Thursday, May 24, 2018

අවනඩුව

නිදි යහන මත මාව පෙලනා නියා නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා පවසන්න මේ හැටිම සිතුමන් තියා
සිහිල් මද පවනැල්ල සේ ඵන්න ආසයි ඇවිත් ඔය කෙහෙරැල්ල නලවන්න ආසයි ඉර නැගෙන අරුණැල්ල හා එන්න ආසයි ඔබේ ලඟ සෙවනැල්ල වී ඉන්න ආසයි
මුව කමල ඇහිපිල්ල යට රැඳුණු ගානයි මද කොමල හසරැල්ල තුන් රැයෙහි පායයි මට රැයෙහි සැනසිල්ල ලැබ ගන්න බෑමයි මගේ මේ පැමිණිල්ල මල්සැව්ට බාරයි

Friday, March 23, 2018

සිනිඳු මල් පෙත්තක් ගැටී

සිනිඳු මල් පෙත්තක් ගැටී 
මගේ හද තැලුනා 
සෞම්‍ය සඳ කිරණක් වැදී 
මගේ හද දැවුණා
 
සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ 
සොමි සඳ කිරණට මේ හැටි හදවත අවුලන්නට හැකිදෝ
 
සුසිනිඳු මල් පෙති මේ හැටි රළු යැයි අදහන්නේ කවුදෝ 
සොමි සඳ කිරණය මේ හැටි සැර යැයි පිළිගන්නේ කවුදෝ
 

200 සතිය

ආදරය ප්‍රකාශ කිරීමට බය වන්නේ ආදරය කරන්නා නොව පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්නාය.

199 සතිය

කවදාවත් අපි අකමැති දේවල් සිදු නොවන ලෝකයක කුමට අනාගතය ගැන බිය වන්නද?

198 සතිය

වේදනාව දුකක් නොවේ, දුක් වීමනම් වේදනාවකි. වේදනාවට අකමැති වීම ද දුක ඇති වීමට හේතු වේ

197 සතිය

අපේ අරමුණ කුමක්දැයි දැන ගැනීමට අප කරන ක්‍රියාවන් කරන්නේ ඇයිදැයි විමසන්න. එවිට යමක් ලැබීමට නම් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. වෙනත් දෙයක් ලැබීමට නම් නැවත නැවතත් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. අවසානයේ එකම පිළිතුරම නැවත නැවත ලැබෙයිනම් ඒ අපේ අරමුණයි.

196 සතිය

යමක් කලහැක්කේ උත්සහවන්තයාට පමණයි. නමුත් සෑම උත්සහයක්ම සාර්ථක නොවිය හැක.

195 සතිය

යමක් ලැබීමෙන් පංචේන්ද්‍රිය සංතෘප්ත කල හැකිනම් ඒ දේ ලැබීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවිය යුතුය.

194 සතිය

මරණය පිළිබඳ සිහියෙන් සිටීම තරම් සතුටින් සිටීමට හැකි උපක්‍රමයක් නොදකිමි. අම්මා, තාත්තා, පෙම්වතා, පෙම්වතී කොයිවේලේ හෝ මැරෙණ බව හා සියල්ල මරණයෙන් අහිමි වන බව නිතර සිහිකිරීම තරම් සිත සැහැල්ලු වන ධර්මතාවක් නොදනිමි.

Wednesday, December 27, 2017

ආදරය හා ප්‍රේමය

ආදරය ද මල් උයනකි 
මුලු ලෝකෙම සුවද කරන 
සතර දෙසින් එන ජනයා 
ඒ සුවඳින් මුසපත් වන
 
මල් සුවඳින් සුවද කවා 
වෙළදපලක විකිණී යන 
විලවුන් බඳුනකි ප්‍රේමය 
එක් මිනිසෙකු මත තැවරුණ

Tuesday, October 24, 2017

193 සතිය

ඕනෑම සංකල්පයක්  තම යහපතට යොදා   ගැනීමට අප දක්ෂ විය යුතුය. අඥානයාට ලැබුනු පිහිය ඔහුට මෙන්ම අන් අයට ද අනතුරක් කරයිග

Tuesday, September 26, 2017

මෙතෙක් මට අවනතව සිටි සිත



මගේ සිත දුවනවා
නුඹේ ලඟ රැඳෙනවා
නුඹම ගැන කියනවා
කියා මා පෙළනවා

මෙතෙක් මට අවනතව සිටි සිත
මගේ ලඟ මා තබා ගත්තද
ඉඩක් ලද විට දුවයි ඔබ වෙත
කිමද ඔබ කල අරුම කිව මැන

දහක් තරු දැක නොපිපි සියපත
හිරු සදිසි කල පිපී එන ලෙද
නොයෙක් කම් සැප ලදත් මේ සිත
ඔබ වෙතම ඉගිලෙනා අරුමය
 

Monday, September 25, 2017

192 සතිය

ජාත්‍යාන්ධන්ට දියමන්ති පෑමෙන් එහි වටිනාකම ඔවුන්ට නොතේරේ. ඌරන්ට රසමසවුලු දුන්නත් අසූචි තරම් නොවටී. එසේම කෙලෙස් වසඟයට පැමිණි පුද්ගලයා ධර්මයෙහි වටිනාකම තේරුම් නොගනී

Thursday, September 7, 2017

191 සතිය

යමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.

Tuesday, August 29, 2017

අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්

කලල් ගොඩක් මැද තිබිලා            ලැබූවත්
මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත්
කියනා කෙනා  නුහුගුණයෙන්       කියූවත්
අර්ථය ලබයි බණ නුවණින්      බැලූවොත්

ධර්මය කියා දෙන අය ගරහන්න             එපා
බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න        එපා
අනුවණ කමින් පව් සිදුකර ගන්න           එපා
පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා

ධර්මය රකින අය ධර්මෙන් රැක       ගන්නේ
ලැජ්ජා භය නිසයි ලෝකය         පවතින්නේ
නුවණින් සිතා මැන කටයුතු       කරගන්නේ
දෙලොවවට වැඩ සදන සේ දිවි ගෙවපන්නේ

Thursday, July 27, 2017

මුහුණු පොතේ කවියක් ලියා

මුහුණු පොතේ කවියක් ලියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා

කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා

මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියා

190 සතිය

රූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.

Monday, June 26, 2017

මාගේ මරණය සිදු උනා

මා දමා ඈ ඉගිල ගිය දා
                මාගේ හදවත නැවතුනා

මාව අපලේඛණය කල දා
                මාගේ මරණය සිදු උනා

 සොයා මා ඈ  ආව දිනකදි 
                මාගේ හද යලි ගැහේ වී

ඇගේ සිනහව දුටුව දිනකදි
                   යලිත් මා පණ ලබාවී



Tuesday, June 6, 2017

189 සතිය

අප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි.

Friday, May 26, 2017

නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්

සඳට එහා හිරුට එහා 
මට නොපෙනෙන ඈත රටක 
නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
 
නීල පළිඟු මුතු අතුරා 
ඒ මත යහනක් කරවා 
පුළුන් වලා සේද මතින් 
නුඹ සැතපේ නම් 
පන් පැදුරක සීත රැයක 
මා සැනසෙන්නම්
 
බෝ සත් ගුණ සිත පුරවා 
නුඹ අසලින් හිඳින නුරා 
සඳ කිඳුරකු ඔබ සනහා 
සෙවන සදයි නම් 
මං තනිකඩ කුරුළු රජකු 
සේ සැනසෙන්නම්