Thursday, September 19, 2013

69 සතිය

නැතිවීමේ දුකත් බයත් ආශාවේ ප්‍රමාණයට අනුලෝම වේ.

Saturday, September 14, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 13

“ජයසිංහ මුදලාලී නම් නෑ. ප්‍රේමදාස මුදලාලී නම් ඉන්නවා. මොකෝ නංගි කානූවක් කපා ගන්නද? පොළව මට්ටම් කර ගන්නද?“ ප්‍රේමදාසයා කෑ ගහල ඇහුවා.
“අනේ පලයන් මහත්තයො යන්න මගෙන් මුකුත් නාහ“ ඈ ප්‍රේමසදාසයට බැණ අඩගැහුවා.

ඈ ඇද හිටියේ කලු සායකුත් අළු පාට හැට්ටයකුත්ය. හැට්ටයට උඩින් තවත් රතුපාට බැනියමක් ඇදගෙන හිටියා. ඒකේ පිටිපසිනුත් ඉදිරියෙනුත් ‘ස්ටාර් සර්විස්‘ යනුවෙන් සදහන් කර තිබුනා. එයින් ඇය ස්ටාර් සර්විස් ආයතනය මගින් කන්ට්‍රැක්ට් බේසිස් නගර සභාවට අනුයුක්ත කල කෙනෙක් බව දැන ගත්තා. ඒත් ඇය අපේ මහත්තයා හොයන්නේ මොකටෙයි කියලා මට කුකුසක් තිබ්බා. ඒ නිසා මං ඇහුවා
“මුදලාලි මහත්තයා අද මෙහෙ එන්නෑ. මක්කටෙයි මුදලාලී මහත්තයා හොයන්නේ?“ කියලා. ඊට පස්සෙ ඈ මා දිහා ටිකක් වෙලා බලන් ඉදලා කිව්වා “ අනේ මහත්තයා ජයසිංහ මුදලාලිට කියනවද ඩෙල්සි නොනා හම්බුවෙන්න කිව්වා කියලා“ .  ඊට පස්සෙ “හා මං කියන්නම්“ කියලා මං කිව්වම මාත් එක්ක හිනා වෙලා නැවතත් අනිත් උන් දිහාට විරිත්තලා ඉදලත් අද්දව අද්දව යන්න ගියා. කොල්ලො ටික ඈට හූ තියමින් කෑ ගැසුවා.

ඈට ඉතා සුරූපී ඇග පසඟක්  තිබූ බව ඇත්තය. නමුත් රස්සාවක් තියෙද්දි මොකටද ගණිකා වෘත්තිය කරන්නෙ? කාම තණ්හාවත් මුදල් තණ්හාවත් නිසා ස්ත්‍රීන් තම ඇඟ විකුණාගෙන කෑමට තරම් පහතට වැටෙන්නේ ඇයිදැයි ඒ වෙලාවේ මට හිතුනා. ඒත් ඇත්තටම ඈ ගණිකාවක්ද කියලත් සැක හිතුණා. “ඇත්තටම ඒකී වෙසගනක්ද බාං “ කියලා මං ඇහැව්වා. “ඔව් බං ඔව්, එකී වේසියක් තමා. බොරුනම් ලොක්කගෙන් අහාල බලහං“ කියලා ජයේ කිව්වා.

ඈ කවුරු උනත් ලොකු මහත්තයට නිග්‍රහ කරපු එකට නම් මට තරහ ගිහිල්ලයි තිබුනේ. “අනේ අපේ මුදලාලි මහත්තයා රත්තරන් මනුස්සයා. කන්න දෙන අත හපාකන්න එපා බාල්ලා“ කියාගෙන මං එතනින් නැගිටලා එන්න ආවා.

