Wednesday, November 27, 2013

නොදනි සිත කොහෙද කියා

මට නින්ද නොආවේ නින්ද නොආවේ නින්ද නොආවේ
හද සැංගුනානේ සැංගුනානේ සැංගුනානේ

මට නින්ද නොආවේ  හෝ........
මට නින්ද නොඑවී හද සැඟවේවී ඉවසා ගන්නට බෑ
නොදනි සිත කොහෙද කියා //

මුළු රෑ සීනෙන් ඔබෙ වත පමණයි මා දුටුවේ
නිදි නැති රෑ ඔබ රහසින් මගෙ සිහියට එන්නේ//
හිමිහිට මා වෙත ලංවෙලා - සවනට මොනවද මුමුණනා//
මට දෙනවද පහදා ඇයි ඔබ සැමදා මා සිත ගෙන යන්නේ
නොදනි සිත කොහෙද කියා ////

සිතනැති කය සයනේ තනිවී මේ රාත්‍රියේ
එහෙ මෙහෙ පෙරැලෙයි නින්දක් නෑ මට ප්‍රේමියේ//
මට මා නැති වී යයි කියා - යන්නෙමි හදවත සොය සොයා //
මට හදවත ආයේ දෙනවද මාගේ එය ඔබ ලඟ නොවෙදෝ
නොදනි සිත කොහෙද කියා ////

මට නින්ද නොආවේ.....//

Sunday, November 24, 2013

77 සතිය

මට ප්‍රේම කරන සිල්ලෝ මට කලින් මැරී යහපත් තැනක වහා ඉපැදේවා !

Thursday, November 21, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 3

වේදනාවට ස්පර්ශය හේතුවෙන විදිය ගියවර ලිපිය මගින් අපි දැනගත්තා. එහි දී මා කල විග්‍රහයේ තිබුනේ පිටින් අපිට මේ මොහොතේ අරමුණු ලැබෙන විදිය. ඒ විදියට භාහිර අරමුණු ලැබෙන විට සංඥා සකස් වන බව එහි දී මා සඳහන් කලා. නමුත් එහි තවත් දෙයක් තියෙනවා දැනගත යුතු. එකම අරමුණ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වුනත් එක් එක් අවස්ථාවල ලැබෙන සංඥාව වෙනස් වන්නේ ඇයි?

උදාහරණයක් ලෙස වෙස්මූණක් දකින කුඩා දරුවකුට යකකුගේ සංඥාව ඇවිත් බය වෙනවා. ඒ ළමයාම වැඩිහිටියෙක් වෙන විට එන්නේ වෙස්මූණක් කියන සංඥාව. ඒ නිසා ඔහු තවදුරටත් බය වෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි අවබෝධයේ වෙනස් වීම. නැත්නම් ප්‍රඥාවේ වෙනස. කුඩා ළමයාගේ නොදැනීම නිසා වැරදි සංඥාවකුත්, වැඩිහිටියා දන්නා නිසා නිවැරදි සංඥාවකුත් ලැබෙනවා. මෙහිදි තව දෙයක් පැහැදිලි කරගත යුතුයි. එනම් ළමයා බය උනේ සංඥාවට ම නොව සංඥාවට අනුව සකස් කරගන්නා “යක්කු මාව මරයි හෝ කයි හෝ“ යන කල්පනාවටයි. නැත්නම් චේතනාවටයි. එවැනි චේතනාවක් ඇතිවුනේ නොදන්නා කම නිසයි.
ඇත්තටම ඒක වෙස්මූණක් මිස යකකු නොවන බව දන්නේ නම් වැරදි සංස්කාර ඇති වන්නේ නෑ. ඒ නිසා අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා කියන්න පුලුවන්. මේ අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවීම සෑම මොහොතකම වන දෙයක්.

