1999 පෙබරවාරී 26 වෙනිදා මා ඇහැරුවේ මට එන්නත් කිරීමක් සඳහා හෙදියක පැමිණ සිටී බැවිනි. හෙදිය පැමින මට මුනින් අතට සිටින සේ පවසා මාගේ තට්ටමට එන්නතක් විද්දාය. මට ඕනෑ තරම් එන්නත් කර ඇතත් එම එන්නත් කිරීමට දවල් තරු පෙනිණි. අදටත් එය සිහි වන විට ඇගේ මවිල් කෙලින් වේ. ඉන් පසු උදේ 10 වනවිට සැත්කමට සූදානම් වන ලෙස පවසා ඈ යන්නට ගියාය. වේදනාව සමනය වනතුරු මා ඇඳේ සිටින අතරතුර අම්මා පොතක් ගෙන මට පවන් සලමින් සිට වේදනාව අඩු වූ පසු මගේ මුහුණ කට සේදුවාය. පෙරදා රාත්‍රී 10 ට පසු ආහාර නොගන්න යැයි උපදෙස් දී තිබු බැවින් උදේ ආහරයට මට ලැබුනු පාන් භාගය අම්මා කැවාය.
උදේ 9.00 පමණ වන විට තාත්තා ද වාට්ටුවට පැමිණියේය. තාත්තා මට සුදු සරමක් ගෙනැවිත් තුබූ අතර අම්මා මට එය ඇන්දවිය. ඉන්පසු අපි තිදෙනා රෝහල් භුමියේ කෙලවරට වන්නට තිබූ බුදු කුටියට ගොස් 10.00 පමණ වනවිට නැවත වාට්ටුවට ආවෙමු. 10.15 විතර වන විට මා රැගෙන යාමට ට්‍රොලියක් ආවේය. මට පයින් යන්න හොඳටම පුළුවන් උනත් ට්‍රොලිය ගෙනා පුද්ගලයා මට ලෝගුවක් වැනි ලා කොල පාට කබායක් දී එය ඇඳගෙන ට්‍රොලියට නගින්නට උපදෙස් දුන් බැවින් මා ද එය හැදගෙන ට්‍රොලියට නැග වාඩි විය. ඔහු මා දමාගෙන සැත්කම් කාමරය වෙත තල්ලුකරගෙන රැගෙන ගියේය. අම්මාත් තාත්තාත් ඒ පසුපස ආවත් සැත්කම් කාමරයට පැමිණිමට ඔවුන්ට අවසර නොලැබිණි. මට යම් බියක් එවේලේ හිතට ඇතුළු විය. එය මහ ගුප්ත කලුවර කාමරයකි. කාමරයේ තවත් ට්‍රොලි තිබුන ද ඒවායේ රෝගින් සිටියාදැයි මට මතක නැත. මම වටපිට බැලීමට බිය විමි. ඒ නිසා හාන්සි වීගෙනම සිටියෙමි. මොහොතකින් කෙනෙක් කාමරයට ඇතුලු වී අතට බෙහෙතක් එන්නත් කලේය. ටික වේලාවකින් මට නින්ද ගියායැයි සිතමි. නැවත මට කල්පනාවට ආවේ දෙදෙනකු විසින් මා අල්ලා වෙනත් ඇඳකට ඔසවා තබන විටය. එය සීතල කාමරයක් බව දැනිණි. ඒ ඇඳට ඉහලින් විශාල බල්බ කීපයක් සහිත විදුලි පන්දමක් විය. මා වටා දෙතුන් දෙනකුවත් සිටින බව දැනිණි. ඉන් කෙනෙක් “බබා ඔයාට දැන් බෙහෙතක් විඳිනවා “ කියා අතේ මැණික්කටුව අසලට එන්නත් කලේ ය. මා විදුලි පන්දම දිහා බලා ගෙන සිටියෙමි.
කෙමෙන් කෙමෙන් මට නින්ද යන්නාක් මෙන් හැඟින. ටික වෙලාවකින් මා පාවෙනවා මෙන් සැහැල්ලුවක් දැනිණි. මා ටික ටික ඉහලට ගොස් විදුලි පන්දමට ආසන්න විය. පහල බැලූ මට දැක ගතහැකි වූයේ කොළ පාට කබා ඇඳගත් පිරිසක් මගේ ශරිරය වටා හිටගෙන මොනවාදෝ කරමින් සිටින බවයි. එත් මගේ ශරිරය දැක ගැනීමට නොහැකි වුයේ ඔවුන් මගේ ශරිරය දෙසට නැමී සිටි බැවිනි. එක වරම මා කොහෙදෝ ඇඳී ගියේ ය. එවිට මා සිටියේ උස තාප්පයක් උඩයි. එය රාත්‍රියක් වූ බැවින් වටපිටාව හොඳින් දැකගත නොහැකි විය. මා සිටි තාප්පය අසලම විශාල ගසක් වූ අතර එය බෝ ගහක් යැයි මට සිතිනි. ඊට මඳක් එහාට වන්නට විශාල චෛත්‍යයක් වූ අතර එහි චූඩා මාණික්කය පමණක් දිලිසෙමින් තිබිණ. ඉන් පසු කිසිවක් මට මතකයේ නැත. නැවත අම්මා “පුතේ, සුදු පුතේ..... පැටියෝ........ “ කියමින් කතාකරන හඩ ඇසී මට ඇහැරෙන තුරු කිසිවක් නොදැනිණි. අම්මා මගේ ඔලුව අත ගාමින් සිටියාය. මට ශරීරයක් ඇති බව කෙමෙන් කෙමෙන් දැනෙන්නට විය. ඒත් මට කිසිම චලනයක් කරගත නොහැකි විය. වේදනාවන් දැනුනත් ඒ මගේ වේදනාවන් නොවීය. ඒ නිසා මට ඒ වේදනාවන් නැති කර ගන්න උවමනාවක් ද නොවීය.
ටික වේලාවකින් තරුණ හෙදියක් පැමිණ මගේ තොල්පෙති තෙමුවා ය තෙත පුළුන් කැබැල්ලකින්. ඉන් පසු වතුර බේසමක් ගෙනැවිත් මගේ මූණ හා අත පය තෙත මාත්තු කලාය. මම කිසිවක් සිතා ගත නොහැකිව හිස් මනසින් සියල්ල ඉවසුවෙමි. නැවත මොහොතකින් මම නින්දට වැටුනෙමි.
No comments:
Post a Comment