අම්මා කියෙව්වා එහෙම කොහොමෙයි වැදගත් මිනිස්සු ගෙදරට එනකොට ලැජ්ජාවේ බෑ නොවැ. කොහොමෙයි අර ගුබ්බෑයමට  ඒ මිනිස්සු එක්ක එන්නේ උඹට ලැජ්ජා නැද්ද කියාලා. මං කියෙව්වා අනේ උන්ට අපේ ගෙට එන්න ලැජ්ජානම් නාපුවාවේ. මං ගෙවල් හදන්නේ උන්ට පෙනෙන්ට නොවෙයි. අව්වෙන් වැස්සෙන් බේරිලා මැරෙනකන් වැටිල ඉන්නයි කියාලා. 
  හැබෑටම මේ මිනිස්සු කෝටි ගනන් වියපැහැදම් කොරාගෙන මහා දැවැන්ත ප්‍රාසාද තනන්නේ මක්කටෙයි? සමහර විට කියයි ලමයින්ට කියාලා. ඉතින් ළමයි කියලා උනුත් දීග ගොහින් අර මහගෙදර ටෙලිනාටකේ වගේ ඒ ගෙයිම ලගිනවැයි නෑ නෙව. පොඩි හුරුබුහුටි ගේ පොඩ්ඩක් හදාගෙන ඉතිරි සල්ලි ජීවත් වෙන්න තියා ගත්තනම්, නැතිනම් දනට පිනට දුන්නනම් කොච්චර අගේද මං අහන්නේ

Wednesday, July 13, 2011

8 සතිය

ඔබට තරහ ගිය විට හරි දුක හිතුන විට හරි වෙන ඔනෑම වෙලාවකදි හරි අන් අයට දොස් කියන්න ඒපා. ඔබට ඒන සෑම සිතුවිල්ලකටම වග කිවියයුතු ඔබයි.

Sunday, July 10, 2011

7 කොටස

ඈ චූටිපුතා තුරුලට ගෙන ඔබ මොබ ඇවිදිමින් නැලිවිලි ගීයක් මුමුණන්නට විය.
 "නන්දෝ මොකද ඔයා කියන්නේ".
"මොකක්ද?".
 "මං හිතා ඉන්නේ ගමෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න, හැමදාම කුලී ගෙවල්වලම ඉන්නද ඔයාගෙ කල්පනාව".
 "ඔව් ඒ අදහස නම් හොදයි, කොහොමත් මං හිතන් හිටියේ ලමයා හම්බවෙන්න කලියෙන් අම්මලෑ ගෙදර නවතින්නයි. ඒත් කොහෙන්ද ඔව්වට සල්ලී, ඉඩමක් ගන්න සෑහෙන මුදලක් යාවී."
 "මං අපේ හිච්චට කිව්වා ඉඩමක් බලන්න කියාලා. ඌ පනෙල්කන්දෙන් ඉඩමක් බලලා අක්කර භාගයක්,  30ක් කියෙව්වලු, ඔයාට බැරිද ලෝන් එකක් ගන්න. කොහොමත් මට ණයක් ගන්න හැටියක් නෑ. මං හිතාන ඉන්නේ මේ රස්සාවෙන් අස්වෙන්නයි. "
 "මොකක්! අස්වෙන්න ඒ මක්කද?, අස් වෙලා මොකක් කරන්නද හිතන් ඉන්නේ "
 "මේ දවස්වල වැඩපලේ හරි කචල්, සේවකයො ඇමතිට ඕන හැටියට දාගෙන දැන් පඩි ගෙවාගන්න හැටියක් නැතිව. මං හිතන්නේ ලගදිම වහන්න වෙයි. ඇරත් ගමට ගියාම එහේ ඉදන් එන්න හැකිදෑ"
 "කෝකටත් ඔයා පරිස්සම් වෙන එක හොදයි, මේ දවස්වල ඔයාට අපල"

Saturday, July 9, 2011

2 ලිපිය - ලෝකයේ සංයුතිය

ඔබට මතක ඇති අපි අනිත්‍ය ගැන සොයා බලන විට මිනිසා කොටස් වලට බෙදාගෙන ගිය හැටි. එහිදි අපි ඉලෙක්ට්‍රෝන දක්වාම බෙදාගෙන ආවානේ. ඉතින් ඔබ හිතන්නේ ඉලෙක්ට්‍රෝන නියුක්ලියෝන තව දුරටත් බෙදන්න බෑ කියලද? නෑ මං එහෙම හිතන්නෙ නෑ. මට හිතෙන්නේ ඒවා තවදුරටත් බෙදන්න පුලුවන් කියලා. හරි විද්‍යාඥයෝ ඒවා බෙදනකන් අපිට ඉන්න බෑ නේ. අපි බලමු බුදුරජාණන්වහන්සේ කිව්වායැයි කියන්නේ මොනවද කියලා.(අපි කොහොමද දන්නේ ඇත්තටම කිව්වද කියලා)
 මං අහල තියෙන විදියට මේ ලෝකේ හැදිල තියෙන්නේ මූල ධාතු 6කින්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඥ්‍යාන යනු එම 6යි. සමහරු විස්තර කරන අන්දමට (සමහර විට තේරුම් ගන්න පහසු නිසා වෙන්න ඇති) ජලය, ගින්දර, වාතය, පස, අවකාශය හා සිතයි. හැබැයි බැලූ බැල්මටම පේනවා ඒක නිවැරදි නොවන බව. කොහොමත් අනිත්‍ය යනු පවතින කිසිවක් නැත යන්නනම් මේ මූලධාතු යනු භෞතික දෙයක් වෙන්න බෑ. මට හිතෙන හැටියට මේ ශක්තීන් 6ක් හෝ සංකල්ප 6ක් විය යුතුයි. අපේ පන්චේන්ද්‍රියන්ට හසුවන දේ නිර්මාණය වී ඇත්තේ පලමු මූලධාතු 4න්. අනිත් දෙක පන්චේන්ද්‍රියට දැනෙන්නේ නෑ.
 මෙම මූලධාතු 6ගැන ඔබට හිතෙන දේ කියන්න. එතෙක් මගේ පැහැදිලි කිරීම සතියකට කල් තබමී.

