Saturday, July 16, 2011

2 ලිපිය - ලෝකයේ සංයුතිය2

බුන්ජු විසින් කලින් සටහනට අදහසක් ඉදිරිපත් කර තිබුණා. එහි හොද විග්‍රහයක් තිබුනා ලොකයේ සංයුතිය පිලිබද, පරමාර්ථ ධර්ම 82ක්  ඇතිබව පොතක තිබුණු බවද එහි සදහන්. ඒ පොත මා කියවා නැති බැවින් ඒ ගැන යමක් කීමට මට අපහසුයි. නමුත් ඉදිරියේදී ඒ පිලිබද වැඩිදුර සදහනක් කිරිමට ඔහුගෙන් එම පොත ඉල්ලා ගැනීමටද බලා පොරොත්තු වෙමි.

 ඔහු සදහන්කර ඇති අනෙක් කරුණ මාද පිලිගන්නෙමි. ඇත්තටම බුදු දහමෙහි සංකල්ප තිබිය නොහැකි. මට අවශ්‍ය වූවෙද මෙම මූලධාතු ශක්තීන් බව පෙන්වීමටයි. චෛතසික 52 නම් (සසංකාරී/අසංකාරී, සෝමනස්ස සහගත/දෝමනස්ස සහගත ................වශයෙන්) මාද අසා ඇත. රූප 28 ගැනනම් සදහන් කල හැක්කේ මා සදහන් කල 5ට අමතරව වර්‍ණ, ගන්ධ, රස, පොට්ඨබ්බ වහයෙන් අනුශය ධාතු 4ක් අසා ඇති බවයි.

 ආපෝ යනු මා සිතනපරිදි ගලායාමේ ශක්තියයි. තේජෝ යනු තාප ශක්තියයි. වායෝ යනු විසිරිමේ (විකර්ෂණ) ශක්තියයි. පඨවි යනු ස්පර්ශය දැනවිමේ (ආකර්ශණ) ශක්තියයි. ආකාශ යනු අවකාශය නැතිනම් ඉඩකඩයි. මෙම මූලධාතු වෙනවෙනම වෙන්කොට තැබිය නොහැක. උදාහරණයක් ලෙස  යම් වස්තුවක තාප ශක්තිය ශූන්‍යකල නොහැක. එවිට අනෙක් ශක්තීන්ද නැතිවේ.. අප දන්නා කුඩාම ඒකකයක් වන ඉලෙක්ට්‍රෝනයක පවා මෙම සියලු මූලධාතු පවතී. එසේම මෙම මූලධාතු ඇතිවීමට හේතුවද ත්‍රිලක්ෂණයයි. එනම් වෙනස් වීමයි, නැත්නම් චලනයයි.  එම මූලධාතු පවතින ප්‍රමාණය අනුව මේ සංකීර්ණ ලෝකය නිර්මාණය වී ඇත.

Friday, July 15, 2011

යකාගේ තරමට විමානේ පහල වෙලාද?