මං එදා රෑ නිදාගන්න යනකොට හවස වෙච්චි සිද්ධිය නැවත මතක් උනා. ඇත්තටම ඇගේ නියපොතු වවා රතු වර්ණ කර තිබූ බවත් තැන තැන දූවිලි වැදී අවපැහැගැනුණූ සමට යටින් දිලිසෙන රන්වන් සමක් තිබූ බව හැට්ටය අතරින් මා දැකගත් බවත් මතක් උනා. මට ඈ ගැන ඇති වුනේ පිළිකුලක්. කෙනෙකුට මේ මගේ අම්මා, සහෝදරී, දුව කියල කියන්න බැරි රස්සාවක් මොකට කරනවාද. ඔවුන් ගැන විතරක් නෙවේ ඔවුන්ගෙන් පහස ලබන්න යන කාමාතුරයන් ගැනද මට තිබුනේ පිළිකුලක්.

කොහොම හරි එදා මුදලාලී මහත්තයා මොකක්හරි හේතුවක් නිසා ගෙදර නොසිටිය නිසා පණිවිඩය කියන්න බැරි උනා. ඊට දවස් දෙකකට විතර පස්සෙ හවස් වරුවක මහත්තයා මගෙන් වැඩකටයුතු හොදින් කෙරීගෙන යනවාදැයි විස්තර කතා කර කර උන්නා. ඔය වෙලාවේ මට ඒ සිද්ධිය මතක් වෙලා ඒ ගැන මහත්තයට කිව්වා.
“ආ මහත්තයාට මට කියන්න අමතක වුනානෙව. කවුද නගර සභාවේ වැඩ කරන ගෑනූ කෙනෙක් ඇවිත් මහත්තයාව ඇහැව්වා පෙරේදට පළමු දා හැන්දෑවේ. මං නැතෙයි කියෙව්වම මහත්තයට ඩෙල්සි ද ඩල්සි ද කියලා නෝන කෙනෙක් හමබ වෙන්න කියන්නෙයි කිව්වේ“.
ඒක කිව්වා ගමන් මිනිහගේ මූන ඇඹුල් වෙලා ගියා. ආයේ අමාරුවෙන් හිනාවක් දාලා, “ආ ඔව් ඔව් ලියුමක් තියෙනවා ගිහින් දෙන්න“ කියලා කිව්වා.    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/14.html

Monday, September 9, 2013

68 සතිය

අපිට අපි කැමති විදියට අපව පාලනය කල හැකිනම් අපිට අපි කැමති විදියට අපි කැමති කෙනාව ද පාලනය කල හැකිය.

Saturday, September 7, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

යතාර්ථය හා විමුක්තිය කියන්නේ එකක් ද? දෙකක් ද? මේ ගැටළුවට පිළිතුරු දීමට නම් යතාර්ථය හා විමුක්තිය කියන දෙක තෝරා ගතයුතුයි. යතාර්ථය කියන්නේ මොකක් ද කියන එක කලින් ලිපියේ සදහන් කලා. කෙටියෙන් කියනවනම් යතාර්ථය කියන්නේ ලෝකයේ ඇත්ත තත්වය සහ පැවැත්ම සිදුවන ආකාරයයි. නැත්නම් මේ ලෝකයේ අපට විශය වන දේවල් වන්නෙ ඇයි මොකක්ද හේතුව කියන කාරණයයි .

එතකොට විමුක්තිය කියන්නෙ මොකක් ද? ඕනෑම ආගමක මූලික පරමාර්ථය වන්නේත් මේ විමුක්තිය ලබා ගැනීමයි. එහි වචනාර්ථය ගත්කල එන්නේ නිදහස් විම යන්නයි. මොකෙන්ද නිදහස් වෙන්නෙ, දුකින්. එතකොට මේ ලෝකේ දුක බව (ත්‍රිලක්ෂණයේ එන දුක නෙවේ) ඕනෑම ආගමක් අදහන කෙනෙක් දන්නවා. එතකොට ඒ දුකින් නිදහස් වී සදාකාලික සැපයට පත් වීමට කියනවා විමුක්තිය ලබනවා කියලා.