Friday, July 8, 2011

අරටුව දරට ගෙන පොත්තට ආ වැඩීම

බොලාලා දන්නවනේ අපේ ඇයින්ට වැදගත් දෙයක් දෙන්ට බොහොමැ අමාරුයි නොවැ. ඇහැ කන පිනවන දෙයක්නම් මුන්දැලා දෝතින්ම පිලිගනී. ඒක නෙව ඔය උගන්නන ගුරුවරු විහිලු කතා එහෙම කීන්නේ. ඒත් බාං සමහර එවුන් විහිලු කතාවනම් හොදට ඔලු ගෙඩියට දාගනිපිනා පාඩම මතක නෑ නොවැ.
 ඔය වෙසක් පොසොන් දවස්වල හේම අපිත් වෙසක් පොසොන් බලන්න ගොහින් දන්සැල් සේරොමත් වැදගතිපිනාමනේ. හැබැයි ඔං මතන ඇති කාලෙකනම් මං දන්සැල් ගොහින් වැදලනම් නෑ ඕං හොදට කාලබීල එනවා මිසක්කා. ඉතින් මං මේ කියන්ටේ අපි හුග දෙනා තොරණ පහන් කූඩු එහෙම බලාපිනා එන ගමං කියන්නේ මක්කද? " අනේ සෝක් කූඩුව හරිම නිර්මාණාත්මකයි හතර දිහාටම කැරකෙනවනෙව...." " ලස්සන තොරණ අඩි 60 ක් උසයිනෙව බලුප් මාරම ගති......" වගේ එව්වනේ. කියෙන් කීයද කියන්නේ "එකේ තියෙන්නේ උම්මංග ජාතොකේ බලන්න එපෑයැ මහෝෂධ කුමාරගේ ණුවනැති කම අපිත් ඒ වගේ හිස් ගෙඩිය පාවිච්චි කොරන්ට ඔනැන්නෙ" කියාලා එහෙනං. අනේ මං දන්නේ නෑ බාං මුං එදාටත් ගොහින් කොරන්නේ එපාය කියා වදාළපිනාපු පන්චේන්දිරිය පිනවන එකමනේ.
 දැන් බලන්ට මගේ මේ බුලැගිය උනත් ලියන්නේ ඇත්ත නැත්ත මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න නෙව. කෝ ඉතින් ඒකට බොලාගෙන් කිසි බකප් එකක් නෑ නොවෑ. ඔය කටකහනවට කියන කතාවක් බලලා ( එකෙනුත් ගන්න ඕන දේ ගන්නවද මං දන්නේ නෑ) කොමෙන්ට් එකක් දාපිනාලා යනව මිසක්කා. මට ඉතින් මං කියන, හිතාන ඉන්න එව්වා හරිද වැරදිද කියාලවත් බලාගන්න හැටියක් නෑ නොවෑ අම්මපා.    

Thursday, July 7, 2011

7 සතිය

විවාහය සහ අදරය කෙක් සහ අයිසිං වැනිය. අයිසිං නැති වුවද සාර්ථක කෙක් ඒකක් සෑදිය හැක.

Sunday, July 3, 2011

6 කොටස

ඔවුන් දෙදෙනාට අනුවනම් ඔහු රත්තරන් කොලු පැටියෙකි. නමුත් දැලි අගුරු කැබැල්ලක් මෙන් කළුය. දරුවා බලා ගැනීමට කාන්තාවක් වැඩට ගත්තද ඈ දවස් දෙක තුනකට පසු ආ ගිය අතක් නැති විය. පසුව කරුණාරත්න ද මාරුවීමක් සාදාගෙන අම්පාරට පැමිණියේය.
 මේ දරුවා අවුරුද්දක් යන විට කා සමගත්  හොදින් කතාබහ කිරීමට පටන් ගත්තේය. හුගක් දිනවල මව්පියන් වැඩට යන විට දරුවා බලා ගත්තේ සුසිලා විසිනි. එම නිසා දරුවා සුසිලාට හුගක් කුලුපග විය. වෙන දරුවන් මෙන් සෑම දේකටම ඇඩීමේ පුරුද්දක් ඔහුට නොවීය. සමහර දිනවල නින්දෙන් ඇහැරී සුසිලා සිටි කාමරයේ දොරට ගසමින් සුසිලෝ කියා කෑ ගාමින්න් සිටිනු දැකගත හැකිවිය. ඔහු හඩනු ඇසීම ඉතා දුර්ලභ දෙයකි. දිනක් අසල්වැසියෙක් ඔගොල්ලැයි ගෙදර ලමයෙක් ඉන්නවද කියල නෑ අනේ යැයි නන්දාට පවසා තිබිණ.
 එබැවින් දරුවා අඩනු ඇසීම විශේෂ දෙයකි. තොටිල්ලේ උන් දරුවා අඩන්නේ මොකදැයි කරුණාරත්න ඇසුවේ එබැවිනි. නන්දා ගොස් බැලූ කල පරාලයේ උන් කුහුඹුවන් කීප දෙනෙකු දරුවාගේ ඇගේ වැටි සිටිනු ඕ දුටුවාය.ඈ වහා චුටි පුතා තුරුලට ගෙන නලවන්නට විය.
 ආදරේට චුටී පුතා වුවද ඔහුගේ උප්පැන්නයේ සම්පූර්ණ නම ඉදිරියෙන් තියෙන්නේ ශාලික අසංක කියාය. නමුත් අපි තව දුරටත් ඔහුට චූටි පුතා  ලෙසම අමතමු.

Saturday, July 2, 2011

1 ලිපිය - අවසානය

අපි 1 ලිපියෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ගැන සාකච්ඡා කලානේ. ඒත් ඒවයි නොතේරුන හා ගැටලු සහගත තැන් කීපයක් විමසා සිටියා කීප දෙනෙක්.
 1. මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් වෙනස් වෙන්නේ මොනවාද?
 2.දැන් කෙනෙක්ට තරහ සිතිවිල්ලක් ආවම ඒක දිගටම පවතිනවනේ?
 3.මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් මේ පංචෙන්ද්‍රියන්ට දැනෙන්නේ මොනවාද?
  හොදයි පලමු ප්‍රශ්ණට හා තෙවැනි ප්‍රශ්නයට පිලිතුරු ලෝකයේ සංයුතිය ගැන කතා කරන ඊළග ලිපියෙන් සාකච්ඡා කරමු.
 දැන් අපි බලමු එකම සිතුවිල්ල දිගටම පවතිනවද කියලා. ඔබ මලක් දිහා බලලා මේ මලක් කියලා හිතන්න. දැන් දිගටම මේ මලක් කියන සිතුවිල්ලෙම ඉන්න. ඔබ ධ්‍යාන ලබලා නැත්නම් ඔබට එය කල නොහැකි. නමුත් ඔබ උත්සහ කලොත් ඔබට හිතේවී හැම තිස්සෙම මගේ හිතේ තියෙන්නේ මේ මලක් කියන එකම සිතුවිල්ල කියලා. ඇත්තටම එතනදි වෙන්නේ ඔබට වෙන්කොට හදුනාගත නොහැකි වේගයෙන් එකම සිතුවිල්ලක් නැවත නැවත ඇති වීමයි. ඒකට හේතුව ඒ සිතුවිල්ලට හේතුව වෙනස් නොවිමයි. හරියට කියනවනම් එකම අච්චුවෙන් ගහන භාණ්ඩ දෙකක් වගේ. ඒවා සෑම අතින්ම සමාන වුනත් ඒ එකක් නොව දෙකක්මයි. අධි වෙගයෙන් කැරකෙන රෝදයක් කරකැවෙන බව නොපෙනෙන්නා සේ අපිට එකම සිතිවිල්ල බිදි බිදි නැවත නැවත ඇතිවන බව නොපෙනේ. මා සිතනවා දැන් ඒ ගැටලුවට විසදුමක් ලැබුණා කියලා.
 එහෙනම් අපි ඊළග ලිපියෙන් ලෝකයේ සංයුතිය ගැන සාකච්ඡා කරමු. පලමු ලිපි පෙල පිලිබද ඔබේ අදහස් යෝජනා චෝදනා ලියන මෙන් කරුණාවෙන් ඉල්ලන අතර මෙහි යම් දෝෂයක් ඇත්නම් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිමි.

