Tuesday, October 28, 2014

115 සතිය

ලොව වඩාත්ම වේගවත් දේ වෙනස් වීමයි. අප පුදුම විය යුත්තේ යමෙකු වෙනස් වීම ගැන නොව නොවෙනස් වීම ගැනයි.

Saturday, October 25, 2014

අරවින්දගෙන්

කෙලෙසක හෙටදින ඵලබර වන්නද
මේ මල් දෙක එක ගසක දරා
කෙලෙසක ඔබහට පහදා දෙන්නද
එය රහසක් වී තිබෙන තුරා

දෛවයෙ සරදම් ලබනට අප ඇයි
මෙලෙසින් එකමග හමුවූයේ
හමු වූ මුල් දින අප සිත්තුල ඇයි
ප්‍රේමයෙ බිජුවට තෙත් වූයේ

දැරියක් වූවට ඉහලින් අග හිග
තිබුනලු ගෙයි වහලට බරවී
දෙතැනක වැඩුනත් ඔබමගෙ සොයුරිය
බව දැනගත්තේ මා පසු වී

Saturday, October 18, 2014

114 සතිය

ඔවුන්ගේ විශ්වාසවන්තභාවය පෙන්වීමට තව අවස්ථාවක් දෙන්න. නමුත් ඔවුන්ව විශ්වාස කරන්න එපා.

Sunday, October 12, 2014

මගේ කතාව 2 - පළමු පාසැල

ඒ් 1995 වර්ශයේ අාරම්භයයි. මටත් මා නිසා පවුලේ සියල්ලටමත් ගෙවන්නට සිදු වූ අදුරු කාලපරිච්ඡේදක අවසානයයි. ඒ වාගේම පස්චාත් යුද සමයෙහි අැරඹුමයි.මන්ද සැත්කම අවසාන වුවත් මසකට වරක් දෙවරක් වත් සායන සදහා කොළඹ ඒමට සිදුවිය.  ඒ වනවිට මගේ වයස අවුරුදු හය සම්පූර්ණ වීමට අැත්තේ තුන් මසක් පමණි. මා පාසලට අැතුලත් කල යුතුයයි මගේ දෙමව්පියන් සිතන්නට අැත්තේ ද ඒබැවිනි.

