Saturday, June 20, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4

දැන් මම ගැන මගේ විග්‍රහය සිදු කිරීම සුදුසු යැයි සිතමි. මෙතෙක් කල් සාකච්ඡා කල දේවල් මෙම විග්‍රහය තේරුම් ගැනීමට උපකාරීවන බැවින් නැවත නැවත එම කොටස් කියවා හොඳ අවබෝධයක් ලබාගෙන මෙම කොටස කියවන ලෙසද ඉල්ලමි.

මා කලින් සඳහන් කල පරිදි ලෝකය යනු කියාවලියන්ගේ ක්‍රියාවලියකි. හරියට අන්තර්ජාලය වැනිය. ඒ සියළු ක්‍රියාවලීන් සැදී ඇත්තේ මූලික ක්‍රියාවන් පහකින් බවද සදහන් කලෙමි. හරියට මේ සියළු දේ කරන පරිගණක ක්‍රියා කරන්නේ විද්‍යුත් ආරෝපණ ඇති නැති බව පමණකින් වාගේය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් හතර දන්නා බැවින් අපට සාකච්ඡා කිරීමට ඇත්තේ විඥාන ක්‍රියාව පමණි. ලෝකයේ මමය, සත්වයාය, ආත්මයය ලෙස බොහෝවිට හඳුනාගන්නේ මේ ක්‍රියාවයි. විඥ්‍යාන ක්‍රියාවනම් විජානනයයි. (විජානාති' ති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.) එනම් විශේෂයෙන් දැන ගැනීමයි. උදාහරණයකින් කීවොත් බොහෝ නම් ඇහෙන විට තමාගේ නම ඇසුනු විට ඒ මගේ නම යැයි විශේෂයෙන් දැන ගැනීමක් ඇත. මෙසේ නොයෙක් එවා අතුරින් එකක් දැන ගැනීම විඤ්ඤාණ (විඥාන) ක්‍රියාවයි. එය ඕනැම දැන ගැනීමක් විය හැකිය. සාමාන්‍යයෙන් දැන ගැනීම් හතරක් දැක්විය හැක. එනම් රූප දැන ගැනීම, වේදනා දැන ගැනීම, හඳුනා ගැනීම් (සංඥා) දැන ගැනීම, සිතුවිලි (චේතනා) දැන ගැනීම යි.