Friday, July 1, 2011

මස් ගොබංචා පරමා ලාභා

නීරෝගී කම පරම ලාභය කියලා අප මහා බෝසතානන් වහන්සේ වදාළපිනා සේක නෙව. බොලාට කියන්න මොකද ඉතින් මගේ යාලු බුවෙක් ඉන්නවා ඇග නිකන් හේඩාරයක් වගේ. නිකං ඉදපිනා විටත් මස්ගොබ නෙරාපිනාලා ඇග නිකං කෑලි වලට බෙදලා වාගෙයි. අපේ නැගිණි නම් කියෙව්වේ "අර ඔයේගේ පිඹුරු යාලුවා" කියාලයි.
 දවසක් ඕං ලොකු බෑග් එයෙකුත් අරගෙන මූ කොයෙද යනවා. මං අහපිනා තෝ ගමේ යනවැයි ඇදුම් බෑගයකුත් අරගෙන. මූ කියපිනා නෑ බාං මං මේ ජිං යනවා. "මොකේ යනවා ජිං කිව්වා ආ හරි හරි අර ඇග හදාගන්න යන තැන. අප්පටසිරි බොල දැන් ගල් කඩන රස්සාවකට යන්නවත්ද ඇග පුම්බාගන්න යන්නේ " මාත් ඕං කටකහනවට වගේ ඇහැව්වා. ඒ පාර මූ කියපිනා නෑ යකෝ කොල්ලෙක් උනාම ඇග තියෙන්ඩ ඕනෑ, බලපං උඹේ හැටි උඹ දිහෑ කෙල්ලෙක්වත් බලයියෑ, උඹත් වරෙන් යන්න කියාලා. ඒ පාර මං කියාපිනා ඇග පෙන්නලා ගෑනූ ගන්න ඕනැන්නේ නැතෙයි ඔය වැඩේට නම් ඔයාකාර වියදම් දරාගෙන ඕක නඩත්තු කරන්නේ මොටෙයි කියාලා. එතකොට මූ කියාපිනා එහෙම නොවෙයි බාං කොල්ලෙක් උනාම ෆිට් බොඩියක් තියෙන්න ඕනෑ ඒක තමයි නීරෝගිකමේ සංකේතය.
 ඇන්නැවයි ඒ කයියට මට දෙකොනින් සිනා යන්ඩ ආවා. අනේ උගේ පිට් එක. විසාල සරීරයක් තිබ්බට ඕකා උදැල්ලක් ඇල්ලුවත් අතේ කරගැට දාපිනා. ඕකා දවසක් පින්නකට අහුවෙච්චි සතියක් උණ ගැනිලා හිටිය නෙව. මං ඉතින් මොනාත් කියන්ඩ ගියේ නෑ. එහෙනං ආරෝග්‍යා පරමා ලාභා නොවෙයි මස් ගොබංචා පරමා ලාභා කියලා හදාගනින් කියාලා මං එන්න ආපිනා.

Thursday, June 30, 2011

6 සතිය

නියම ආත්මාර්ථකාමියාද  ඉතා යහපත් පුද්ගලයෙකි.

Sunday, June 26, 2011

5 කොටස

රැකියා ලැබී යම් තත්වයකට පැමිණි වහාම දෙදෙනා විවාහ විය.  නමුත් විවාහ වී වැඩි කලක් යන්නට මත්තෙන් දෙදෙනාටම නැවතත් කරදර පැමිණෙන්නට විය. කරුණාරත්නට පොළොන්නරුවටත් නන්දාට මඩකලපුවටත් මාරුවීම් ලැබිණ. එබැවින් දෙදෙනා අම්පාරෙන් ඇනෙක්සියක් කුලියට ගෙන එහි පදිංචියට ගියෝය. නමුත් දෙදෙනාට එකට සිටීමට හැකි වූයේ සති අන්තයේදී පමණි. කරුණාරත්න පොළොන්නරුවේ රැකියාවට ගිය බැවින් නන්දාට තනිවම කල් ගෙවීමට සිදු විය. ඇයගේ අස්වැසිල්ලට සිටි එකම සරණ වූයේ අල්ලපු කාමරයේ නැවතී සිටි සුසිලා පමණි.
 නන්දාට වැඩිකල් මඩකලපු යාමට සිදු නොවීය. මන්ද කොටි ත්‍රස්තවාදීන් විසින් මඩකලපුවට පහර දෙන්නට පටන්ගත් බැවින් මඩකලපු ශාඛාව අම්පාරට ගෙන ඒමට සිදු වූවාය.වරක් ඇය එමින් සිටී බසයට කොටි ප්‍රහාරයක් එල්ල වී ඈ බේරුණේ අනූ නවයෙනි.
 දෙදෙනා විවාහ වී අවුරුදු හතරක් ගතවුවද  දරු සුරතල් බැලීමේ වාසනාවක් ඔවුන්ට නොලැබිණි. ඒ වෙනුවෙන් ඔවුන් නොකල දෙයක් නැත. ඇති පදම් වෛද්‍යවරු ද, දේවාල ද, කරා ඔවුන් ගියෝය. බෝධිපූජා කලෝය. නමුත් දෙවියන්ට ඔවුන්ගේ මූණ බැලීමට අවුරුදු පහක් පමණ ගතවිය. ඔවුන් විවාහ වී අවුදු හතරක් පසුවී ලැබූ අවුරුද්දේ පොසොන් මස ලස්සන දවසක ඈ දගකාර නීරෝගී පුත් රුවනක් ලැබුවාය. එය ඔවුන්ගේ එතෙක් ගෙවූ ජීවිතයේ ලස්සනම දවස් වලින් එකක් විය.