බොලාට කියන්න මං අපේ අප්පොච්චිලැයිගේ යාලුවෙක්ගේ ගෙදර ගියා නෙව. බොලාට කියන්න ඒක ගෙයක් නොව මාලිගෙයක්. තට්ටු දෙකයි. නිදන කාමර පහයි. ඉස්තෝප්පුවයි සාලයයි අපේ ගෙදර විතර ඇති. සාලේ මැද දියඇල්ලකුත් තිබුනයි කියමුකෝ ඕං. උන් නාන්නේ ඒකෙන් වෙන්ටැති මයෙ හිතේ. කොහොමින් හරි මයෙ හිතේ කෝටියකට එහා යන්නැති ඒ ප්‍රාසාදය තනන්න. බොලාට කියන්න කාමර පහක් තිවුනට මොකෑ මුන්ට ඉන්නෙත් එකාලු නෙව. ඒකාත් දැන් රට ගොහින්ලු.
  ඉතින් ඕං එහේ ගොහින් එන ගමනෙදි අපෙ මව්තුමිය මට කියපි " පේනවනේ උඹත් කවද හරි දවසක ඒ වගේ ගෙයක් හදන්ට ඕනෑ". හත්වලාමයි ඇයි බොලව් මට මොකටෙයි ඔයි තරම් ගෙයක්. ඉතින් මං කියෙව්වා මටනම් ඔයි තරම් පිස්සුවක් නෑ, ඔයිට හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවැයි කියාලා. එතකොට අම්මා කියෙව්වා එහෙම කොහොමෙයි වැදගත් මිනිස්සු ගෙදරට එනකොට ලැජ්ජාවේ බෑ නොවැ. කොහොමෙයි අර ගුබ්බෑයමට  ඒ මිනිස්සු එක්ක එන්නේ උඹට ලැජ්ජා නැද්ද කියාලා. මං කියෙව්වා අනේ උන්ට අපේ ගෙට එන්න ලැජ්ජානම් නාපුවාවේ. මං ගෙවල් හදන්නේ උන්ට පෙනෙන්ට නොවෙයි. අව්වෙන් වැස්සෙන් බේරිලා මැරෙනකන් වැටිල ඉන්නයි කියාලා. 
  හැබෑටම මේ මිනිස්සු කෝටි ගනන් වියපැහැදම් කොරාගෙන මහා දැවැන්ත ප්‍රාසාද තනන්නේ මක්කටෙයි? සමහර විට කියයි ලමයින්ට කියාලා. ඉතින් ළමයි කියලා උනුත් දීග ගොහින් අර මහගෙදර ටෙලිනාටකේ වගේ ඒ ගෙයිම ලගිනවැයි නෑ නෙව. පොඩි හුරුබුහුටි ගේ පොඩ්ඩක් හදාගෙන ඉතිරි සල්ලි ජීවත් වෙන්න තියා ගත්තනම්, නැතිනම් දනට පිනට දුන්නනම් කොච්චර අගේද මං අහන්නේ

Wednesday, July 13, 2011

8 සතිය

ඔබට තරහ ගිය විට හරි දුක හිතුන විට හරි වෙන ඔනෑම වෙලාවකදි හරි අන් අයට දොස් කියන්න ඒපා. ඔබට ඒන සෑම සිතුවිල්ලකටම වග කිවියයුතු ඔබයි.

Sunday, July 10, 2011

7 කොටස

ඈ චූටිපුතා තුරුලට ගෙන ඔබ මොබ ඇවිදිමින් නැලිවිලි ගීයක් මුමුණන්නට විය.
 "නන්දෝ මොකද ඔයා කියන්නේ".
"මොකක්ද?".
 "මං හිතා ඉන්නේ ගමෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න, හැමදාම කුලී ගෙවල්වලම ඉන්නද ඔයාගෙ කල්පනාව".
 "ඔව් ඒ අදහස නම් හොදයි, කොහොමත් මං හිතන් හිටියේ ලමයා හම්බවෙන්න කලියෙන් අම්මලෑ ගෙදර නවතින්නයි. ඒත් කොහෙන්ද ඔව්වට සල්ලී, ඉඩමක් ගන්න සෑහෙන මුදලක් යාවී."
 "මං අපේ හිච්චට කිව්වා ඉඩමක් බලන්න කියාලා. ඌ පනෙල්කන්දෙන් ඉඩමක් බලලා අක්කර භාගයක්,  30ක් කියෙව්වලු, ඔයාට බැරිද ලෝන් එකක් ගන්න. කොහොමත් මට ණයක් ගන්න හැටියක් නෑ. මං හිතාන ඉන්නේ මේ රස්සාවෙන් අස්වෙන්නයි. "
 "මොකක්! අස්වෙන්න ඒ මක්කද?, අස් වෙලා මොකක් කරන්නද හිතන් ඉන්නේ "
 "මේ දවස්වල වැඩපලේ හරි කචල්, සේවකයො ඇමතිට ඕන හැටියට දාගෙන දැන් පඩි ගෙවාගන්න හැටියක් නැතිව. මං හිතන්නේ ලගදිම වහන්න වෙයි. ඇරත් ගමට ගියාම එහේ ඉදන් එන්න හැකිදෑ"
 "කෝකටත් ඔයා පරිස්සම් වෙන එක හොදයි, මේ දවස්වල ඔයාට අපල"