එහෙනම් පැහැදිලි වෙනවා යතාර්ථය හා විමුක්තිය දෙකක් බව. එතකොට අපිට ගැටළුවක් එනවා විමුක්තිය හා යතාර්ථය දෙකක් නම් ඇයි අපි විමුක්තිය ලබා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකර යතාර්ථයක් හොය හොය යන්නේ (මේ ගැටළුවම ඩීප් මාළු යාලූ ටත් ඇවිල්ලා තිබුණා) කියලා.

හැම ආගමකම තියෙනවා විමුක්තිය ලැබීමේ මාර්ගයක්. හැබැයි ඒ එකකට එකක් වෙනස්. එතනදි ගැටළුවක් එනවා දැන් කොයි මාර්ගයද හරි කියලා තෝරගන්න. අන්න එතනදි අපට සිදුවෙනවා මං මේ මේ ආගමේ, ඒ නිසා මේක තමයි හරි කියන රාමුවෙන් එලියට ඇවිල්ලා ඇත්තටම මේ දුක මොකක්ද, ඇයි මේ දුක ඇතිවෙන්නේ කියලා සොයා බලන්න. නමුත් අපිට ඒ තරම් නුවණක් නැති නිසා අපට කල හැක්කේ එක් එක් දේශනා අරගෙන ඒවා යතාර්ථයත් එක්ක ගැලපෙනවද කියලා හොයල බලන එකයි.
උදාහරණයක් කිව්වොත් අපිට බඩගිනි වෙන්නේ බඩේ පණූවොන්ට කන්න ඕන නිසාද? ( පොඩිකාලේ කියන්නෙ එහෙමනේ)  නැත්නම් ඒක දෙවියන්ගෙ කැමැත්තද?  ,නැත්නම් යක්ෂ බලවේගයක් නිසාද? එහෙමත් නැතිනම් බඩේ තියෙන පිත( ආම්ලිකතාව)  නිසා ආමාශයේ ඇතිවන දැවිල්ල නිසාද? නැතිනම් හැමදාම කාලා කාලා කන්න නැතිඋනාම හැදෙන මානසික රෝගයක් ද?
මෙන්න මේ වගේ එකින් එක අරගෙන බලලා හරියටම දැන ගන්න ඕන. එතකොට ඒ නිවැරදි පිළිතුර ලබා දීල තියෙන්නේ කොයි ශාස්තෘන් වහන්සේද?  කියලා දැනගන්න පුළුවන්.

ඒ මං දැක්වූ වේ යතාර්ථය දැන ගැනීමේ එක් ප්‍රතිඵලයක් පමණයි. නමුත් විමුක්තිය ලැබීමට මෙහා යතාර්ථය දැන ගැනීමේ වාසී රාශියක් තියෙනවා. ඒ වාසීත් සමඟම යතාර්ථය දැනගැනීමෙන් විමුක්තිය ලැබේද? යන ගැටළුවටත් ඊළඟ ලිපියෙන් පිළිතුරු ලබා දෙන්නම්      

ඔබට නිවන් සුව ලැබේවා!   

Sunday, September 1, 2013

ආදරයේ නාමයෙන්

මේ ලඟදි දොහක අපෙ අම්මා කියාපිනා “ඈ බං හිච්චි එකෝ දැන් දැන් උඹට විසි හතරත් ඉවරයි, තව නැද්ද ගෑනූ ලමිස්සියක් හොයා ගත්තේ“ කියාලා. ඉතිං මං ඇහැව්වා “හිච්චි එකාලාට මොකටෙයි ගෑනූ“ කියාලා.