Saturday, June 25, 2011

1 ලිපිය - අනාත්ම

අනිත්‍ය දුඛ්‍ය ගැන අපි සොයා බැලුවෙමු. නමුත් එවායේ තේරුම් ගැනීමට නොහැකි වූ යම් යම් ගැටලු අසන්නට ලැබිණ. එම ගැටලු වලට පිලිතුරු ලබන ලිපියට කල් තබා මෙහි අවසාන කොටසත් අවසන් කිරීම හොද යැයි මට සිතේ.
 හොදයි මේ අනාත්ම යන්නෙහි අදහස කුමක්ද? බොහෝහෝ දෙනා විග්‍රහ කරන පරිදි මමය මාගේය කියන්න නොහැකිවීම අනාත්ම වේ දැයි සොයා බලමු. කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුලුවන් මේ ඇස කන නාසය දිව ශරීරය මාගේ මිස වෙන කාගෙද යනුවෙන්. ඇත්තටම මේ උපතින් හෝ මුදලට හෝ වෙනයම් ආකාරයකට හෝ මට ලැබී ඇති දේවල් මගේද? ඔව් ඒවා ඔබේ අභිමතය පරිදි භාවිතා කල හැකි බැවින් ඒවා මගේයැයි පැවිසීමේ වරදක් නැත. නමුත් මා සිතන පරිදි මෙහි මමය මාගේය යන්නෙහි අදහස  ඒවා ඔබේ අභිමතය පරිදි භාවිතා කල හැකි නමුත් ඔබට නිශ්චිතව ඒවායේ පැවැත්ම තීරණය කල නොහැකි වීමයි. ඉහත අපි ලෝකය ගැන සොයාගත් කරුණු දෙක මගින්ද මෙය පැහැදිලි කල හැක.
 අනිත්‍ය යනු පවතින කිසිවක් නොමැත යන්න නම් අපිට මාගේ යැයි කීමට හැකි දෙයක්ද නැත. එසේම මාගේ මාගේ යැයි කියන කෙනෙක් ද නැත. එනම් මමද නැත. එසේනම් අනිත්‍ය සංකල්පයට අනුව මමය මාගේය කියා දෙයක් නැත. දුඛ්‍ය සංකල්පයට අනුව මේ ලොව සියල්ල වෙනස් වේ. එම වෙනස් වීම යමෙක් කරන දෙයක් විය හැක. නමුත් එය ස්භාවිකව වෙනස් වීම නතර කල නොහැක. එනම් යමෙක් වෙනස් නොකලත් එය ස්භාවිකව වෙනස් වේ. එමනිසා යමක ඊලග මොහොතේ පැවැත්ම නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. එනිසා දුඛ්‍ය ස්භාවය නිසාද මමය මාගේය කිවහැකි යමක් නොමැති බව පැහැදිලි වේ. එසේනම් "යමක පැවැත්ම පිලිබදව නිශ්චිතව පැවසීමට නොහැක" යන්න  අනාත්ම ලෙස හදුන්වමු.

හිර ගෙට යාමේ උත්සවය

ඔය කොමෙන්ට්ස් අඩු වුනාට මොකද මට පුද්ගලිකව සුබ පතන අය නම් ගොඩායි. මං නම් ඕං පොදුවේ කොමෙන්ට්ස් කොරනවනම් වැඩිය මනාපයි. කමක් නෑ ඉතින් බොලාලා නෙව මගේ ගඩ්ස් නංවන්නේ. ඒ හැමොටම මගේ ප්‍රණාමමය ඕං.
 අද මං කියවන්න යන්නේ මගුල ගැන. මේකට ඔය ගැටිස්සියෝ එහෙම මනාප නොවෙන්නත් පුලුවන්. මොකද මං ලියාපිනාපු "දන්න උන්ට කොළ කඩා දමා ගැසීම.. " ලිපිය බලපිනාපු ඇත්තියෝ "අපි කොහොම ඇන්දාම බොට මොටද අකමැකිනම් නොබල හිටපිය" කියල කියාපිනා කියමුකෝ.
 දැන් ඔය බදින එක,  මං කියෙව්වේ ඔය  විවාහ වෙන එක ලක්සො ගණන් වියදං කොරල උජාරුවට කලාට මොකද ඊට පස්සෙන් පහු වෙනිද ඉදන් හිරේ ගියා වෙන්නැහේනේ. තනියම හම්බු කොරගෙන මං කියන්නේ දෙන්නා එක්ක හම්බු කොලත් පලමු අවුරුද්ද ගෑනිට සෑහෙන්නෙම නෑ නෙව. තනිකඩය කාලෙනං ඕං ආප්පයක් දෙකක් කාල හරි ඉන්න ඇහැක්කි. ඒ මදිවට පොඩියෙවුනුත් හමුබු උනාම කාල වරෙන්කෝ. උන්ගේ ඩැඩ කොරන්න කිරි අම්මලා දෙන්නෙක්වත් එපැයැ. උන් ලොකු උනාම උන්ට වියදං කොරන්න ලක්සයක් හම්බු කොරත් මදී නෙව. අම්මාපල්ල බරපතල වැඩ ඇතිව හිරේ ගියා හොදයි ඔයිට වැඩිය.
 ඉතිං මං අහන්නේ ජීවිතේටම එක පාර නෙව කියලා ලක්සො ගණන් වියදම් කොරල මගුල් කන්නේ ඔය හිරේට යන්න නෙව. ඔයිට හොද නැද්ද චාමෙට අත්තියවස්ස වැඩ වලට විතරක් වියපැයැදම් කොරල මගුල අරගෙන ඉතුරු මුදල් ජිවත් වෙන්න තියා ගත්තනම්. නැත්නම් ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමා. ඔය මගුලට හිරයක් ගන්නවායැයි කියන්නේ කට කහනවටද ආයුබොවන්.

Friday, June 24, 2011

5 සතිය

ඔබ කැමති දේත් අකමැති දේත් වෙන්කරන සීමාව අකමැති දේ පැත්තට බරවන විට කැමති දේ ලැබීමේ සම්භාවිතාව වැඩිවේ.