මා 1995 පළමු මස 10 වැනි දින 6108 වැනි සිසුවා ලෙස ගාල්ල කරණ්දෙනිය කණිටු විදුහලට අැතුලත් කෙරිණි. ඒ් මගේ පළමු පාසල වූ අතර ඒ පාසලේ උගෙනීමට ලැබුනේ අවුරුද්දක පමණ කාලයක් පමණි. ඒ් නිසාම ඒ් පාසැල ගැන අැත්තේ ඉතා කෙටිකාලීන මතකයකි. නමුත් ඒ මතකයන් මගේ සිතේ තදින් කා වැදී අැත.
සැමදා උදෑසන රැස්වීමට අප පෝලිම් ගැසී ගියහැටිත්, පාසලේ ස්වාමීන් වහන්සේ පන්සිල් සමාදන් කරවූ පසු මුල් ගුරුතුමාගේ දේශනය හා ඉන් පසු යෙදෙන ගුරු මෑණීයකුගේ හෝ ගුරු පියකුගේ දේශනයත් වැඩිහිටි ශිෂ්‍යයකුගේ කතාවත් අවසන් වනතුරු බිම පහුරු ගාමින් ද වටපිට බලමින් ද ලග සිටින සගයා සමග නොයෙක් දේ කරමින් ද සිටි හැටිත් මගේ මතකයේ තවමත් නොමැකී තිබේ.
ඉන්පසු පන්ති බාර ගුරුමෑණියන් අපට නොයෙක් දේ උගන්වයි. නමුත් මගේ මතකයේ අැත්තේ අෑ අපට අත්වැඩ ඉගැන් වූ හැටි පමණි. මම චූටිමම්මාගේ ද උපකාර අැතිව සාදාගෙන ගිය කාඩ්බෝඩ් ගෙවත්ත තවමත් මගේ මතකයේ අැත.
විවේක කාලය ළමුන් සෙල්ලමට යෙදුනත් මගේ අසනීප තත්වය නිසා මා බොහෝ විට කරන්නේ අරලිය ගසක් යට හිදමින් හෝ පන්ති කාමරයට වී ඒ දෙස බලා සිටීමයි. ඒළුවන් අැල්ලීම, ගස් මාරු කිරීම, බට්ටා පැණිම, අල්ලන සෙල්ලම් කිරීම හා හැංගි මුත්තම් කිරීම ඒ අතර වෙයි. අයියා නම් විවේක කාලය තුල  ගෙදරම්මා ගේ ගෙදර ගොස් සප්පායම් වී මටද යමක් රැගෙන පැමිණේ.
ඒ පාසලේ අමතක නොවන සිදුවීම් කීපයකි. ඉන් ඒකක් මෙසේය. පාසලේ වැසිකිලි පද්ධතිය පිහිටියේ මදක් අැතුලට වන්නට පිහිටි කදු ගැටයක් පාමුලය. දිනක් මම "මිස් මං පිස් කරලා ඒන්නම්" කියා මුත්‍රා කරන්නට ගියෙමි. ඒ යනවිට වැඩිහිටි සිසුන් කීප දෙනෙක් පාර හරස්කරගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියා. මට ඒතැනින් යාමට අැත්තේ ගසකට බරදී දකුණතින් ගස අල්ලා සිටින සිසුවකුගේ ඒ අත යටින් පමණි. මම ඔහුගේ අත යටින් ගියවිට ඔහු මාව නවතා ගත්තේය. " ඒයී ඔහොම ඉන්නවා, දන්නේ නැද්ද අතයටින් යන්න හොද නෑ කියලා. දැන් තමුසෙගේ ඔලුවේගෙඩියක් ඒවී." ඔහු ඒසේ කියා මා බියගැන්වීය. මම ද ඉන් බිය විමි. "ඒක නැතිකරගන්න අාපහු මගේ අතයටින් අනික් පැත්තට යනවා" යැයි ඔහු ගෝරනාඩු කලවිට මාද ඒසේ කලෙමි. මා ඒතැනින් ඉවත් වන විට ඔවුන් මහ හඩින් සිනාසෙනු අැසින. කෙසේ හෝ මා වැසිකිලිය අසලට යන විට සිසුන් කීප දෙනෙකු කණ්ඩිය උඩ පෙළට හිටගෙන තාප්පයට ඉහලින් පාර දෙස බලා සිටියා. මා ඒනු දුටු ඔවුන් "අා චූ කරන්න ද, ඒනවද අපිත් ඒක්ක වැඩිම දුර චු කරන කෙනා බලන්න" මගෙන් විමසීය. මම ද ඔවුන් හා ඒක් වී තාප්පයට ඉහලින් අැතට මුත්‍රා කලෙමි. නමුත් ජයග්‍රහනය හිමි වූයේ පාරින් ඒහා පැත්තේ තිබූ පදුර දක්වා අෑතට මුත්‍රා කල සිසුවෙකුට ය.
ඒ් වෙලාවේ පාරේ කිසිවකු හෝ ගමන් නොකිරීම නම් වාසනාවකි.    

Sunday, October 5, 2014

113 සතිය

යමක් නැති වීමෙන් ප්‍රතිඵලය නැති නොවේ නම් එය හේතුවක් නොවේ.

Friday, October 3, 2014

මගේ කතාව 2 - ඇරඹුම

මගේ කතාව කියවූ පාඨකයන් කීප පොලක්ම ඊට පස්සේ කුමක් උනාදැයි අපිට කියන්නෙ නැද්දැයි මගෙන් විමසී ය. නමුත් ඒ වන විටත් මා පැදුනු මිණිමුතු වීය ගිනිසිළු නම් කතාව ලියමින් උන් බැවින්ද නවකතා දෙකක් සමාන්තරව ලිවීම නුසුදුසු යැයි හැඟුන බැවින්ද එය පසුව ලියන්නෙමියි කියා පොරොන්දු විය.
 මගේ කතාව බොහෝ දෙනෙකුගේ ජිවිත හා සැසඳීමේ දී එතරම් විශේෂයෙන් දැක්විය යුතු කතාවක් ද නොවේ යන්න මගේ හැඟීමයි. කෙනෙකුට කියවාගතයුතු බොහෝ ජීවිත කතා ඇතිමුත් ඒවා අකුරු බවට පත් වී අප අතරට එන්නේ නැතිවීම කණගාටුදායක ය. කෙසේ වෙතත් ඕනැම කෙනෙකුගේ ජිවිතයකින් අපට ගතහැකි දේ බොහෝමයක් ඇත. ඒ නිසා මගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඔබට ඉදිරිපත් කිරීමේ වරදක් ද නැත.
 මෙම බ්ලොග් අඩවියට පැමිනෙණ මිතුරන් දෙස බැලිමේ දී, මුල් අවදියේ බොහෝ පිරිසක් ලංකා වාසීන් වුවද දැන් දැන් බොහෝ එක්සත් රාජධානියේ පාඨක පිරිස් පැමිනෙමින් සිටි. එයින් පෙනී යනුයේ ඔවුන් තම විවේක කාලය තමාගේ මව්බිමින් එන සුළඟ විදගැනීමට යොදවන බවයි. සමහර විට ඒ සුළඟ රළු වියළි සුළඟක් වුවද ඔවුන් එයට ආදරය කරන බවයි. සම්භාවනීය කෘතියක් නොවූව ද ඔවුන් මගේ බ්ලොග් අඩවියට පැමිනණෙන්නේ ඒ අදහස ඇතිවයැ යි මගේ හැඟීමයි. ඔවුන් වෙනුවෙන් යමක් ලිවීම ඔවුන් මව්බිමට දක්වන ආදරයට කරන උපහාරයක් යැයි ද මට හිතේ.
ඉහත සඳහන් සියළු කාරණා කරණ කොටගෙන මගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඉඩකඩ සැලසෙන පරිදි ලියා පළකල යුතුයැයි ඉටා ගතිමි. ඉතින් මෙතැන් පටන් ඒ මටවත් අර්ථකතනය කල නොහෙන මිනිසාගේ කතාව කියවා දෙන්නට අවසරයි.