ඒක නොවෙයි මං මේ කියන්ට හැදුවේ. මං ඒත් ඒ වෙලාවේ කල්පනා කොලේ ඇත්තටම දෙමවිපියෝ මක්කටද මේ දරුවෝ විවාහ කොරල දෙන්න මෙච්චරටම වලිකන්නේ කියාලා. ඒ අයගෙන් ඇහැව්වම නම් කියන්නේ “උඹ තනියෙන් දුක් විදිනව බලන්ට අපට බෑ“ නැත්නම් “උඹ ගෙදෙට්ට නාකි වෙන්ට දෙන්න ඇහැක්යෑ“ එහෙමත් නැතිනම් “ උඹ තනිවෙන්ට දාලා අපි කොහොමෙයි නිදහසේ ඇහැ පියා ගන්නේ“ වගේ දේවල්නේ. ඒ කතා වලින් නම් අපට දැනෙන්නේම අපිට ආදරේට බන්දන්ට හදනවායි කියාල නෙව. හැබැයි ඕං සමහර මව් දෙමව්පියොනම් කෙලින්ම කියනව “අපිට ඇහැක්යෑ තවත් තොපිලව රක්ෂා කොරන්ට, බොලාගෙන් නිදහස් වෙන්ට එපැයෑ“ කියලත්. ඒත් ඉතින් රස්සාවක් නැති ගෑනු ළමයෙක්ට නෙව එහෙම කියන්ට පුලුවන්.

ඔය කොයිහැටි වෙතත් සමස්තයක් වසයෙන් බලාපිනාම ආදරේට නොවැ ළමයි සරණපාවා දෙන්නේ. අපි අනෙක් අය පැත්තට දාමූ. බෞද්ධ ඕනෑම කෙනෙක් දන්නව නෙව බැදීම් දුකක් කියලා. එහෙම බලාපිනාම අපෙත් මව් දෙමව්පියෝ ආදරෙටනේ කියාලා අපිව දුකටනෙව දාන්ට යන්නෙ. කොයි දෙම්ව්පියෝද කියන්නේ “ඇයි දරුවො පෙන්නැද්ද මේ බැදීම් නිසා නේද දුක ඇතිවෙන්නේ, ඒ හන්දා බදින්න නම් එපා. පේන්නැද්ද අපි මේ බැදලා දරුවෝ හදන්නයි, වාහේ සතුටු කොරන්නයි විදින වදයක්. උඹ ගෙහුං මහණ වෙලා සසර දුකින් එතෙර වෙයං මයෙ පුතේ“ කියාලා. දැන් ඉතින් බලාගෙන ගියාම දෙමව්පියොත් ආදරේ නාමයෙන් ළමයි දුකටනෙව තල්ලු කොරන්නේ.

අනෙක් කාරණාව තමා ඔය ආදරවන්තයෝ මක්කටද ආදරය කරන ඇයොම බදින්න හදන්නේ. අම්මාපල්ලා මං නම් කියන්නේ තරහකාරයෙක්ම තමා බදින්ට ඕනෑ. මොකොද එතකොට බැරියෑ, ගෙදරදොරේ වැඩ, ළමයින්ගෙ වැඩ පඩියක් නොගෙවාම කොරගන්න. නෑ මං අහන්නෙ කොයි වාහෙද කියන්නෙ, “අනේ මං උඹට පනවගේ ආදරෙයි, උඹ මහන්සිවෙනවා දුක්වෙනවා බලන්ට මට වාවන්නෑ. ඒ නිසා උඹ මනාප විදියට හිටපන්, මං ඔක්කොම වැඩ කොරඤ්ඤං“ කියාලා.

බලාගෙන ගියාම බොහොමයක් ඈයෝ කොරන්නේ ආදරෙයි කිය කියා තමන්ගෙ වාසිය, ආසාව ඉස්ට කොරගන්න බලන එක තමා.

ප.ලි.- මේ ලෝකේ තියෙන කාම සැපයන් අතරින් ලොකුම සැපය ලිංගිකව එකතු වීම කියනවනෙව. ඉතින්            එහෙව් එකේ තරුණ ළමයි බන්දලා නොදුන්නොත් ඕකුන් දෙමව්පියන්ටත් සාප කරනව නෙව. ඒ              හින්දා සුදුසු කල්හි ආවාහ විවාහ කොරල දෙන එක මව් දෙමව්පියන්ගේ යුතුකමක්. ඒත් බලෙන්                     බන්දල දෙන එකනම් පාපයක්.    