මගුල

උජාරුවට ගත්ත      මඟුල                     ණය කාරයො      පන්නන්නේ
ලක්‍ෂ ගණන් ගියපු   මඟුල                    කොහොමද ඉන්   බේරෙන්නේ
ලෝන් ගහල ගත්තු  මඟුල                    ගේ ඉඩමයි        නැතිවෙන්නේ
දවස් දෙකයි කෑවෙ  මඟුල                     කුලී ගෙදරකට           යන්නේ

පවුලේ බර වැඩි      වෙන්නේ                   උඹටත් හරි ගියා        මඟුල
over time    කර     පන්නේ                   නෑ මිතුරන් කියපු       මඟුල
කුස ගින්දර   වැඩි   වෙන්නේ                   උන් කවුරුත් නැතිව    මඟුල
ඇල්බම් එකවත්       කන්නේ                   අද ලතවෙයි අපේ       පවුල


මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!!

Sunday, June 19, 2011

4 කොටස

කරුණාරත්න සරසවියේත්, නන්දාවතී තාක්ෂණික විද්‍යාලයෙත් ගෙවූ සිව් වසර විටෙක ඉතා වේගයෙන්ද වරෙක ගොලුබෙලි ගමනින්ද ගෙවී ගියේය. ඔහු උපාධිය ලබා ගෙන ගෙදර ආවත් පවුලේ ආර්ථිකය නංවාලීමට ඔහුගේ සහෝදරයින්ට හැකිවී නොතිබිනි. එබැවින් රජයෙන් උපාධිධරයනට දෙන ගුරු පත්වීම ලැබෙන තෙක් ඔහු බයිසිකලයෙන් ඇල්පිටි ගොස් හකුරු ගෙනවිත් ටවුමේ විකිණුවේය. ඒ සමග පමුණුවෙන් ඇදුම් මිලයට ගෙන විකිණුවේය.
 කාලය ගත වූ නමුත් ගුරු පත්වීම නොපැමිණියේය. ඇත්තටම ඔහු නැවතත් දෛවයේ සරදමට ලක් වී තිබුණි. ඔහුගේ ගෙදරට හරි හමන් පාරක්වත් නොතිබූ බැවින් ලියුම් ආවේ ඥාතී නිවසකටය. නිවසට පැමිණි පත්වීම් ලියමන ඔහුට දීමට ඔවුන්ට අමතක වී හෝ අමතක කර තිබී පසුව හමු විය. ඔහු පසුව රැකියාවල් සදහා පත්තර පීරමින් අයදුම් කලත් දේශපාලන හේතූන් මත සෑම සම්මුඛ පරීක්ෂණයකින්ම අසමත් විය. අවසානයේ ඔහු තවත් එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් සදහා පොල්ගොල්ලේ සමූපකාර සේවක පුහුණු ආයතනයකට බැදී අවසානයේ ජාතික සමූපාකාර මණ්ඩලයට පළමු පත් වීම ලබා ගත්තේය.
සෑම විටම අවාසනාව ලුහු බැද ආවද සමහර වේලාවට වාසනාවද අත වනා යාමට අමතක නොකලාය. ඇත්තටම එය ඔහුට පමනක් නොව නන්දාවතීටද වාසනාවන්ත කාලයක් වූයේ ඔවුන්ගේ සංසාර බැදීම සපථ කරන්නාක් මෙනි. ඇයටද ඇගේ පියා දේශපාලනය මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මාතර ජලසම්පාදන මණ්ඩලයේ ලිපිකාරනියක් ලෙස සේවය කිරීමටය. ඇගේ සාරියක් අදින රස්සාවකට යාමේ මහත් වූ ආශාව ද ඉන් සඵල විය..

Saturday, June 18, 2011

1 ලිපිය - දුඛ්‍ය

හොදයි අපි සොයා ගත්තා අනිත්‍ය යනු කිසිවක් නොමැත යන්න බව. එනම් ද්‍රව්‍යමය වශයෙන් පෙන්විය හැකි කිසිවක් නොමැත, නැතිනම් ශුන්‍යතාව අප වටහාගතිමු. හොදයි දැන් අපි බලමු මොකක්ද මේ දුක නැත්නම් දුඛ්‍ය සත්‍ය ලෙස හදුන්වන්නේ මොකක්ද කියලා.
බොහෝ අය දුක ලෙස හදුන්වන්නේ කනගාටුව යන්නයි. එබැවින් මේ ලෝකේ සියල්ල දුකයි, කණගාටුදායකයි සියලු දේ නිශ්ඵලයි වශයෙන් සෘණාත්මක ආකල්පයක් දරයි. මේ නිසා බොහෝදෙනා බුදුදහම ගැන කලකිරිමෙන්ද කතාකරනු මටද ඇසී ඇත. ඇත්තටම මේ ලෝකේ සියලු දේ කණගාටු දායකද? සතුටක් ඇත්තෙම නැද්ද? සතුටු වෙන්න නිවන් දකින්නම ඕනෑද?. හොදයි අපි බලමු අපි ජීවිතේ කවදාවත් සතුටුවෙලා නැද්ද කියලා. නෑ ඇත්තටම අපි කොච්චර සතුටු වෙලා තියෙනවද? කාටහරි උදව්වක් කරලා එයාගේ සතුට බලලා අපි සතුටු වෙනවා, අපි සාර්ථකව යමක් කරලා සතුටු වෙනවා, ඒ වගේ ගොඩක් විදිවලින් අපි සතුටු වෙනවා. එහෙනම්  මේ ලෝකේ හැමදාම කණගාටුව පමනක් ඇත යන්න නිවැරදි නොවේ.
 මට හිතෙන හැටියට දූක්ෂ යන්න දුක්ඛ යන්නෙන් බිදී ආ වචනයක් විය යුතුයි. දූක්ෂ යන්නෙහි අදහස විනාසය නැතිනම් වෙනස් වීම යන්නයි. හොදයි අපි බලමු 'දුක' වෙනුවට 'වෙනස් වීම' යන්න ආදේශ කොට. මේ ලොව සියල්ල වෙනස්වේ එනම් දුක වේ නැතිනම් නැසෙන සුලුයි ලෙස එය අර්ථ දැක්විය හැකි. මෙම වෙනස් වීම පිලිබද අපි ඉහත ලිපියේද අධ්‍යයනය කල බැවින් අපට වැටහෙනවා මේ කතාකරන මමද ඔබද භෞතික අභෞතික සියලුම දේ (ඇත්තටම හේතුවකින් හටගත් සියලුම දේ) වෙනස් වන බව. නමුත් මේ වෙනස් වීම් වලින් බොහෝ වෙනස්වීම් සිදුවන්නේ අප අකමැති දිශාවටයි. එසේම අප කැමති ආකාරයේ වෙනස් වීමක් වුවද එහි නොපවතින( අනිත්‍ය) බව නිසා ක්ෂණයෙන් එය නැවත වෙනස් වේ. මේ නිසා බොහෝ දේ කණගාටුදායක ස්භාවයක් ගනී. නමුත් අපිට පුලුවන්නම් මේ හැමදේම හේතුවකින් (ඇත්තටම හේතු ගණනාවකින්) හටගත් වෙනස්වන දෙයක් ලෙස දකින්න අපිට කිසිම වෙනස් වීමකදී දුක් නොවී සිටිය හැකී.
 එසේනම් අපි දැන් ලෝකයේ ස්භාව 2ක් දැනගතිමු. එනම් පවතින යමක් නොමැතිබව හා සියල්ල වෙනස් වන බවයි.