Saturday, July 9, 2011

2 ලිපිය - ලෝකයේ සංයුතිය

ඔබට මතක ඇති අපි අනිත්‍ය ගැන සොයා බලන විට මිනිසා කොටස් වලට බෙදාගෙන ගිය හැටි. එහිදි අපි ඉලෙක්ට්‍රෝන දක්වාම බෙදාගෙන ආවානේ. ඉතින් ඔබ හිතන්නේ ඉලෙක්ට්‍රෝන නියුක්ලියෝන තව දුරටත් බෙදන්න බෑ කියලද? නෑ මං එහෙම හිතන්නෙ නෑ. මට හිතෙන්නේ ඒවා තවදුරටත් බෙදන්න පුලුවන් කියලා. හරි විද්‍යාඥයෝ ඒවා බෙදනකන් අපිට ඉන්න බෑ නේ. අපි බලමු බුදුරජාණන්වහන්සේ කිව්වායැයි කියන්නේ මොනවද කියලා.(අපි කොහොමද දන්නේ ඇත්තටම කිව්වද කියලා)
 මං අහල තියෙන විදියට මේ ලෝකේ හැදිල තියෙන්නේ මූල ධාතු 6කින්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඥ්‍යාන යනු එම 6යි. සමහරු විස්තර කරන අන්දමට (සමහර විට තේරුම් ගන්න පහසු නිසා වෙන්න ඇති) ජලය, ගින්දර, වාතය, පස, අවකාශය හා සිතයි. හැබැයි බැලූ බැල්මටම පේනවා ඒක නිවැරදි නොවන බව. කොහොමත් අනිත්‍ය යනු පවතින කිසිවක් නැත යන්නනම් මේ මූලධාතු යනු භෞතික දෙයක් වෙන්න බෑ. මට හිතෙන හැටියට මේ ශක්තීන් 6ක් හෝ සංකල්ප 6ක් විය යුතුයි. අපේ පන්චේන්ද්‍රියන්ට හසුවන දේ නිර්මාණය වී ඇත්තේ පලමු මූලධාතු 4න්. අනිත් දෙක පන්චේන්ද්‍රියට දැනෙන්නේ නෑ.
 මෙම මූලධාතු 6ගැන ඔබට හිතෙන දේ කියන්න. එතෙක් මගේ පැහැදිලි කිරීම සතියකට කල් තබමී.

Friday, July 8, 2011

අරටුව දරට ගෙන පොත්තට ආ වැඩීම

බොලාලා දන්නවනේ අපේ ඇයින්ට වැදගත් දෙයක් දෙන්ට බොහොමැ අමාරුයි නොවැ. ඇහැ කන පිනවන දෙයක්නම් මුන්දැලා දෝතින්ම පිලිගනී. ඒක නෙව ඔය උගන්නන ගුරුවරු විහිලු කතා එහෙම කීන්නේ. ඒත් බාං සමහර එවුන් විහිලු කතාවනම් හොදට ඔලු ගෙඩියට දාගනිපිනා පාඩම මතක නෑ නොවැ.
 ඔය වෙසක් පොසොන් දවස්වල හේම අපිත් වෙසක් පොසොන් බලන්න ගොහින් දන්සැල් සේරොමත් වැදගතිපිනාමනේ. හැබැයි ඔං මතන ඇති කාලෙකනම් මං දන්සැල් ගොහින් වැදලනම් නෑ ඕං හොදට කාලබීල එනවා මිසක්කා. ඉතින් මං මේ කියන්ටේ අපි හුග දෙනා තොරණ පහන් කූඩු එහෙම බලාපිනා එන ගමං කියන්නේ මක්කද? " අනේ සෝක් කූඩුව හරිම නිර්මාණාත්මකයි හතර දිහාටම කැරකෙනවනෙව...." " ලස්සන තොරණ අඩි 60 ක් උසයිනෙව බලුප් මාරම ගති......" වගේ එව්වනේ. කියෙන් කීයද කියන්නේ "එකේ තියෙන්නේ උම්මංග ජාතොකේ බලන්න එපෑයැ මහෝෂධ කුමාරගේ ණුවනැති කම අපිත් ඒ වගේ හිස් ගෙඩිය පාවිච්චි කොරන්ට ඔනැන්නෙ" කියාලා එහෙනං. අනේ මං දන්නේ නෑ බාං මුං එදාටත් ගොහින් කොරන්නේ එපාය කියා වදාළපිනාපු පන්චේන්දිරිය පිනවන එකමනේ.
 දැන් බලන්ට මගේ මේ බුලැගිය උනත් ලියන්නේ ඇත්ත නැත්ත මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න නෙව. කෝ ඉතින් ඒකට බොලාගෙන් කිසි බකප් එකක් නෑ නොවෑ. ඔය කටකහනවට කියන කතාවක් බලලා ( එකෙනුත් ගන්න ඕන දේ ගන්නවද මං දන්නේ නෑ) කොමෙන්ට් එකක් දාපිනාලා යනව මිසක්කා. මට ඉතින් මං කියන, හිතාන ඉන්න එව්වා හරිද වැරදිද කියාලවත් බලාගන්න හැටියක් නෑ නොවෑ අම්මපා.    