මෙහිදී මම අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා යැයි කීවේ, විද්‍යාව නැතිනම් සත්‍ය දන්නා බව නිසා සංස්කාර ඇති නොවන්නේ නැති නිසා. ඉහත උදාහරණයේ වැඩිහිටියා එය වෙස්මූණක් බව දැනගත්ත පසු ඔහුටත් ඒ පිළිබඳ නිවැරදි සංස්කාරයක් ඇති වෙන බව පේනවා. (මෙහි දී එය වෙස්මූණක් ලෙස දැනීම ත් නිවැරදි සංඥාවක් නොවේ. නමුත් උදාහරණයේ හැටියට එය නිවැරදි සංඥාව ලෙස ගන්න)

කලින් ලිපියේ සදහන් කල උදාහරණයේ දී ද අප සඳහන් කල “පේනවා“ යන වචනයේ සංඥාව එන්නේ තවත් සංඥා කීපයක් සමගින්. නිත්‍ය සංඥාව හෙවත් දිගටම පෙනෙන්නේ කලින් දුටු “පේනවා“ යන වචනයම ලෙස හැ‍ගෙන සංඥාව අවිද්‍යාව නිසා හට ගන්නා එක් වැරදි සංඥාවක්. මේ නිසා අවිද්‍යාව  වැරදි සංස්කාර ඇති කිරීමට හේතු වන හැටි පැහැදිලි ඇතැයි සිතමි.

ඒ නිසා වැරදි දැනීම් ඇතිතෙක් අපට ලැබෙන අරමුණු අල්ලා ගන්නේ වැරදි ආකාරයටමයි. ඒ නිසා ඇතිවන සංස්කාර හෙවත් චේතනා ද වැරදි වේ. දැන් අපිට ස්පර්ශය නිසා වේදනා ඇතිවන හැටිත් ඒ වේදනාවන් අවිද්‍යාව නිසා වැරදි ලෙස අල්ලාගන්නා හැටිත් පැහැදිලි. මේ වැරදි හදුනාගැනීම නිසා වේදනාව නිත්‍ය දෙයක් නැතිනම් මොහොතකට හෝ නොවෙනස්ව පවතින දෙයක් ලෙස ගන්නවා. ඒ නිසා ඒ වේදනාවට එක්කො කැමති වෙනවා එක්කො අකමැති වෙනවා නැතිනම් එය නොසලකා හරිනවා. නොසලකා හැරියොත් එතනින් එහාට එම චක්‍රය ගමන් කරන්නෙ නෑ. නමුත් කැමැත්තක් හෝ අකමැත්තක් ආවොත් එය තණ්හාව ලෙස හදුන්වනවා. වේදනාවක් නොදැනුනොත් කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවන්නේ නැති නිසා තණ්හාවට වේදනාවත් හේතු වෙනවා. ඒ වගේම ඉහත සදහන් කල ආකාරයට වැරදි හදුනාගැනීමත් නැතිනම් අවිද්‍යාවත් හේතු වෙනවා.
නමුත් අවිද්‍යා පච්චයා තණ්හා නොකියා වේදනා පච්චයා තණ්හා කියල තියෙන්නේ ඇයි කියල පස්සෙ සොයා බලමු. දැන් අපි පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා සහ අවිද්‍යා පච්චයා සංස්කාර කියන කොටස් තුන සාකච්ඡා කලෙමු. ඒ ගැන ඔබේ අදහස්, ගැටළු හා විවේචන ඉදිරිපත් කරන්න.

ඔබට නිවන් සුව ලැබේවා. !
  

Saturday, November 16, 2013

76 සතිය

මා වඩාත් අපහසුතාවයට පත්වන්නේ මට ප්‍රේම කරන අය නිසා මිස මාව අප්‍රිය කරන අය නිසා නොවේ.