Friday, June 17, 2011

නිදන කාමරය හා බස් රථය

ඉතිං ඕං මේක මගේ නැන්දගෙන්.... අපේ නැන්දට මේ ලගදි හරි වැඩක් වෙලානේ! බොලාට කියන්න ඕං නැන්දට පොඩි එකාගේ ඉස්කෝලේ ටීචොර් එන්න කියාපිනාලා ළමයගේ හපන්කමක් කියාන්ඩ තියේ කියල. බැලින්නම් මේකා පන්තියේ ගෑනු ළමයෙක්ට රු 5 ක් දීලා පෙම්වතී වෙන්න කියාපිනාලලූ. මූ තාම 3 වසරේ හිච්චි එකා වෙච්චි බලාපල්ලකෝ පොඩි කමට නේ! මේකාගෙන් ඇහැව්වම කියෙව්වාලු "අපේ ස්කෝලේ බස් එකේ අයියණ්ඩිලා හැමෝටම ඉන්නවා ඉතින් මටත් ඕනේ හින්දා මං ඇහැව්වා එයා බෑ කිව්වා හින්දා මං රු 5ක් දීලා කොහොමෙන් හරි යාලු කොරගත්තා" කියලා.
අම්මාපා ඇත්තමයි කොල්ලගේ කටේ මසුරන් දාන්න වටින කතාව, බොලාට කියන්න ඕං දවසක් මාත් ඉතින් සූ ගාලා සෙනග ඉන්න බස් එහෙකට නැගපිනා. පසුපස ආසොනේ ගාවම යන්තං හිටගතිපිනා කියමුකෝ ඕං. ඒ වෙලාවත් අහසේ තරු පේන වෙලාව. මං බලන බලන ආසොනේ ගැටවරයොයි ගැටිස්සියොයි ජෝඩූ දාගෙන දෙන්නා වාඩිගන්න ආසොනේ තුන් දෙනෙකුට ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ මදිවට මං බලනකොට මුං මං දිහා බලන්නේ හරියට මං උන්ගේ නිදන කාමරයට එබිලා බලපිනා ගානට. අනේ ඉතින් අසරණ මං මක් කොරන්ඩද, බලන්න වෙන දිහාකුත් නැතිකොට උඩබලාගෙන බිම බලාගෙන ආපිනා. 
 ඉතිං මං අහන්නේ මේ අත දරුවගේ හිට 90ක් වෙන නාකියා දක්වා ගමන් කොරන පොදු ස්ථානයක හැසිරෙන්න ඕන විදියක්ද ඔය  හැබෑට. හිච්චි කොල්ලෝ කෙල්ලෝ ඕවා ආදොර්සෙට ගන්නව නේන්නම්. පේන්නැද්ද ඔය 6 4ක් නොතේරෙන එවුන් පවා ජෝඩු දාගෙන යන හැටි.  අනේ කාලේ වනේ වාසේ කියන්නැහේ මෙව්වා කාට කියන්නද ?

Thursday, June 16, 2011

4 සතිය

ඔබට මේ මොහොත සතුටින් සිටිය හැකි නම් කවදාවත් දුකට පත් නොවේ. එම නිසා මේ මොහොත පමනක් වත් සතුටින් සිටින්න. 

Sunday, June 12, 2011

3 කොටස

නන්දාවතීත් කරුණාරත්නත් උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ එක පන්තියේය. නමුත් උසස් පෙළින් පසු කරුණාරත්න රස්සාවක් හොයාගෙන දුම්රියෙන් කොළඹටත් එතැනින් අනුරාධපුරයටත් ගියේ පාරවල් නොදැනය. එහිදි ඔහුට බොහෝ කරදර වලට මුහුනපෑමට සිදුවිය. වරක් අනුරාධපුරයේ දී යහලුවෝ මඩු දේවාලයේ පූජාවකට ඔහුව රැගෙන ගොස් මුලු සේසතම රැගෙන පලා ගියෝය. යන එනමන් නැතිව සිටි ඔහුට අවසානයේ මැදවච්චියේ හෝටලයක රැකියාව ලැබුණි. එයින් ලැබුනු වැටුප නිවසට යැව්වේය.
 මේ කාලයේදී නන්දාවතී තාක්ෂණික විද්‍යාලයක ඩිප්ාලා්මාවක් හැදෑරීය. ඒ කාලයේ නවකවදය නිසා ඈ ජිවිතය නැතිකරගැනීමට සිතූ අවස්ථාද තිබුණි. ඒ මදවට ඈ නැවතී සිටි බෝඩිමෙහි සිටී ඇන්ටී හරියට කන්න බොන්නවත් නොදුන්නා පමනක් නොව කරුණාරත්න සමග ලියුම් ගනුදෙනු කිරීමද තහනම් කලාය.
මේ අතර තුර කාලයේදී කරුණාරත්නට සරසවි වරම් ලැබුණි. මේ බව දැනගත් හෝටල් හිමිකරු ඔහුට කළමනාකරු තනතුර දීමටත් තම දුව විවාහ කර දීමටත් කැමැත්ත පලකර සිටියේය. නමුත් ඔහු දෙකම එපා කියා පේරාදෙණි ගියේය.