Thursday, August 29, 2013

67 සතිය

මධ්‍යම ප්‍රතිපදාව යනු දුකෙහිත් සැපයෙහිත් 50% බැගින් වූ එකතුවක් නොවේ.

Tuesday, August 27, 2013

අසරණකම

ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස මට දෙන්නට බැරිනම්
කෙලෙසක පවසමි ඔබට ආදරෙයි ඔබ සතුටින් නැතිනම්
මා නැතිමුදු ඔබ සතුටින් බව මට ඉදුරා කිව හැකිනම්
මිතුරෙකු ලෙස මම ඉන්නම් ඔබ ලග සගවා පෙම් හැගුමන් //

මගේ කැදැල්ලට කැදවාගෙන ඔබ
ආවත් දින මතුයම්
නෙතගට නුඔගේ නැගුනොත් කදුලක්
වාවනු බෑ මටනම්

ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස.../

ඔබ සැනහෙනු මැන ඔබ නැලවෙනු මැන
මගෙ හදවත දෙන්නම්
හදවත පුද දී ඔබහට මේ ලෙස
සැමදා තනි වෙන්නම්


ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස....//

Saturday, August 24, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 12

එදායින් පස්සෙ මාස දෙකක් විතර සාමාන්‍ය විධියට කාලය ගතවුනා. මං හිතන්නෙ එතකොට මං කොළඹ ඇවිත් මාස හයක් විතර වෙන්න ඇති, ඔව් මාස හයයි. මාර්තු මාසේ අග වගේ වෙනකොට ඒ කියන්නෙ අනූෂාට එක්සෑම් ලංවෙලා තිබුනේ. අපි හය දෙනා හොද යාලුවො වගෙ හිටියා. අපි එක එක්කෙනාට ගොඩක් වෙනස්. ඉවොන්ගෙ චරිතෙනම් මට එච්චර රිස්සුවෙ නම් නෑ. ඒත් අපි අතරෙ ගැටළුවක් මතු උනේ නෑ. බර්ටියානම් පිස්සු හාදයෙක්. ඌට තිබුනෙ හින්දි උණක්. මරදානේ ෆිල්ම්හොල් එකට එන කිසිම හින්දි චිත්‍රපටයක් ඇරියෙ නෑ. සමහර දාට අපිත් ගිහින් බලනවා. ධම්මිනම් එච්චර කතාකලේ නෑ. එයාටත් එක්ක අනූෂා කතා කලා. ඉනෝකාගෙ තිබුනෙ තැම්පත් බවක්. ඒත් හිටපු ගමන් පණ්ඩිත කතාවක් එහෙමත් කියනවා. කොහොම හරි ඔය කාලෙදි හරි පුදුම දෙයක් සිද්ධ උනා.

මං ඉගෙන ගත්තට රස්සාවත් දිගටම කරගෙන ගියා. අර අලුතින් පටන්ගත්ත වැඩෙත් සෑහෙන්න ඉවර කරලයි තිබුනේ. මට තිබුනෙ එතන වැඩ බලන්න. ඒත් මම එතන ලොක්කාවගේ නෙවෙයි කොල්ලොත් එක්ක සෙට්වෙලා ෆන් එකේ හිටියේ. අඩුපාඩු එහෙම බලලා ගෙන්නගන්න වැඩ සහ අකව්න්ට්ස් වැඩත් මං තමා කලේ.  ඒ වෙනකොට බිල්ඩිමේ ස්ලැබ්එක දාලා දෙවැනි තට්ටුවටත් කණු දාලා තිබුනේ. ඒක කඩසාප්පු සංකීර්ණයක් දාන්න හදන එකක්. එක නිසා ප්‍රධාන පාරට මූණ දාලා තමයි තිබුනේ. අපි එතන වැඩකරන සෙට්එක සමහරදාට වැඩ ඉවරවෙලා කලුවර වැටෙනකන් එක එක දේවල් ගැන අල්ලාප සල්ලාප දොඩව දොඩව ඉන්නවා. එදත් බැල්කනියෙ උඩ පේළියට කට්ටියම කකුල් දෙක පහතට දාලා වාඩිවෙලා  උන්නා