Monday, November 11, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 16

එතනින් එලියට ඇවිත් කෙලින්ම වැඩපලට ආවා. එතකොටත් මහත්තයලා බිල්ඩිමේ ස්ලැබ් එකේ ඩැඩ බලනවා. මාව දැක්ක ගමන් මහත්තයා ඇහැව්වා “මොකද අයිසෙ පරක්කු, තැන හොයාගන්න අමාරූ උනාද “ කියලා. මං ඉතින් “ආ.... ආ ඔව් ඔව් ටිකක් විතර“ කියලා ශේප් උනා. ඊට පස්සෙ මහත්තයා මගෙන් ඇහුවා “ සෝ, හව් ලොන්ග් විල් යු හෑව් ටු ස්පෙන්ඩ් ෆිනිශ් දිස් සෙකන්ඩ් ෆ්ලෝර් අරවින්ද?“ කියලා. මට එතකොටත් ඉංග්‍රිසි එච්චර දන්නෑ. ඒත් කියන එක කේරුම් ගන්න පුලුවන් කම තිබුනා. මං “හ්ම්ම් වන් මන්ත් සර්“ කියලා කිව්වා.
 “ඕ නෝ නෝ අරවින්ද., මිස්ටර් ෆ්‍රනාන්ඩෝ ආස්ක් ඉට් බිෆෝ නිව් ඉයර් ෆෙස්ටිවල්, කාන්ට් වි ඩු ඉට් ඉන් හරී?“ කියලා මහත්තයා ඇහුවා. මං කිව්වා “ බිෆෝ නිව් ඉයර් නම් සර්, වී වර්ක් නයිට් ඇන්ඩ් ඕකේ සර්.“  කියලා. ඊට පස්සෙ මුදලාලි කිව්වා “ඕකේ එහෙනම් කොහොමහරි ලබන 10 වෙනකොටවත් වැඩේ ඉවර කරනවා. රෑ වැඩ කරනවට කොල්ලොන්ට පඩි ටිකක් වැඩිපුර ගෙවනවා“ කියලා.
ඊට පස්සෙ අපි ඔෆිස් එකට ගිහින් පේමන්ට්ස් ගැන බජට් එක ගැන කතා කරගත්තා. ඒ වැඩේට හිරවෙච්ච හින්දා අනූ ගැන හොයන්න වෙලාවක් ලැබුනෙම නෑ. අවුරුද්ද වෙනකොට කන්ට්‍රැක්ට් එක ඉවර කරගත්ත නිසා සති දෙකක නිවාඩුවකට ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා අම්මගේ අසනීපෙට බෙහෙත් එහෙම අරන් දීලා, උඹලයි ගෙදරත් ගිහින් අම්මව බලා ගන්න කියලා පේමා නංගිටත් කියලා ආයෙ කොළඹ ආවා. එතකොට අනූෂා ට එක්සෑම් අන්තිම හරිය. එයයිගේ එක්සෑම් ඉවර උනාම දවසක් අපි සෙට් එක ගියා මරදානේ හෝල් එකට චිත්‍රපටියක් බලන්න. එදා පොඩි වැඩක් උනා. කොහොම හරි ඉවෝනුයි අනූෂායි කෙලවරම සීට් දෙක අල්ලා ගත්තා. ධම්මිට අනූෂා ළඟ වාඩිවෙන්න ඕන කියලා ඊ ළඟට ධම්මි වාඩි උනා, බර්ටියා පැනපු ගමන් ධම්මි ළඟ වාඩි උනා. ඊ ළඟට මං වාඩි උනා. ඉනෝකා අන්තිමට මට එහා පැත්තේ. බර්ටියා නම් ටිකක් වෙලා ධම්මිට අනං මනං කියෝ කියෝ ඉදලා ශ්‍රී දේවී නටන දිහා කන්න වගේ බලන් උන්නා. මට නම් මොලෝ මලදානයක් තේරුනේ නෑ. අරුන් දෙන්නනම් මෙලෝ සිහියක් නැතුව ලව්. මටනම් විලි ලැජ්ජාවේ බෑ. මහත්තයා මේවා දන්නවනම් කියලයි මට හිතුනේ. ධම්මිත් හිනාවෙවී බයිස්කෝප් එක දිහා බලන් උන්නා. එයාටත් මුකුත් තෙරීලා නෑ. ඔහේ පිංතූර බලබල ඉදලා තියෙන්නේ. ඉනෝකාට ටිකක් වෙලා යනකොට නින්ද ගිහිල්ලා, දන්නෙම නැතුව ටික ටික මගේ උරහිස උඩ ඔලුව. කවදාවත් කෙල්ලෙක්ගෙ ඔලුවක් උරහිසේ තිබිල තියෙන එකක්යෑ. මාව ගැස්සිලා වගේ ගියා. මොනා උනත් ලස්සන කෙල්ලනෙ මාත් හෙලවෙන්නැතුව දිගටම උන්නා. හේහේ..හේ.