ඔබේ ප්‍රතිචාරය මට උපකාරයක් වෙවා.      

Saturday, September 27, 2014

112 සතිය

මේ ලෝකේ අසාධාරණ කිසිවක් නැත.

Friday, September 26, 2014

කුමට ඇලුනි දෝ - කුමට බැදිනි දෝ

මසිත කුමට බැදුනා දෝ
මසිත කුමට ඇලුනා දෝ
රන් මිනි මුතු දියමන්තී
එක් වී නුඹ සැදුනා දෝ

ඔය නෙතු නිල් මිනි කැට ද නොවේ
නෙතු කදුලැලි දියමන්ති නොවේ
දා බිදු මිනි මුතු කැට ද නොවේ
හිස කේ රන් දම් රැසක් නොවේ

ඔය සම සැදි රන් පතක් නොවේ
මුව කමලෙන් මල්  සුවඳ  නො ඒ
දෙතොලඟ අම මී ගලා නො ඒ
නව දොර කස්තුරි පිරී නොවේ

Tuesday, September 16, 2014

111 සතිය

හෘදයසාක්ෂිය නිවැරදිකරු ලෙස පිළීගන්නා තෙක් අප නිවැරදිකරුවන් වෙමු.

Saturday, September 13, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු - පසු වදන

ඇත්තටම මං කිව්ව විදියටම “  පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කතාව මගේ කතාව ටත් වඩා වැඩි පාඨක පිරිසක් අතරට ගියා. මං හිතුවටත් වැඩියෙන් පිරිසක් ඒ කතාව වැළඳ ගත්තා. ඇත්තට ම තාත්තා ලියපු විදියටම ඒ කතාව ඉදිරිපත් කරන්න තිබුනා නම් මීටත් වඩා වැඩි ප්‍රතිචාරයක් ලැබෙයි.
තාත්තා සරසවියේ ඉගෙන ගන්න කාලේ ලියපු ඒ කතාව අවසානයේ “පළමු කොටස නිමියේ ය.“ කියලා තිබුනා. ඒ පොත කියවපු හුඟ දෙනෙක් දෙවැනි කොටස ලියන්න කියලා ඉල්ලලාත් කිබුණා ලූ. ඒත් තාත්ත කවදාවත් දෙවැනි කොටස ලිව්වෙ නෑ. නුමුත් තාත්තා ගේ හිතේ තිබිල තියෙනවා දෙවැනි කොටස මේ වගේ කියලා. ඒත් දැන් ඒකත් මතක නෑ. ඒ නිසා ඇත්තම “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 2“ ඔබ ට කවදාවත් කියවන්න බැරි වෙයි.
මං හිතනවා මා ලියූ මේ කතාවෙන් තාත්තා ගේ මුල් කෘතියට විශාල හානියක් නොවුනා කියා. ලැබුනු ප්‍රතිචාර වලින් ඒ බව සපථ වුනා. ඉතින් මෙතුවක් කල් “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කිය වූ සහ කියවා නිසඟ අදහස් දැක් වූ සියළු දෙනාට මාගේ හද පිරි කෘතඥතාව පළ කරමි.   

ඔබට ස්තූති යි!