ඒ වෙලාවේ මං දැක්කා කවුද ගෑණූ කෙනෙක් පාර අයිනෙ ඉදලකුත් තියාගෙන පාර අතුගාගා අපේ බිල්ඩිම තියෙන පැත්තට ආවා. මේක දැකපු ජයන්ත කියනවා “ආං අදත් අරකි මේ පැත්තට එනවා. බොසා හම්බවෙන්න තමයි“ කියලා. ඉතින් මං ඇහුවා කවුද බන් ඒ නගර සභාවේ වැඩ කරන ගෑණියෙක් නේද කියාලා. එතකොට ජයා (ජයන්ත) කියනවා “ ඇයි බන් ඔය බොසාගේ කේජු කැල්ලනේ. උඔටත් ඕන්නම් බොසාගෙන් ටිකක් ඉල්ල ගනින්“. “කේජු කැල්ල?“ මං පුදුමෙන් වගේ ඇහුවා. “ඔවු බන් ඕකි වේසියක් බං. අපිත් ඉතින් ඇගේ අමාරුවට තෙල් ගාගන්න එහෙම යනවා, අපි දන්නවනේ උඹේ හැටි, උඹට කිව්වට වැඩක් නැති නිසා කිව්වෙ නෑ“ කියලා ප්‍රේමදාසයා විස්තර කලා.

ඒක ඇහුවම මට තරහක් ආවා. “අනේ මේ මුදලාලි මහත්තයට පද හදන්නැතුව හිටහන් බං. උබලා වලත්තගැනු පස්සෙ ගියා කියලා බෝධිසත්වයෙක් වගේ ඉන්න මනුස්සයට ජරා කතා බදින්නැතුව“ කියලා මං බැන්නා. එතකොට ජයේ කියනවා “අනේ තෝ දන්න හරියත මයි ඒ, අපේ බොසාගෙ වැඩ ගැන උඹ දන්න අටමගලයක් නෑ. සල්ලිකාරයො කවුරුත් එකයි. ඔන්න බලපන්කෝ ඔය ගෑනී එන්නෙ බොසා හම්බවෙන්න නොවෙයිද කියලා“.

අර ගැණු කෙනාද බිල්ඩිම ඉස්සරහටම අතුගාගෙන විත් කුණු ඔක්කොම බැරල් එකකට දැම්මා. දාලා වටපිට බලලා අපි දිහාටත් බැල්මක් දාලා කටේ පුරවන් හිටපු බුලත් කෙල පාරක් තපාස් ගාලා දකුණතේ ඇගිලි දෙකක් අතරින් කාණුවට ගැහුවා. ඊට පස්සේ ඒ අතින්ම කට පිහදාගෙන පාර පැනලා අපි දිහාට ඇවිත්,

“කෝ ජයසිංහ මුදලාලී ඉන්නවද?“   කියලා ඇහුවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/09/13.html

Tuesday, August 20, 2013

66 සතිය

අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේ වැරදි සොයාගන්න, මන්ද තමාට මානසික දඩුවම් ලැබෙන්නේ තමා කල වැරදි වලට පමනයි.

Friday, August 16, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

අද ලිපියෙන් මං බලාපොරොත්තු වන්නේ පසුගිය ලිපියේ සදහන් කල පරිදි “යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?“ කියන ගැටළුවට විසදුමක් සොයන්නයි.
අප යමක් සොයනවනම් අනිවාර්යයෙන්ම අපි සොයන්නේ කුමක්ද යන්න දැන ගතයුතුයි. අප සොයන්නේ කුමක්ද නොදැන සෙවීම යන්න අර්ථ විරහිතයි. ඒ අනුව සෙවීම දෙයාකාරයි. එකක් නම් අප ලඟ තිබූ දෙයක් අස්ථාන ගතවී ඇති විට සෙවීම හා අප බලාපොරොත්තු වන දෙයක් සෙවීමයි. යථාර්තය සේවීම අයත් වන්නේ දෙවැනි ආකාරයටයි.

