Sunday, June 7, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

ක්‍රියාව හා ශක්තිය 

මං කලිනුත් සදහන් කලා ක්‍රියාව හා ශක්තිය කියන්නේ දෙකක් නෙවේ එකක් කියලා. මොකද යම් ක්‍රියාවක්ම තමයි ශක්තිය ලෙස අපට විද්‍යාමාන වන්නේ. හෞතික විද්‍යාවේ උනත් ඒ දෙකම මනින්නේ ජූල් කියන එකම ඒකකයකින් සහ දෙකටම තියෙන්නේ එකම මාන. ඉතින් ශක්තියේ ස්භාවය තමයි ක්‍රියාවේ යෙදෙන එක. ඉතින් මේ ලෝකේ නිර්මිත වෙලා තියෙන්නේ ශක්ති පහකින්. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, විඥ්‍යාන කියන්නේ. කලින් ලිපිවල සඳහන් කලත් ඔබේ පහසුව පිණිස නැවත මේ එක් එක් ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය යම් පමණකින් හෝ මෙහිදී ද සඳහන් කරමු.

ආපෝ යනු ආකර්ශණ ශක්තියට අනුරූප ක්‍රියාවක්. එයින් ශක්තීන් එකතු කරනවා. එනම් අනෙක් හෞතික ක්‍රියාවන් තුන එක්කරනවා. ඒ වගේම ක්‍රියාවලින් දෙකක් උනත් එක් කරන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් තඹ කුට්ටි දෙකක් එකට තිබ්බට ඒ දෙක එක කුට්ටියක් වෙන්නෙ නෑ. නමුත් ඒ දෙක අතර ආපෝ ක්‍රියාව වැඩි කලොත් ඒ දෙක එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව කලොත්.
වායෝ යනු ප්‍රසාරණය කිරීමයි. ආපෝ වලින් එක් කරන ක්‍රියාවන් වෙන් කිරීම වායෝ ක්‍රියාවේ ප්‍රධාන ලක්ෂණයයි. සියළු වස්තූන්ට යම් ප්‍රමාණවත් බවක් (පරිමාවක්) ලැබෙන්නේ එබැවිනි. නැතිනම් සියළු ක්‍රියා එක් ලක්ෂයකට සීමා වේ.
පඨවි ක්‍රියාවනම් දැඩිබවක් කර්කශ බවක් ඇති කිරීමයි. අපේ ශරීරයට දැනෙන්නේ මේ ක්‍රියාවයි. 

 තේජෝ කියන්නේ ශක්තින්ගේ ක්‍රියාවේ ස්වරූපය වෙනස් කිරීම. මෙහිදි අවධාරණය කල යුත්තේ ස්වරූපය වෙනස් කිරීම යනු ඇති දෙයහි වෙනසක් කිරීම නොව ඉපැදෙන ක්‍රියාව නැවත ඒ අයුරින්ම ඉපැදීමට නොදී වෙනත් අයුරකින් ඉපැදීමට ක්‍රියා කිරීමයි. උදාහරණයකින් කියනවනම් මුලින් ඉපැදුනු ආපෝ ක්‍රියාව එකක් නම් තේජෝ ක්‍රියාව නිසා ඊ ළඟට උපදින ආපෝ ක්‍රියාව දහයක් විමයි. එහිදි කලින් හටගත් ආපෝ ක්‍රියාව දහගුණයක් වීමයැයි ගැනීම වැරදි ගැනීමකි. මන්ද ඕනෑම ක්‍රියාවක ඇත්තේ හටගෙන ක්‍රියාව සිදුකර එතැනම අවසන් වීම මිස ක්‍රියාවේ වේගය, ආකාරය, තරම වෙනස් කිරීමක් නොවේ.