Thursday, July 7, 2011

7 සතිය

විවාහය සහ අදරය කෙක් සහ අයිසිං වැනිය. අයිසිං නැති වුවද සාර්ථක කෙක් ඒකක් සෑදිය හැක.

Sunday, July 3, 2011

6 කොටස

ඔවුන් දෙදෙනාට අනුවනම් ඔහු රත්තරන් කොලු පැටියෙකි. නමුත් දැලි අගුරු කැබැල්ලක් මෙන් කළුය. දරුවා බලා ගැනීමට කාන්තාවක් වැඩට ගත්තද ඈ දවස් දෙක තුනකට පසු ආ ගිය අතක් නැති විය. පසුව කරුණාරත්න ද මාරුවීමක් සාදාගෙන අම්පාරට පැමිණියේය.
 මේ දරුවා අවුරුද්දක් යන විට කා සමගත්  හොදින් කතාබහ කිරීමට පටන් ගත්තේය. හුගක් දිනවල මව්පියන් වැඩට යන විට දරුවා බලා ගත්තේ සුසිලා විසිනි. එම නිසා දරුවා සුසිලාට හුගක් කුලුපග විය. වෙන දරුවන් මෙන් සෑම දේකටම ඇඩීමේ පුරුද්දක් ඔහුට නොවීය. සමහර දිනවල නින්දෙන් ඇහැරී සුසිලා සිටි කාමරයේ දොරට ගසමින් සුසිලෝ කියා කෑ ගාමින්න් සිටිනු දැකගත හැකිවිය. ඔහු හඩනු ඇසීම ඉතා දුර්ලභ දෙයකි. දිනක් අසල්වැසියෙක් ඔගොල්ලැයි ගෙදර ලමයෙක් ඉන්නවද කියල නෑ අනේ යැයි නන්දාට පවසා තිබිණ.
 එබැවින් දරුවා අඩනු ඇසීම විශේෂ දෙයකි. තොටිල්ලේ උන් දරුවා අඩන්නේ මොකදැයි කරුණාරත්න ඇසුවේ එබැවිනි. නන්දා ගොස් බැලූ කල පරාලයේ උන් කුහුඹුවන් කීප දෙනෙකු දරුවාගේ ඇගේ වැටි සිටිනු ඕ දුටුවාය.ඈ වහා චුටි පුතා තුරුලට ගෙන නලවන්නට විය.
 ආදරේට චුටී පුතා වුවද ඔහුගේ උප්පැන්නයේ සම්පූර්ණ නම ඉදිරියෙන් තියෙන්නේ ශාලික අසංක කියාය. නමුත් අපි තව දුරටත් ඔහුට චූටි පුතා  ලෙසම අමතමු.