එතකොට අප යථාර්තය දැනගෙන යථාර්තය සොයනවා කියන අදහස මතුවෙන්නෙ නෑ. අප දන්නෙ යථාර්තය නොව යථාර්තය කියන්නේ මොකක්ද කියල විතරයි. ඒක මේ වගේ දෙයක්. කෙනෙක් කවදාවත් අලියෙක් දැකල නෑ. නමුත් අලියා කියන්නේ මේ වගේ සතෙක් කියල ඔහු දන්නවා. ඔහු අලියෙක් සොයාගෙන කැලේ යද්දී ඔහු කවදාවත් අලියෙක් කියලා වෙන සතෙකුට රැවටෙන්නෙත් නෑ. අලියෙක් දැක්කොත් මේ අලියා නොවෙයි කියලා රැවටෙන්නෙත් නෑ. නුමුත් අලියා මොන වගේද කියලවත් නොදන්න කෙනෙක්ට අලියෙක් සොයන්න බෑ. මේ නිසා අපි යථාර්තය සොයන්න ඕන යථාර්තය කියන්නේ මේ වගේ දේකටයි කියල දැනගෙනමයි.

මං තව උදාහරණයක් කියන්නම්. සිදුහත් කුමරා නිවන සොයන් ගියේ නිවන කියන්නේ මේ දේටයි කියල නොදැන නම් නිවන සොයාගන්න උන්වහන්සේට බැරි වෙනවා. සිදුහත් තවුසා ඒ ඒ ගුරුවරු අත්හැරියේ තමා සොයන නිවන ඒ අය ලඟ නොතිබූ නිසා. එහෙනම් සිදුහත් තවුසා දැනගෙන තියෙනවා නිවන කියන්නේ මේ වගේ දෙයක් කියලා.

එසේනම් යථාර්තය කියන්නේ මොකක්ද? යථාර්තය යනු යථා අර්තයයි. එනම් නිවැරදි අර්තය හෙවත් නිවැරදි හේතුවයි. මාලූ යාළු කිව්වා වගේ මේ දේ මෙසේ සිදුවන්නේ ඇයි කියල හොයන එක  තමයි යථාර්තය සොයනවා කියන්නේ. එතනදි අමාරුම දේ තමයි අප විසින් ඉදිරිපත් කරන හෝ හොයාගන්නා හේතුව නිවැරදිම හේතුවද යන්න නිශ්චය කිරීම.

 ඒක නිසා තමයි මං කලින් ලිපියෙත් සදහන් කලේ අප යථාර්තය සොයා යනවනම් කිසිම රාමුවකට කොටු නොවී විවෘත මනසකින් එය කල යුතුයි කියා. මං හිතනවා බුදු රජාණන් වහන්සේ ද සමාධිගත වූ සිතින් විදර්ශනා කරන්න (සත්‍ය සොයන්න) කියන්න ඇත්තෙ ඒ නිසා කියලා. සියලු බැදීම් වලින් ( සියළු විශ්වාසයන්ගෙන් හා උපකල්පන වලින්) නිදහස් වූ විටයි අප සොයාගත් දේ නිවැරදිම හේතුවද කියලා විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නෙත් ඒ දේම තමයි.

මං හිතනවා ඒ ගැටළුවට පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. යම් අදහසක් හෝ ගැටළුවක් ඇත්නම් අහන්න. ඊ ළඟ ලිපියෙන් “යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?“ කියන ගැටළුවට පිළිතුරක් දෙන්නම්

ඔබට නිවන් සුව ලැබේවා !