Saturday, June 11, 2011

1 ලිපිය - අනිත්‍ය

අනිත්‍ය අනිත්‍ය යැයි පවසන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් යමක් ඇති වී පැවතී නැති වීම යයි අර්ථ දක්වයි. ප්‍රසිද්ධ උදාහරණය ලෙස මිනිසා ඉපදීම ඇතිවීමත්, ජීවත්වීම පැවතීමත්, මියයාම නැතිවීමත්, ලෙස ඔවුන් කියා සිටී. උත්පාද තිථි භංග යන්නෙහි තිථි යනු පැවතීම යයි අර්ථ දක්වයි.
ඇත්තටම මිනිසාගේ හෝ වෙනත් යමක හෝ පැවතීමක් තිබේද? හොදයි අපි මෙහෙම හිතමු මිනිසාගේ පවතින්නේ කුමක්ද? ශරීරයද නැත්නම් හිතද? අපි දන්නවා අපේ හිත එකම අරමුණක තිබුනත් සිතුවිලි බිදි බිදී නැවත නැවත උපදින බව. එසේනම් මේ සිත ස්ථිර නෑ. එනම් පවතින්නේ නෑ. හොදයි අපි බලමු ශරීරය පවතිනවාද කියා. අපි ගනිමු ඔලුව, එය සෑදී ඇත්තේ හිසකෙස් ඇස් කන් නාස යනාදියෙනි. නැතිනම් සම ඇට නහර ලේ යනාදියෙනි. හොදයි එතකොට ඒවා ස්ථිරද? නැත. ඒවා සෑදි ඇත්තේ මූලද්‍රව්‍ය වලින්. එසේනම් මූලද්‍රව්‍ය වල පැවැත්මක් තියෙනවද? ඒත් නැත. ඒවා සෑදී ඇත්තේ පරමාණු වලිනි. පරමාණු සෑදි ඇත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යනාදියෙනි. ඒවාද සෑදී ඇත්තේ තවත් කොටස් එකතු වීමෙනි.
හොදයි අපි එතනින් නැවතිලා බලමු මේ   ඉලෙක්ට්‍රෝන එක තැනක පවතිනවාද කියලා. නැත ඒවා සෑමවිටම අහඹු ලෙස චලනය වෙනවා. එසේ නම් සෑම මොහොතකම පරමාණු වෙනස් වෙනවා, එතකොට ලේ නහර යනාදියද වෙනස් වෙනවා, අත පය ඔලුව ද වෙනස් වෙනවා. අපේ ඇසට නොපෙනුත් දැන් පේනවා නේද මේ ශරීරය ඉතා වේගයෙන් ඇත්තටම අපි හිතනවාටත් වඩා වේගයෙන් වෙනස් වෙනවා. එනම් මේ විදියට අරන් බැලුවම මේ ලෝකෙ පවතින කිසිම දෙයක් නෑ. එසේ නම් උත්පාද තිථි භංග යනු ඇතිවීම පැවතීම නැතිවීම නොව ඇතිවීම ක්ෂණිකව නැතිවීම විය යුතු නොවේද?
එසේනම් අනිත්‍ය යනු 'පවතින කිසිත් නොමැත' යන්නයි.  

පෙරහැර ගියාට පසු ආවැඩීම

මේක ඕං මට වෙච්චි හදියක් එහෙම නොවෙයි. මං මේ මළගෙදරක දැකපු දෙයක්. ඕං ඉළවු ගෙදරක දොරකඩ තොරණක් එහෙම ගහල ලියල තියපිනා "අප අතරින් වියෝ වූ සොයුර ඔබට ආයුබෝවන්" කියලා. ඒ මදිවට ඕං මරණ දැන්වීමෙත් " ඔබට නිවන් සුව ලෑබේවා" කියලා දමාපිනාලා කියමුකෝ.
ඇයි හත්වලාමේ මැරිච්ච මනුස්සයට තව මොන ආයු බෝ වෙන්ඩද?. අනික බාන් මන්නං අහල නෑ මැරිච්චට පස්සේ නිවන් ගිය මනුස්පයෙක් ගැන. නිවන් දකින්න ඕනැන්නේ මැරෙන්න කලින් නොවෑ. ඔය වැරැද්ද වෙන්නේ මට හිතෙන හැටියටනම් ඕං වෙනත් ආගම් වල ස්වර්ගස්ථ වන්නේ මැරුණමනේ. ඒක වෙන්නෑ ඔහොම දාන්නේ.
අනේ ඕං මට තෙරෙන්නෑ බං මුං ඒක හිතලා කොරපු එකක්දෝ කියලා. මං හිතන්නේ නොදන්න කමට තමයි මෙව්වා මෙහෙම වෙන්නේ. හැබැයි ඉතින් ටිකක් හිතුවනම් ඔහොම වෙන්නේ නෑ නොවෑ. එහෙනං ඕං මේක බලන, බැලෙන හැමෝන්ටම ආයුබෝවේවා! නිවන් සැප ලැබේවා!.

Thursday, June 9, 2011

3 සතිය

මේ ලොව සියලු වස්තූන් "reference books" වැනිය. ගෙන යාමට නොහැකිය. කියවා තැබිය යුතුය. ගෙන යාමට සිතන්නෝ දුකට පත්වන්නේය.

Saturday, June 4, 2011

2 කොටස

නන්දා විවාහ වී සිටින්නේ උපාධිධරයකු සමගිනි. ඈ ද උසස් පෙළ සමත් වී ඩිප්ලෝමාවක් හදාරන ලදී. එබැවින් දෙදෙනාටම රැකියා ලැබිණි. ඈ ද පෝසත් නොවූවත් කරුණාරත්නට වඩා ඉහලින් සිටියාය. පියා ඇදුම් මසා උපයාගත් මුදල ඔවුන්ට සෑහින. ඇගේ පවුලේ සිටියේ දරුවන් පස් දෙනෙකි. ඈට අක්කා කෙනෙකු සිටි බැවින් ඈ කුස්සියට කොටුවීමෙන් මිදුනාය. ඇගේ නිවස පිහිටියේ පාසල අසලම බැවින් ගුරුවරියක් වීමේ ආසාවටත් වඩා සාරියක් ඇදීමේ ආසාවෙන් ඈ අධ්‍යාපනයට මුල් තැන දුන්නාය. ඇගේ පවුලෙන්ද වැඩිපුරම ඉගෙන ගත්තේ ඈය.ඇගේ ගෙදර යම් මට්ටමකින් ඉහල වුවද නිතරම මව පියාට බැන වැදිනි. එය ඇගේ පාඩම් කටයුතු වලට බාධා පැමිණවිය. එබැවින් මව තමාට ආදරේ නැතැයි ද ඕ සිතුවාය.
 ඇත්තටම කරුණාරත්න බයිසිකලය දමාගිය යථෝක්ත නිවස නන්දා ජීවත් වූ නිවසම විය. 

Friday, June 3, 2011

මුල පිරුම

මම බුදුන් දැක නැත. නමුත් මා තෙරුවන් සරණ ගියෙමි. ඊට හේතුව මා ධර්මය සරණ යාමයි. මේ ලොව යම් සත්‍යයක් ඇත්නම් එය ධර්මයවේ යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම ධර්මය සරණ යමි. මේ ලොව  සත්‍යය සොයාගත් යමෙක් වේ ද එ බුදුන් යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම බුදුන් සරණ යමි.එම සත්‍ය අවබෝධ කරගත් යමෙක් වේ ද එ සඝුන් යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම සඝුන් සරණ යමි.
නමුත් දැන් හාමුදුරුවන් පවසන දේ බුදුන් සොයාගත් දේමදැයි නොදනිමි. එබැවින්  මගේ අවබෝධයේ පරිමාණයෙන් යථාර්තය සොයා පොඩි ගවේෂණයක් කිරීමට සිතුණි. නමුත් එයට මගේ අවබෝධය මද වේ. එබැවින් මා පලකරන ලිපි වලට ඔබේ අදහස් එක්කල මැනවී.
පළමු ලිපියෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්ම යනු කුමක්දැයි සොයා බලමු.

