අප කොළඹට ඇවිත් අවුරුදු දෙකක් වන්නේ 1998 පෙබරවාරි මාසයටයි. අප එසේ පැමිණි මුල්ම කුඩා නිවස අප එනවිටත් ඉතා පැරණි නිවසක් විය. නමුත් ගෙවල් හිමිකරු විසින් එය පිළිසකර කර දුන් අතර නොබෝ කලකින්ම එහි යතා ස්වරූපය අපට අවබෝධ වන්නට විය. දහවලට ටකරන් රත් වී පෝරණුවක් සේ ගෙතුල රත් විය. වැසි කලට ගෙදර සියලු හැලිවලං වතුර රැස් කිරීමට තැබීමට සිදුවිය. නමුත් අප ගෙවූ කුලියේ හැටියට ඒ මුදලට කොළඹින් වෙනත් නිවසක් සොයා ගැනීම ද අපහසු විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වූයේ තවදුරටත් එම නිවසේ විසීමෙන් එකතැන පල්වනවා මිස අනාගතයක් නොමැති බවයි. එබැවින් දෙහිවලම වෙනත් නිවසක් සොයා ගැනීමට අම්මා වෙහෙසිනි. අම්මා වැඩ කලේ දෙහිවල ජල සම්පාදන මණ්ඩලයේ වූ බැවින් අම්මාට ඒ කාරිය එතරම් අපහසු දෙයක් ද නොවීය. නමුත් දැරිය හැකි මුදලකට කුළි නිවසක් සොයා ගැනීම ද ලෙහෙසි නොවිනි. අවසානයේ කෙසේ හෝ අම්මා වෙනත් කුළි නිවසක් සොයා ගත්ත ද එහි කුළිය තරමක් වැඩි විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වුයේ මේ නරකාදියෙන් ගැලවී යාම වඩා සුදුසු බවයි. අප වෙනත් නිවසකට යනබව නිවෙස් හිමිකරුට දැන්වූ විට ඔහු පවසා සිටියේ අප වැනි කුළී කරුවන් ඔහුට හමු වී නැති බවත් තව දුරටත් එහි රැදෙන්නේ නම් නිවස පිළිසකර කර දෙන බවත් ය. නමුත් අම්මාගේ තීරණය වෙස් නොවිනි.
ඒ අනුව දෙහිවල කරගම්පිටිය ප්‍රදේශයේ මේධංකර පාරේ පිහිටි නිවසකට අපි පදිංචියට පැමිණියෙමු. එය කලින් නිවසට වඩා විශාල නිවසක් වුවත් එය සම්පූර්ණයෙන්ම අපට අයිති නොවිනි. එහි කුලියට දීමට තිබුනේ ඇනෙක්සියක් වුවත් එය ඒ වනවිටත් කුලියට දී තිබුණි. මේ නිසා අපට හිමි වුයේ අයිතිකරුවන් පදිංචි නිවසේම විසිත්ත කාමරයේ හාඩ් බෝඩ් වලින් වෙන් කරන ලද කොටසකි. ඊට අමතරව කුස්සියක් ද අපට හිමි විය. එහි අයිතිකරු වූයේ බර්නාඩ් නම් පුද්ගලයෙකි. කාමර දෙකකින් හා කුස්සි දෙකකින් සමන්විත වූ ඒ නිවසේ ඔහුත්, බිරිඳත්, අම්මලා දෙදෙනාත් පුතාත් විය. අපත් සමඟ එහි මුළු සාමාජික සංඛ්‍යාව 10ක් විය. අප නැවතත් කුඩූ වූ නමුත් එහි යම් ප්‍රමාණයක මිදුලක් තිබීම කුඩා වයසේ වූ අපට සතුටට කාරණාවක් විය. අප කලින් උන් නිවසේ මිදුලක් තිබුනේම නැත. වතුර ගැනීමට විශාල ලිඳක් තිබූ අතර එයට මෝටරයක් සවිකොට ටැංකියකට වතුර පිරීවීය. එයින් නිවසට නල ජලය ලැබිණ. කෙසේ වෙතත් මෙහි දී ද ඇඳක නිදා ගැනීමේ භාග්‍ය හිමිවූයේ තාත්තාට පමණි. ඒත් පෙර පරදිම කුස්සියේ ය.
බර්නාඩ් අංකල් කුමන රස්සාවක් කලේ දැයි අපි නොදනිමු. නමුත් ඔහු ඉතා රෑ බොවී නිවසට පැමිණි අතර උදේ පාන්දරින්ම නිවසින් පිටවිය. ඔහුගේ පුතා පසන් වූ අතර අම්මා නිතරම ඔහු පස්සෙන් වූ බැවින් ඇන්ටී ද දහවලට ගෙදර උන්නේ ළමයාට පන්ති නැත්නම් පමණි. ඔවුන්ගේ අම්මලා දෙදෙනා පමණක් දහවලට නිවසේ වූ අතර ඉන් එක් මවක් අන්ධ තැනැත්තියකි. ඇගේ උදව්වට හිටියේ අනිත් අම්මාය. ඈ අන්ධ වූ නමුත් බොහෝ වැඩ තනියම කර ගැනීමට ඈට හැකිවිය. අපට වඩා හොඳට ගේ ඇතුලේ ඇවිදීමට ඈට හැකිවිය. අපි ඈට පැණි ආච්චි යැයි ද අනෙක් තැනැත්තියට සීනි ආච්චියැයි ද පැවසුවෙමු.
ලස්සන මතකයක්
ReplyDeleteඇත්තටම මගේ කතාව කියවන විට ඒක අමිහිරි අතීතයක් සේ දැනුනත් මටනම් අතීතය හරිම සොඳුරු යි. ඒ නිසා ඒවා මගේ මතකයේ රැඳිලා තියෙනවා.
Deleteහැමවෙලාවෙම මතකයන් අපිව ජීවත් කරවනවා.....
ReplyDeleteමතකයන් නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නේ. නැත්නම් හැමවේලේම අපි මැරිලා ඉපදිංච මිනිස්සු වගේ.
Deleteලස්සනයි, දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ස්තූතියි මිත්‍රයා !.
Delete