අවසානයේ බයිසිකලය අපේ බාප්පා කෙනෙකුට ඉතා අඩු මුදලකට විකුණා දැමීමට තාත්තාට සිදු විය. අයියා තාප්පයෙන් පැනයන බව ආරංචි වීමත් සමඟ තව දුරටත් දොරගුළු දමායාම නිරර්ථක ක්‍රියාවක් බව පෙනීගිය බැවින්ද, බයිසිකලය විකුණා දැමිමෙන් පසු අපව පාසැල් වෑන් රථයකට යොමු කිරීමට සිදුවූ බැවින්ද අපට නිදහස හිමි විය. නමුත් අම්මා විසින් වෙනත් උපක්‍රමයක් යෙදවීය. උෟරාගේ මාළු ඌරාගේ පිටේතියා කපන්නා වාගේ නංගිගේත් මල්ලීගේත් ආරක්ෂාව අයියාට බාර දීමට අම්මා කටයුතු කළාය. “ඔන්න නංගිවයි මල්ලීවයි ඔයා තමයි බලා ගන්න ඕන. පාරට එහෙම පනින්න එපා. ගෙට වෙලා තුන් දෙනත් එක්ක අපි එනකන් ඉන්න ඕන හරිද?“, නිවාඩු කාලවල දී උදේට අම්මා අයියාට උපදෙස් දෙයි. නමුත් එය වඳුරකුට පූස් පැටව් බලාගන්න දීමක් වැනි විය.
අයියා රස්තියාදුවේ යාමෙන් සොයාගත් මිතුරෙක් විය. ඒ මලිත් අයියාය. මලිත් අයියා අපේ අයියාට ත් වඩා අවුරුදු කීපයකින් වැඩිමාලුය. ඔහු රජ අංකුට්ටෙකි. නමුත් අපිට නම් ඔහු රජවැඩ කාරයෙකි. අපේ අයියා රැගෙන යාමට ඔහු උදේ වරුවේම එන්නේ ය. අයියා ගමනට ලැස්ති වන තුරු මාවත් නංගිවත් පුදුම කරවන විදියේ විජ්ජාවක් කරන්නේ හෝ කතාවක් කියන්නේය. විටෙක ඔහු වතුසුද්ද ගසෙන් පොහොට්ටු දෙකක් කඩාගනී. අපේ ගෙදර වම්පැත්තේ මුල්ලට වන්න වතුසුද්ද මල් ගසක් විය. එසේ කඩාගන්නා පොහෝට්ටු දෙකෙන් අර්ධය බැගින් ඔහු කටෙදමාගෙන ඉතිරි බාග දෙක විසිකරයි. කටේ ඇත්තේ බාග දෙකක් බව දිව ඇද පෙන්වන ඔහු කට වසා තත්පර කීපයක් ගත කරයි. ඉන් පසු කටින් එළියට ගන්නේ සම්පූර්ණ මල් පොහොට්ටුවකි. මෙවැනි විජ්ජාවල් කීපයක්ම ඔහු කර පෙන්වීමට සමත්ය. විටෙක ස්ටෙප්ලර් කටු අතේ ගසාගෙන පෙන්වයි. ඔවැනි දේවල් වලින් අපේ සිත් දිනා ගත් ඔහු අපිට වීරයෙක් විය.
අයියා ඔහු සමඟ රස්තියාදුවේ ගොස් කුමක් කරනවාදැයි අපි නොදනිමු. නමුත් එක් දවසකට අයියා හවස ගෙදර එන්නේ සරුංගලයක් අතැතිවය. තවත් දිනක බැට් එකක් බෝලයක් රැගෙන එයි. එක් දවසක් ඔහු ගෙදර ගෙන ආවේ මාළු ටැංකියකි. ඉන්පසු දිනක එයට ගප්පි වගයක් ගෙනැවිත් දැමීය. ඔහු මලිත් අයියා සමඟ ගප්පි අැල්ලීම සඳහා වෙලේ යනවායැයි කියා යන්නේ ය. මේ හේතුවෙන් හැමදාම වාගේ රාත්‍රියට අයියාට දෝස් මුරය ලැබෙයි. ඒ අම්මාගෙනි. “තෝ ඔය මල්ලි නංගි බලා ගන්නහැටි නේද?“. මෙසේ කෙතරම් බැන්නද ඒ සියල්ල බීරි අලියාට කරන විනා වැයිල්ලක් විය. අවසානයේ අම්මා වේ වැලක් ද ගෙනැවිත් තැබුවාය. නමුත් එය දිනකට දෙකකට වඩා ප්‍රයෝජනයට ගැනිමට නොහැකි වෙයි. එක්කෝ අයියාට තලන විට ඉන් ආරක්ෂා වීමට බිත්තියකට මුවා වන විට වේ වැල බිත්තියේ වැදී කැඩී යයි. (සමහර විට ඕනැ කමින්ම අම්මා බිත්තියට ගැසුවා ද විය හැක.) නැතිනම් අයියා විසින්ම එය කඩා දමයි. එවැනි දවසකට අම්මා අතට අසුවන කොස්සකින් හෝ පුටුවකින් හෝ අයියාට ප්‍රහාර එල්ල කරයි. නමුත් ඒ එකක්වත් ඉලක්කයට ගසා ගැනීමට අම්මාට නොහැකි වෙයි. බොහෝ විට අයියා දුවගොස් සැඟවෙන්නේ ගෙයි දකුණු පැත්තේ පිහිටි තාප්පයත් බිත්තියත් අතර පිහිටි දොරුව අස්සේ ය. එ දොරුවට රිංගීමට අයියාටද හැක්කේ හරස් අතටය. එතැනට රිංගූ විට සියලු ආරක්ෂාව අයියා ට ලැබෙන්නේ එබැවිනි.
දිනක් සුපුරුදු පරිදි දෙමව්පියන් ගෙදර පැමිණි විට ගෙදර සාමකාමී තත්වයක් තිබිණි. ටිකක් කලුවර වැටීගෙන එනවිට මී පැටව් හඩන සද්දයක් ගෙයි ඇතුලෙන් ඇසෙන්නට විය. තාත්තා අයියා දෙස බැලීය. “ඒ පාර ආයෙත් මී පැටව් ඇති කරන්න පටන් ගත්තද?“ තාත්තා එසේ ඇසුවේ වතාවක් අයියා ගෙයි වහලයෙන් බිමට වැටුනු මී පැටව් වගයක් ලාච්චුවේ දමාගෙන ඇති කරන්නට උත්සහ කල බව සිහි විමෙනි. “නෑ තාත්තේ, මීයෝ නෙවේ. ඒ කුකුළු පැටව්.“ අයියා නිල්පාට කහපාට කුකුළු පැටව් වගයක් මේස ලාච්චුවට යටින් තිබූ කබඩ් එකේ දමා තිබුනේ ය.
නියමයි....
ReplyDeleteස්තූතියි !
Deleteමේ අයියනේ..............අනෙකාගෙ වැඩ කොහොමද
ReplyDeleteඅනෙකා අන්තිම අහින්සකයි :D
Deleteඔහොම අයියා කෙනෙක් ඉන්නො මටත්
ReplyDeleteBe Care !
Delete