Thursday, June 2, 2011

දන්න උන්ට කොළ කඩා දමා ගැසීම..

ඕං ඉතින් දවසක් මං විස්ස විද්‍යාලෙ යන බස් රථයට ස්තිරියාවක් නැගපිනා. හත්වලාමයි මට දුකේ බෑ ඕං ඇදන් උන්නු ඇඳුම දැකලා. දණිස්සෙනුත් ඉහලට අඩියක් විතර කකුල් දෙකම නිරැවතින්. ඉතින් ඕං මේ බස් එකෙත් ඈඳි ගන්න තිබුන්නෙත් පස්සම ආසොනෙ විතරයි. දැන් තමයි සෝක් වැඩේ උනෙ. මේ ළමයත් කොහොමින් හරි ඈඳි ගනිපිනා. මලහුට්ටප්පරයයි ! වැහිල තිබුනු සරීරෙත් ඒ ගමන එලියෙ. ඉතින් මේකිත් එහාට ඇබරෙනවා මෙහාට ඇබරෙනවා. අතේ තිවුන මල්ලෙන් කොහොම හරි යන්තම් වහගෙන. මටත් ඕං කට කහනවට මෝකාක් හරි අහන්න හැදුව විතරයි මං දිහා වනචාරියකු දිහා බලන්නැහේ බලපිනා කියමුකෝ. ඉතින් මං ඒ අදහස හකුළ ගත්තා. ඒත් ඉතින් මගේ කැහිල්ල යන්න මේක අහන්නම ඕනෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියාපල්ලකො මොකෑ බං ඔච්චර අමාරුවෙන් වහන් යන්න මුන් ඕවා එළියෙ දාන් එන්නේ?

2 සතිය

තමා මේ ලෝකෙට රැගෙන ආ දෙය හැර අන් දෙයක් නැතිවීම ගැන දුක් නොවන්න. මන්ද එය ඔබ ලග නොතිබූ දෙයකි. නොතිබූ දෙයක් නැතිවීම ගැන දුක්වන්නා මෝඩයෙකි.

Friday, May 27, 2011

පරාර්ථකාමී සුවඳ විලවුන්

දවසක් ඕන් මන් ගමනක් යන්න යාලුවෙකුට අඩ ගහපිනා. මූ ඵනකන් මාත් පැයක් විතර කාලකණ්නි වෙලා බලා ඉඳිපිනා. මේන් මූ ඵනවා ඇවිදින මල් වත්තක් වගේ. මන් ඉතින් ඇහුවා මොකෑ බන් මේ. ඵතකොට මූ කියාපිනා ගමනක්   යනකොට ගඳ ගගහ යෑ හැකියෑ.  මාත් ඕන් කට කහනවට අහපි උඹේ ගඳ උඹට ඵන්න දවස් කීයක් තෝ නැවෙ නැද්ද කියලා. ඵතකොට මූ කියාපිනා මට නොවේ බන්  අනිත් උන්ට...
"ඇන්නෑවයි මූ නම් උරුලෑවෙක්ද කොහෙද" ඉතින් ඕන් මන් කියාපි මට නම් අනිත් උන්ට සුවඳ ගහන්න ඕනැන්නෙ නෑ. මට කා ගාව හරි ගඳක් ආවොත් ඌට ගහගන්න දෙන්ට සෙන්ට් කුප්පියක් තියාගත්තොත් හොඳා කියලා...

1 කොටස

"නන්දෝ චූටි පුතා අඩන්නේ මොකද?"
 කරුණේ ඇසුවේ සාරියක් දෙපොට දැමූ පරාලයෙහි එල්ලෙන තොටිල්ලෙන් එන ඇඩිල්ල ඇසීය. කරැණාරත්න හා නන්දාවතී විවාහ වී දැන් සත් අවුරුද්දකට ආසන්නය. ඔවුන්ගේ පළමු ළමයාට දෙවන අවුරැද්ද ලබන්න ආසන්න වී ඇති අතර නන්දාට (ඕ පසුව 'වතී' කෑල්ල ඉවත් කර ගත්තාය) තවත් දරුවකු ලැබීමට උන්නාය.

  කරැණාරත්න හත් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුට පවුලේ බර කරට ගැනීමට සිදු වූයෙ පියා රබර් කැපීමෙන් ලබා ගත් ආදායමත් මව පැදුරු වියා සොයාගත් සොච්චමත් හත් දෙනෙකු නඩත්තු කිරීමට මඳ බැවිනි. පාසල් යන අවදියේ පටන් හම්බු කිරීමට ඔහුට සිදුවිය. ඵබැවින් උදේම මව සාදා දෙන කඩයප්පම් සයිකලයෙන් හන්දියේ කඩයට දමා සයිකලය පාසල අසල නිවසක දමා පාසැල් යාමට ඔහුට සිදුවිය.  පාසැල ඇරී පැමින ගඩොල් කපන තැනක වැඩ කර හවසට කොරොටුවේ වැඩ ද අවසන්  කර ගෙදර විත් පාඩම් වැඩ ද කිරීමට අතපසු නොකලේය.

Thursday, May 26, 2011

විවාහය..........

අමතන මුත් හිස දළු සලලා
ඔබ වෙත එන්නට නොහැක පලා
පෙර දින ඔබ හට පෙම් කර ඇති මුත්
මා ඇත අද මලකට බැඳිලා

පෙර දින ඔබගෙන් රැකුන ලෙසේ
අද දින සැනසුම් කුසුමෙ දිසේ
නුඹ හට ආලය දියවී නැති මුත්
මම ඉමි කුසුමට හද පුදලා

මේ ලොව නීතිය එය වේ නම්
කෙලෙසක සැනසෙනු නුඹගෙන් මං
මේ රුක ඵල හට ගැනුමට මට යුත්
මගෙ යුතුකම කරනෙමි පෙරලා

එනු බෑ යුතුකම් පසෙක තබා
බඳවා ඇත අප දහම සොබා
සතුටින් ඉමි මා හෙටදිනයේ වත්
රුක ඵල ලෝ සත විඳිනු බලා

1 සතිය

ආදරය යනු ආධාරයකි
එය දීමෙන් ලැබෙන්නේ පිනයි
පින් යනු සතුටයි
hence
ආදරය = සතුට