ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර පිහිටියේ තරමක් උසින් කදු ගැටයකයි. පල්ලමේ ගෙදර වූයේ මේ වෙද මහතාගේ ගෙදරයි. කවුරුත් 'බලුවෙදා' යැයි ඔහුව ඇමතුවේ ඔහුට නිග්‍රහ කිරීමට නොව භාවිතයේ පහසුවට යි.
ඒ වෙදමහතාට අපි සීයා කීවෙමු. නමුත් ඔහුගේ බාල දියණිය නැන්දා නොව දිස්නා අක්කාය. අප කුඩා කල දෙමව්පියන් වැඩට ගිය විට දිස්නා අක්කා සමඟ ඒ ගෙදරට වී සිටිමු. පාසැල් යන දිනවල ගෙදරම්මලාගේ ගෙදර සිටියත් නිවාඩු කාලයට බලු වෙදාගේ නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කලෙමු. දිස්නා අක්කාත් ඇයගේ මවත් ස්වයං රැකියාවක් ලෙස කොහු ලණු අඹරයි. මම ද ඊට සහය වන්නේ බොහොම ආසාවෙනි.
හීං ලණු තුනක් ගෙන එකට තබා කෙලවර හිල් පොල්කටුවක් තුලින් යවා ගැටයක් දමයි. ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි. එක් අයෙක් පොල් කටුවෙන් අල්ලා සිටින අතර අනෙකෙක් ලණු ඇදෙන සේ පොල්ල අල්ලාගෙන කරකවයි. එවිට ලණු තුන එකට ඇඹරේ. හොදට ඇඹරුණු පසු ලණුවේ මැදින් කෙනෙක් අල්ලා සිටිය දී කෙලවර දෙක එකට තබා මැදින් අල්ලා සිටින තැන නිදහස් කරයි. එවිට ලණුව හොඳට ඇඹරී කඹයක් බවට පත්වෙයි. බොහෝ විට එහි අවසන් කොටස වන මැදින් අල්ලා සිටින්නා මම වෙමි.
අප එහි ගියවිට දහවල් ආහාරය ගන්නේ ද සියාගේ ගෙදරිනි. දිස්නා අක්කා හෝ සීයා අපට ආහාර කැවීම සිදු කරයි. එසේ ආහාර කවන විට කතන්දර කීම සීයාගේ පුරුද්ද කි. මුලින් මුලින් කවන වේලාවට පමණක් කතා කීව ද අපේ කතා ඇසීමට තුබූ ආසාව නිසා සියාට හැකි හෑම අවස්ථාවකම කතාවක් කීමට සිදු විය. අවසානයේ අවසානයක් නැති කතා ද සීයාට කීමට සිදුවිය. ඒ අපගෙන් ගැලවීම උදෙසාය. එවැනි එක් කතාවක් මෙසේ ලියමි.
"ඔන්න එක කැළැවකට ආවලු කෝච්චියක්, ඉතින් ඒ කෝච්චියට සත්තු ඔක්කොම නගින්න පටන් ගත්තලු. මුලින් අලි නගිනවලු, ඊ ළගට සිංහයෝ, කොටි වල්ස්සු නගිනවලු. ඊ ළඟට නරි නගිනවලු, ඉතින් තාම සත්තු කෝච්චියට නගිනවලු"
"ඉතින් ඊට පස්සේ ?" අපි සීයාගෙන් අසමු. "ඉතින් තාම නගිනවනේ, නැගලා ඉවර උනාම කියන්නම්කෝ" සීයා කියයි. ඔය වගේ ඉවරයක් නැති කතා ද සෑහෙන ප්‍රමානයක් සියා කියා ඇත. සීයාගේ කටේ නිතරම කියැවෙන සින්දු කැල්ලක් ද ඇත. එය මට තාමත් මතක ඇත. "කොස් තම්බා පොල් ගාලා කන්න දුන්නේ මං, මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලූ දැන්" යනු ඒ කවියයි.
සීයා ලෙඩුන් අඩු කාලවලට මාළු ඇල්ලීමට යයි. ඒ යන ගමනට මා කවදාවත් රැගෙන නොගියත් අයියා නම් සීයා සමඟ මාළු ඇල්ලීමට බොට්ටුවෙන් ගඟේ යයි. ඒ නිසා බොහෝ දිනවල දවල්ට වෙල් මාළු හෝ ගඟේ මාළු කෑමට ලැබෙයි. ඊට අමතරව ඌරු මස් ද සීයාගේ ගෙදර වෙයි. ඒ පිස්සු බලු රෝගය හඳුනා ගැනීමට රෝගින්ට ඌරු මස් කන්නට දෙන නිසායී.
මගේ කූඩා අවදියේ මතකයන් අතරේ සදා අනුස්මරණිය චරිතයකි වෙද සීයා. හේ කියා දුන් කයි කතන්දර තාමත් මට අද ඊයේ වගේ මතකය. දිස්නා අක්කා ද ඒ මතකයේ සිටියත් ඇගේ මවත් අයියලා දෙන්නා ගැනත් ඇත්තේ බොඳ වූ මතකයකි.
DAN ITHIN APITA MOKADA KARANNA KIYANNE
ReplyDeleteKARANNA ONA DE THAMA KARALA THIYENNE.
DeleteSTHUTHI COMMENT KALATA.