කොහොම හරි කොල්ලා එලියට එනකොට හිත ගැස්සිලා තිබුනේ. ඒත් ඉනෝකා කියන්නේ ගොඩක් පෝසත් කෙල්ලෙක්. ඕවා හරියන දේවල් නෙවේ. නිකන් කලු ගලේ ඔලුව ගහගන්නේ මක්කටෙයි කියලා මං එදා රෑ තිස්සෙම ඒ ගැන කල්පනා කරලා කරලා, නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපනකන් උඩුදුවන්න නොදී හිත හදා ගත්තා.

පස්සෙ තමා දැනගත්තේ ගෑනී ඕන කමින්මයි ඔලුව තියන් ඉදල තියෙන්නෙ කියලා. මොකද ඊට සති දෙකකට විතර පස්සෙ එයා මට ලියුමක් එවලා තිබුනා. එදාට කලින් සතියේ කොහොමහරි ඉනෝකා පන්ති ආවේ නෑ.
ඊ ළඟ සතියේ ඒකී මොකද කරේ ගිය සතියෙ වැඩ බලාගන්න කියලා අනූෂාගෙන් බොරුවට පොත ඉල්ලුවා. අනූෂා ගෙදර වැඩ කරල නෑ කියලා මගේ පොත ඉල්ලලා ඉනෝකාට දුන්නා. ආයේ මට පොත ලැබුනේ ඉනෝකාගේ ආදර හසුනත් එක්ක. ඒක තමා මට මුලින්ම ලැබුණු සෙනෙහෙ කොලේ හහ්..හහ්...හා.....    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/17.html

Friday, November 8, 2013

75 සතිය

හිඟන්නෙක් උනත් ප්‍රකෝටිපතියෙක් උනත් ආයේ මැරිල උපදිනකොට ඇඟේ නූල්පටක්වත් නෑ.

Saturday, November 2, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 2

පටිච්ච පමුප්පාද ධර්මය මේ දවස්වල විවිධ පුද්ගලයන් විවිධ අයුරින් විග්‍රහකරමින් සිටින බව පේනවා. මේ නිසාම මිනිස්සු තව තවත් පැටලෙනවා. ඒ නිසා මා නැවතත් කියන්නේ ඔබ ඔබ තුලින් මේ දේවල් දකින්න උත්සහ කරන්න. මා කියන දේ මට තේරුන අයුරින් කරන විග්‍රහයක් පමණක් බැවින් යම් ප්‍රමාද දෝෂයක් වේ නම් එය ධර්මයේ වරදක් නොව මගේ වරදකි.

මම අන්තිමට කිව්වා පටිච්ච සමුප්පාදය දැක ගැනීමට ඇති සුදුසුද ක්‍රමයනම් මේ මොහොතේ සිදුවන දේ පිළිබඳ විග්‍රහකර බැලීම කියලා. ඒ අනුව දැන් මේ ලිපිය කියවන විට සිදුවන දේ විග්‍රහ කරන්න කියලා. මන් මට තේරෙන විදියට විග්‍රහයක් කරනවා, ඒක ඔබේ විග්‍රහය හා සසඳා බලන්න. හිතන්න ඔබ දැන් කියවන්නේ පලමු පේලියේ අවසාන “පේනවා“ යන වචනය කියලා.