Saturday, July 2, 2011

1 ලිපිය - අවසානය

අපි 1 ලිපියෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ගැන සාකච්ඡා කලානේ. ඒත් ඒවයි නොතේරුන හා ගැටලු සහගත තැන් කීපයක් විමසා සිටියා කීප දෙනෙක්.
 1. මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් වෙනස් වෙන්නේ මොනවාද?
 2.දැන් කෙනෙක්ට තරහ සිතිවිල්ලක් ආවම ඒක දිගටම පවතිනවනේ?
 3.මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් මේ පංචෙන්ද්‍රියන්ට දැනෙන්නේ මොනවාද?
  හොදයි පලමු ප්‍රශ්ණට හා තෙවැනි ප්‍රශ්නයට පිලිතුරු ලෝකයේ සංයුතිය ගැන කතා කරන ඊළග ලිපියෙන් සාකච්ඡා කරමු.
 දැන් අපි බලමු එකම සිතුවිල්ල දිගටම පවතිනවද කියලා. ඔබ මලක් දිහා බලලා මේ මලක් කියලා හිතන්න. දැන් දිගටම මේ මලක් කියන සිතුවිල්ලෙම ඉන්න. ඔබ ධ්‍යාන ලබලා නැත්නම් ඔබට එය කල නොහැකි. නමුත් ඔබ උත්සහ කලොත් ඔබට හිතේවී හැම තිස්සෙම මගේ හිතේ තියෙන්නේ මේ මලක් කියන එකම සිතුවිල්ල කියලා. ඇත්තටම එතනදි වෙන්නේ ඔබට වෙන්කොට හදුනාගත නොහැකි වේගයෙන් එකම සිතුවිල්ලක් නැවත නැවත ඇති වීමයි. ඒකට හේතුව ඒ සිතුවිල්ලට හේතුව වෙනස් නොවිමයි. හරියට කියනවනම් එකම අච්චුවෙන් ගහන භාණ්ඩ දෙකක් වගේ. ඒවා සෑම අතින්ම සමාන වුනත් ඒ එකක් නොව දෙකක්මයි. අධි වෙගයෙන් කැරකෙන රෝදයක් කරකැවෙන බව නොපෙනෙන්නා සේ අපිට එකම සිතිවිල්ල බිදි බිදි නැවත නැවත ඇතිවන බව නොපෙනේ. මා සිතනවා දැන් ඒ ගැටලුවට විසදුමක් ලැබුණා කියලා.
 එහෙනම් අපි ඊළග ලිපියෙන් ලෝකයේ සංයුතිය ගැන සාකච්ඡා කරමු. පලමු ලිපි පෙල පිලිබද ඔබේ අදහස් යෝජනා චෝදනා ලියන මෙන් කරුණාවෙන් ඉල්ලන අතර මෙහි යම් දෝෂයක් ඇත්නම් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිමි.

Friday, July 1, 2011

මස් ගොබංචා පරමා ලාභා

නීරෝගී කම පරම ලාභය කියලා අප මහා බෝසතානන් වහන්සේ වදාළපිනා සේක නෙව. බොලාට කියන්න මොකද ඉතින් මගේ යාලු බුවෙක් ඉන්නවා ඇග නිකන් හේඩාරයක් වගේ. නිකං ඉදපිනා විටත් මස්ගොබ නෙරාපිනාලා ඇග නිකං කෑලි වලට බෙදලා වාගෙයි. අපේ නැගිණි නම් කියෙව්වේ "අර ඔයේගේ පිඹුරු යාලුවා" කියාලයි.
 දවසක් ඕං ලොකු බෑග් එයෙකුත් අරගෙන මූ කොයෙද යනවා. මං අහපිනා තෝ ගමේ යනවැයි ඇදුම් බෑගයකුත් අරගෙන. මූ කියපිනා නෑ බාං මං මේ ජිං යනවා. "මොකේ යනවා ජිං කිව්වා ආ හරි හරි අර ඇග හදාගන්න යන තැන. අප්පටසිරි බොල දැන් ගල් කඩන රස්සාවකට යන්නවත්ද ඇග පුම්බාගන්න යන්නේ " මාත් ඕං කටකහනවට වගේ ඇහැව්වා. ඒ පාර මූ කියපිනා නෑ යකෝ කොල්ලෙක් උනාම ඇග තියෙන්ඩ ඕනෑ, බලපං උඹේ හැටි උඹ දිහෑ කෙල්ලෙක්වත් බලයියෑ, උඹත් වරෙන් යන්න කියාලා. ඒ පාර මං කියාපිනා ඇග පෙන්නලා ගෑනූ ගන්න ඕනැන්නේ නැතෙයි ඔය වැඩේට නම් ඔයාකාර වියදම් දරාගෙන ඕක නඩත්තු කරන්නේ මොටෙයි කියාලා. එතකොට මූ කියාපිනා එහෙම නොවෙයි බාං කොල්ලෙක් උනාම ෆිට් බොඩියක් තියෙන්න ඕනෑ ඒක තමයි නීරෝගිකමේ සංකේතය.
 ඇන්නැවයි ඒ කයියට මට දෙකොනින් සිනා යන්ඩ ආවා. අනේ උගේ පිට් එක. විසාල සරීරයක් තිබ්බට ඕකා උදැල්ලක් ඇල්ලුවත් අතේ කරගැට දාපිනා. ඕකා දවසක් පින්නකට අහුවෙච්චි සතියක් උණ ගැනිලා හිටිය නෙව. මං ඉතින් මොනාත් කියන්ඩ ගියේ නෑ. එහෙනං ආරෝග්‍යා පරමා ලාභා නොවෙයි මස් ගොබංචා පරමා ලාභා කියලා හදාගනින් කියාලා මං එන්න ආපිනා.