හේතුව හා ඵලය

ලෝකය ගැන යම් අවබෝධයක් දැන් අපට ඇත. නමුත් මම ගැන සෙවීමට පෙර ලෝකයේ ක්‍රියාකාරීත්වය හෙවත් හේතු ඵල නියාය ගැන අවබෝධයක්ද ලබා ගැනීම සුදුසු යැයි සිතමි. හේතුව හා ඵලය ගැන කතා කරන විට අපට අතීත හේතූ වර්තමාන හේතූ යැයි දෙකක් අසන්නට ලැබේ.පටිච්ඡ සමුප්පාදයේ එන්නේ වර්තමාන හේතු බව ඉහත ලිපි පෙළ කියවූ අයටනම් වැටහීමක් ඇති යැයි සිතමි. නමුත් සාමාන්‍ය ලෝකයාට ඇත්තේ අතීත හේතු පිළිබඳ අවබෝධයකි. අතීතයේ සිදුවූ යම් ක්‍රියාවක් නිසා වර්තමානයේ ප්‍රතිඵලයක් ලැබේ යැයි ඔවුන්ගේ හැඟිමයි. එහි වරදක් නැතත් එහි යම් අඩුවක් ඇත. මන්ද අතීත හේතුවක් නිසා වර්තමාන ප්‍රතිඵලයක් ලැබේයැයි ගැනීමෙන් නැති දෙයකින් යමක් හට ගැනීමක් අදහස් වේ. මොකද අතීත ක්‍රියා කිසිවක් දැන් නොවේ නම් වර්තමානයේ ක්‍රියාවකට එය හේතුවක් වෙන්නේ කොහොමද? එය හරියට ගිය සතියේ කාපූ කෑමකට දැන් බඩපිරුණා කීම වැනිය. ඒ නිසා සෑම ක්‍රියාවකටම වර්තමාන හේතු තිබිය යුතුය. නමුත් අතීත හේතු නැතැයි ගැනීමද නොමඟ යැමකි. එසේනම් බුදුන් වහන්සේ කීයටවත් පෙර කල අකුසලයක් නිසා මෙය සිදු වී යැයි නොවදාළති. අපි එය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
කෝපි මලකට අනන්‍ය වූ සුවඳක් ඇත. නමුත් ඒ සුවඳ කෝපි ගසේ කිසිම කොටසක නැත. කෙනෙක් කෝපී ඇටයක් පැල කලා යැයි සිතමු. ඒ ඇටේ කෝපී මල් සුවඳ නැත. ඉන් හටගන්නා පැළයේවත් ඒ සුවඳ නැත. නමුත් එහි හටගන්නා මල පෙර මලෙහි තිබූ සුවඳම විහිදුවයි. එයින් රෝස මල් සුවඳක් වහනය නොවේ. මීට හේතුව පැලකල ඇටය කෝපී ඇටයක් විමයි ගැනීම වරදක් නැත. නමුත් ඇත්තටම නම් මලේ සුවඳට හේතුව මලේ ක්‍රියාවමයි. ඒ නිසයි මල නැසීමෙන් සුවඳ නැසිය හැක්කේ. නමුත් ඒ මලේ ක්‍රියාව රෝස මලේ ක්‍රියාවක් නොවී කෝපි මලේ ක්‍රියාවක්ම වූයේ එය කෝපී ගසෙහි හටගත් නිසයි. එනම් අතීත හේතුවයි.

හේතු ඵල දහම ගැන තවත් දැනගතයුතු කරුණක් ඇත. එනම් අපට කිසිම ක්‍රියාවක් සිදුවන්නේ කෙසේදැයි නොකිය හැකි අතර අපට කිව හැක්කේ එසේ වන්නේ ඇයි යන්න පමණි. නෙළුම් අලනම් කොපමණ කලක් ගියද මඩ හා ජලය ඇති විට පැල වෙයි. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි අපි නොදනිමු. එසේම අතීත හේතු වර්තමාන ක්‍රියාවන්ට බලපෑවත් එය වන්නේ කෙසේදැයි අපි නොදනිමු.

දැන් අපි භෞතික ලෝකය ගැන හුඟක් කරුණු දන්නා බැවින් දැන් මම ගැන සෙවීමට පහසුය. ඒ කොටසට යන්න මත්තෙන් මෙතෙක් සාකච්ඡා කල දේ ගැන යම් අදහසක් ගැටළුවක් ඇත්නම් දක්වන මෙන් ඉල්ලා සිටිමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !



2 comments:

  1. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙම ලිපි පෙළ ලියන්න පටන් ගත්තාට.

    ඔබ සතර මහා භූත රූප විස්තර කර තිබෙන අකාරය අප හිතාගෙන සිටින ආකාරයට වඩා බොහොම වෙනස්. නමුත් එය හරි විවරණයක් ලෙසද හැඟේ. මෙලෙස සතර මහා භූත රූප විස්තර කර ඇති මුලාශ්‍රයක් ඔබ භාවිත කලාද? එසේනම් එය කුමක්ද? නැත්නම් මෙම ධර්මතා ඔබට ගෝචර වුන ආකාරයද?

    කෙසේවෙතත් තවතවත් ලිපි මෙම මාතෘකාව ඔස්සේ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ඔබට පින්!

    ReplyDelete
    Replies
    1. මෙම විග්‍රහයන් මා සිදු කරන්නේ එක් මූලාශ්‍රයක් ඇසුරු කිරිමෙන් නොව මුලාශ්‍ර කීපයක්ම ඇසුරු කිරීමෙනි. වැදගත්ම දේ ධර්මය ඇසීමත් අසන ධර්මය නුවණින් විචාරය කිරීමත්ය. එහි දී තමා ඇසූ ධර්මය ලෝකයේ සිදුවන සිදුවීම් වලට ගලපා බැලීම ද වැදගත්.
      යම් ඇසූ ධර්මයක් හරියැයි හැඟුන පමණියන් එය විශ්වාස නොකලයුතු අතර ධර්මයේ මූලික න්‍යායන්ට ගලපා බැලීම ද කල යුතුය.
      ඔබට තව දුරටත් මා විස්තර කර ඇති කරුණු පිළිබද අධ්‍යනය කිරීමට යම් මූලාශ්‍රයක් අවශ්‍ය නම් අතිපූජ්‍ය රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමිපාණන් විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු“ යන ගන්ත්‍රය පරිශිලනය කරන්න. එහි මා සඳහන් කර ඇති කරුණු වලට පරස්පර බවක් ඇත්නම් සඳහන් කරන මෙන්ද ඉල්ලා සිටිමි.

      ස්තූතියි මා දිරිමත් කිරීම පිළිබඳව.

      Delete