අපි ඇස්දෙක  පරිගණක තිරය ඉදිරියේ විවෘත කල විට එහි යටිකුරු ප්‍රතිබිම්භයක් ඇසේ දෘෂ්ටිවිතානයේ සෑදෙනවා. නමුත් අපිට පේන්නේ එක වචනයක් හෝ අකුරක් පමණයි. ඊට හේතුව අපි අවධානය යොමු කරන්නේ ප්‍රතිබිමභයේ එක් ලක්ෂයකට විතරක් නිසා. දැන් අපි ඒ වචනයට අවධානය යොමුකිරිමත් සමඟම ඇසේ ස්නායූ පද්ධතිය උත්තේජනය වී  සංඥාවක් නිකුත් වෙනවා. අපි ඒ සංඥාව අපේ දැනුමට අනුව හදුනාගන්නවා, ඒ මේ වචනයයි එහි තේරුම මෙයයි කියලා. ඊළඟට අපි ඒ වචනය අපි කියවමින් සිටි වාක්‍යයට සම්බන්ධ කරලා සම්පූර්ණ තේරුම වටහාගන්න උත්සහ කරනවා. ඊළඟට කැමැත්ත පරිදි ඊ ළඟ වචනය බැලීම හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරනවා. මේ දේ තමයි මට තේරෙන විදියට මේ ලිපිය කියවද්දි සිද්ධ වන්නේ.

දැන් අපි ඔය සිද්ධිය අප දන්නා පටිච්ච සමුප්පාදයට යොදා බලමු. මුලින්ම ඇසේ ඡායාව හටගත්තා. අවධානය යොමු කිරීම නැත්නම් මනසිකාරය මගින් එක් ලක්ෂයක් අල්ලා ගත්තා. ඒතකොට ඒකට කියනවා ස්පර්ෂය කියලා. මේ ස්පර්ශයත් එක්කම හටගත්තු උත්තේජනයට කියනවා වේදනාව කියලා. ඒ සමඟම ඇතිවන “පේනවා“ කියන වචනය අදුනා ගැනීමට සංඥාව කියන්න පුලුවන්. අපේ දැනුමට අනුව එහි තේරූම දැන ගැනීමට සංස්කාරය නැතිනම් චේතනාව කියන්න පුලුවන්. මේ එක් එක් අවස්ථා වලදී එනම් මනසිකාරය, වේදනාව දෑනීම, සංඥාව දැනීම, ඒ අනුව චේතනාව ඇති කිරීම යන දැන ගැනීමේ ක්‍රියාවන් සිදුකල ශක්තියට විඥ්‍යානය කියන්න පුලුවන්. මෙහි දී මනසිකාරය නැතිනම් අවධානය යොමු කිරීම නැතිව ඉතුරු ක්‍රියාවන් සිදු නොවන බවනම් මා ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා කරුණකි. ඊට අමතරව මට තේරෙන ලෙසට නම් ස්පර්ශය සිදුවන මොහෝතේම ඒ හේතුවෙන් වේදනාව ඇතිවන අතර සංඥාවද ඇතිවන්නේ ස්පර්ශයත් සමඟම මිස වේදනාව නිසා හටගන්නක් නොවේ. මොකද කටුවකින් ඇන්නත්, මදුරුවෙකු ඇන්නත් දැනෙන වේදනාව සමානයි. නමුත් සංඥාව වෙනස්.

දැන් මගේ විග්‍රහය ඉවරයි. එය ඔබේ විග්‍රහය හා ගැලපෙනවද බලන්න. නැතිනම් ඒ බව මෙහි දන්වන ලෙස මා ඉල්ලා සිටිමි. අපි සාකච්චා කල කොටසට පටිච්ච සමුප්පාදයේ, ඵස්ස පච්චයා වේදනා කියන කොටස ඇතුලත් බව නම් පේනවා. එතකොට අනෙත් කොටස් සම්බන්ධ වන්නේ කොහොමද? ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් සොයා බලමු.

ඔබට නිවන් සුව ලැබේවා !   

Friday, November 1, 2013

74 සතිය

යමක් හෝ කෙනෙක් ගැන සිතිය යුත්තේ මම එහි භාරකරු මම එයාගෙ තාත්තා, මම එයාගෙ පුතා,මම එයාගෙ බිරිඳ, මම එයාගෙ සහෝදරයා යනා දී වශයෙනි.