දැන් අපි ලෝකයේ මූලික ක්‍රියාවන් පහම සාකච්ඡා කල බැවින් ලෝකයේ සිදුවීම් විග්‍රහ කර ගැනීමට එම දැනුම භාවිතා කිරීමට උත්සහ කරමු. අපි පෙනීම සිදුවන හැටි මෙම ක්‍රියා පහෙන් විග්‍රහ කරගන්න බලමු. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් වල ක්‍රියාකාරීත්වය නිසා වර්ණ රූප හටගනී. එසේම එම මූලික ක්‍රියාවන් නිසා අතීත හේතු (අතීත හේතු බලපාන හැටි අප සාකච්ඡා කර ඇත්තෙමු. මෙහි අතීත හේතුව ද විඥාන වේ) ද උපකාරී වීමෙන් ඇසේ ප්‍රසාද රූපය ද හටගනී. මෙම වර්ණ රූප ද ප්‍රසාද රූපයෙහි ගැටුනු කල විඤ්ඤාණ (ක්‍රියා) පහක් ඇතිවේ.
එනම් ඇසේ වර්ණයක් ගැටුනා කියන රූපය දැනීම, ඒ ගැටුණු වර්ණය සැපය හෝ දුකය හෝ වශයෙන් වේදනාව දැනීම, ඒ ගැටුණු වර්ණය රතුය නිල්ය ආදී වශයෙන් සංඥාව දැනීම, වර්ණයක් දැක්කා බැලුවා ආදී වශයෙන් චේතනාව දැනීම, නැවත නැවත ඒ වර්ණය දකිමී යන කර්ම-ඵල දැනීම (ඊ ළඟ දැකීමට හේතුවන අතීත හේතුව ලෙස ඉහත සඳහන් කල විඥානය) යන පහයි.
දැන් දැකීම යන ක්‍රියාව සිදුවන හැටි පැහැදිලි ඇතැයි සිතමි. මෙසේ අනෙක් රස දැනීම, ශබ්ද ඇසීම, පහස දැනීම, ගන්ධ දැනීම හා සිතුවිලි පහලවීම යන ක්‍රියාවන් සිදුවන හැටිද වටහා ගත යුතුය. දැන් මම දකිමි, මම අසමි, වශයෙන් සිදුවන්නේ සිතුවිලි පහල වීම නම් ක්‍රියාවයි. අපට අතීතයක් තිබුනා, අනාගතයක් ඇතැයි සිතෙන්නේ අතීත හේතුවල බලපෑම නිසයි. උදාහරණයකින් කීවොත් කෝපී ඇටෙන් පැලයක් හටගත් පසු එම ඇටේ එහි නැත. ඉන්පසු ගස වැඩෙන්නේ පොළවේ, ජලයේ, වායුවේ ඇති සාරයෙනි. නමුත් අපි හැමදාම එයට කෝපි ගසක් යැයි නියනු මිස පොළවේ ගස හෝ, පස් වතුර වායූ ගස හෝ නොකියයි. ඒ අතීත හේතුව කෝපී ඇටයක් වීමයි. එසේ අපි ද ඉස්සරත් මං හිටියා දැනුත් මං ඉන්නවා යැයි කියයි. නමුත් අතීතයේ මගේ කිසිදු දෙයක් දැන් නැත. දැන් ශරීරය ඇත්තේ දැන් කන ආහාර නිසා මිස කුඩා අවදියේ කෑ ආහාර නිසා නොවේ. දැන් පහලවන සිතුවිලි ද දැන් ලැබෙන අරමුණු නිසා ඇතිවනවා මිස කුඩාකල ඇති වූ සිතුවිලි දැන් නැත. ඒ නිසා මම කියා කාලයක් පවතින දෙයක් නැත. නමුත් සම්මුති කතාවේ දී මම යැයි හැඳින්වීමේ ද දෝශයක් නැත.
මම ගැන මගේ විග්‍රහය අවසන්ය. යම් ගැටළුවක් ඇත්නම් හෝ අදහසක් ඇත්නම් සඳහන් කරන ලෙස ඉල්ලමි. ඊ ලඟ ලිපියෙන් අපහැදිලි ගැටළු සහගත තැන් පිළිබඳව ද අපි තවදුරටත් අවබෝධ කරගතයුතු කාරණා පිලිබඳව ද සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සුව ලැබේවා !    

2 comments:

  1. ඕවා ගැන ආගමික පැහැදිලි කිරීම් බොහොමයක් විද්‍යාව සමග සමපාත වෙන්නෙ නැහැ..නමුත් අපි අපිට ගැලපෙන කොටස් ටිකක් විතරක් සමපාත කරගෙන දගලනවා මෙන්න විද්‍යාව කලිං මේක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා කියලා..ඒක ඇත්තටම ආතල් එකට හොදයි..ඒත් දාර්ශනිකව ගත්තොතින් ඒක අමුම අමු මෝඩ වැඩක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඔබ මේ ගැන උනන්දුවීම සතුටට කරුණක්. ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.

      නමුත් මම මෙතැනදි බුදු දහමයි නූතන විද්‍යාවයි සමපාත කරලා බුදු දහම ඒ නිසා නිවැරදි කියන්න උත්සහ කලේ නෑ. ඔබ දන්නවා බුදු හාමුදුරුවො උනත් ගොවියාට කුඹුර උපමා කලා වගේ, සංගීතඥයාට වීනාව උපමා කලා වගේ, ගොපල්ලාට හරකා උපමා කලා වගේ විද්‍යාව පිළිබඳ දන්නා අයට විද්‍යාවේ කරුණු උපමා කිරීමක් තමා කලේ. මන් ද මට ගැටළුව යොමු කල පුද්ගලයින් පරිගණක විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අයයි. ඔවුන්ට විද්‍යාවෙන් උපමා ගැනීම යෝග්‍යයැයි හැඟුන නිසයි විද්‍යාවේ කරුණු උපමා කලේ.

      ඉදිරියටත් ඔබේ අදහස් අගය කරමි.

      Delete