මේ වන විට පටිච්ච සමුප්පාදය ගැන මූලිකව යම් අදහසක් ඇතිවන්නට ඇතැයි මා සිතමි. ඒ නිසා තව දුරටත් එය ගැඹුරින් සාකච්ඡා නොකර සරළව එය තේරුම් ගැනීමේ පහසුව සදහා උදාහරණ කීපයක් දක්වන්නට බලාපොරොත්තු වන අතර මෙය පටිච්ච සමුප්පාදය යටතේ එන අවසන් ලිපියද වේ.
අද වන විට මගේ බ්ලොගිය නැරඹු වාර ගණන 10 000ක් වීමත් සතුටට කාරනයක් වන අතර මේ අවස්ථාවේ මාව දිරිමත් කරන එම පිරිසට සතුට අනුමෝදනා වේවායි පතමි.
පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු ධර්මතාවයක් වුවත් ඕනෑම උගත් මට්ටමක් ඇති අයකුට වැටහෙන පරිදි උදාහරණ මගින් එය සරලව පැහැදිලි කල හැක. නමුත් මා විචිත්‍ර ධර්ම කතිකයෙක් නොවන නිසා ඒවාද ටිකක් තේරුම් ගැනීම අපහසු විය හැක. නමුත් හොද සතියෙන් යුතුව කියවන කෙනෙකුට තේරුම් ගතහැකි වේවි.
වතුරට එබෙන බල්ලා
වතුරට එබෙන බල්ලෙකුට උගේ රූපයම පෙනේ. මේ බල්ලා ඒ රූපය තවත් බල්ලෙක් යැයි වරදවා වටහාගනී. බල්ලා බුරන විට ඡායාමාත්‍ර බල්ලා ද බුරයි. එවිට බල්ලා තවත් කෝප වෙයි. මේ බල්ලා සිතන පරිදි ඡායාමාත්‍ර බල්ලා මා මෙතෙන්ට එන්න කලිනුත් ඉන්න ඇති, මා ගියාට පසුවත් ඉදීවී කියා රැවටී වෙනත් බල්ලෙකුට අතන පිටස්තර බල්ලෙක් ඉන්නවා යැයි පවසයි. ඒ දෙවැනි බල්ලා ද ගොස් ඒ බල්ලාගේ ඡායාවට රැවටෙයි.
නමුත් ඇත්තටම එතන වුනේ ඒ මොහොතේ හිරු එලිය, ජලයේ ඔපය, බල්ලා කියන කාරනා 3 නිසා ඡායාවක් හටගැනීමක් පමණයි. එහි ඡායාවට අතීතයක් හෝ අනාගතයක් නෑ. දැන් මේ බව දන්නා බුද්ධිමත් බල්ලෙක් එතන ඇති බල්ලෙකු නැති බවත් ජලයේ ඔපය නිසා හටගත් ඡායාවක් ඇති බවත් මේ බල්ලාට පැහැදිලි කරයි. දැන් මේ බල්ලා එසේනම් මා ජලයේ ඔපය බැලිය යුතුයැයි ජලයට එබෙයි. නමුත් ඒ බල්ලාට ඔපයක් නොපෙනී ඡායාවම පෙනෙයි. එයින් පැහැදිලි වෙනවා ඔපය තිබෙන්නේ වස්තුවක් නැති විට පමණයි. ඔපයට වස්තුවකින් එන ආලෝක කිරණ එකතු වීමෙන් ඡායාව හට ගන්නා බවත් තව දුරටත් එතැන ඔපය නැති බවත් තේරුම් ගතයුතුයි. ඒ වාගේ අපි මෝහය සහිතව කෙතරම් ලෝකය දෙස බැලුවත් යතා ස්භාවය වන ඔපය නොපෙනෙන බවත් යතා ස්භාවයට මෝහය එකතු වීම නිසා නිර්මාණය වන මන:කල්පිත ලෝකය වන ඡායාවම පෙනෙන බවත් තේරුම් ගත යුතුයි.
මිරිඟුව
මිරිගුව කියන්නේ ජලය සේ පෙනෙන වලාකුළු වල ඡායාව බව අපි දන්නවා. නමුත් මිරිඟුව ගැන අදහසක් නොමැති කෙනෙක් ඒ ජලය යැයි රැවටෙනවා. නමුත් එතන ජලය නෑ. ජලය එතන තියෙන්නේ අර මනුස්සයා ඒ දෙස බලනතුරු විතරයි. වෙනත් විදියකින් කීවොත් ඒ මනුස්සයට සාපෙක්ෂව එතන වතුර තියනවා. අපි කොච්චර නෑ කිව්වත් ඒ මනුස්සයා එහෙනම් ඔය පෙනෙන්නේ අහවල් එකක් ද කියමින් වාද කරනවා. නමුත් ඇත්තටම එතන ජලයවත් ඡායාවක් වත් නෑ. හොදට කල්පනා කරල බලන්න එතන සිද්ධ වෙන්නේ හිරු කිරණ වලාකුළු වල වැදිලා පරාවර්තනය වෙලා පොළවෙ වදිනවා. එච්චරයි. ඒතන ඡායාවක් වත් නෑ. නමුත් ඒ පොළවෙ වදින කිරණම මනුස්ස ඇසේ වැදිලා උත්තේජනයක් ඇති කරනවා. අන්න එතකොට අර මනුස්සයා තමන්ගේ දැනුමට අනුව එතන ජලය හෝ වළාකුලේ ඡායාව හෝ ඇත කියා මනසින් සංස්කාරයක් ඇති කරගන්නවා. නමුත් එහෙම දෙයක් එතන තිබුනෙත් නෑ ඇත්තෙත් නෑ. දකින මොහොතේ පමණක් තියෙනවා සේ පෙනෙනවා.
තවත් උදාහරණ දැක්විය හැකි නමුත් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැනින් නවතිමි. අප දැනගත යුතු කාරණයක් වන්නේ අපට පෙනෙන, ඇසෙන,දැනෙන, හිතෙන හැම දෙයකටම අපේ ඉන්ද්‍රියනුත්, මෝහයත් හේතු වන බැවින් ඒ හේතු නැති කිසිම අවස්ථාවක එනම් අතීතයේ හෝ අනාගතයේ ඒ දේවල් නැති බවත් ඒ සියල්ලම මනසතුල ගොඩනැගී ඇති සිතුවිලි මාත්‍රයයන් ම පමනක් බවත් ය.
ගැටළුවක් ඇත්නම් විමසන්න. ඔබට නිවන් සුව ලැබේවා !.
No comments:
Post a Comment