Wednesday, October 28, 2015

හිමිකම

දිය දහරක සුමිහිරි බව
විඳ ගත්තෙමි මා හොඳහැටි
දිය දහරේ මිහිරියාව 
රැගෙන ආවේ නොමැතිය මම
දුන්හිඳ නරඹන ලෙස ආ 
සුන්දර යුවතියකගෙ රුව 
මගෙකොට විඳ ගන්නට එය 
රැගෙන ආමි නිවසට මම
තිස් වසරක් ගෙවී ගිහින් 
දරු මල්ලන් සමගින් මම 
දුන්හිඳ බලනට ආ සඳ 
හැඟුනා මේ දෙය නොදැනිම
පෙර දින දුටු මිහිරියාව 
තවමත් ඇත දුන්හිඳ මත 
එනමුත් සොඳුරිගෙ රුව මට 
නොපෙනේ එහි පෙර ලෙසටම 

147 සතිය

යම් ගැටලුවකට අප දෙන පිළිතුර නිසා වෙනත් ගැටලු ඇති වේ නම් එය නිවැරදි පිළිතුර නොවේ.

Saturday, October 10, 2015

මගේ කතාව 2 - හරි මඟ පෙන්වීම

අම්මාත් තාත්තාත් කොළඹට ආවේ අප පිළිබඳ විශාල බලාපොරොත්තු රාශියක් ඇතිවය. අප තිදෙනාට හොඳ අධ්‍යාපනයක් දීම ඉන් එක් බලාපොරොත්තුවකි. නමුත් දෙදෙනාම රැකියාවට යන බැවින් ද අපට හොඳ නරක කියා දීමට වෙනත් වැඩිහිටියකු නොමැති බැවින්ද අපේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටළුවකට ඔවුන් මැදිවිය. ඒ වන විට අයියා පහ වසරේද, මම තුන වසරේද , නංගී එක වසරේද විය.

නංගී පාසලකට ඇතුලත් කිරීම ද පහසු නොවීය. කොළඹ ජනප්‍රිය පාසැල් කීපයකටම අයැදුම්පත් දැමූව ද ඒ කිසිවකට විශාල මුදලක් නැතිව ඇතුලත් කරගැනීමට නොහැකි විය. අවසානයේ දී දෙහිවල ප්‍රස්බිටීරියන් බාලිකා විද්‍යාලයට ඇතුලත් කරවීමට හැකිවිය. අම්මා නිතරම අපගේ අධ්‍යාපනය ගැන වෙහෙසුනාය. අයියාගේ දඟවැඩ නිසා අම්මා සිටියේ කනස්සල්ලෙනි. කොයිවෙලේ හෝ ඔහුගේ වැඩවලින් මටත් නංගිටත් අනතුරක් වේයැයි ඇය බිය වුවාය. මේ නිසා අපව නිදැල්ලේ හැරීමට අම්මා ඉඩ නොතැබීමට හැකි පියවර ගත්තාය. මුලින්ම අප තිදෙනා දහම්පාසලකට යොමුකරවීමට ඇය කටයුතු කලාය.

ශ්‍රී සිරිවර්ධනාරාමය පිහිටියේ අපේ ගේ පිහිටි සිරිවර්ධන පාරට අල්ලපු වැටේය. ඒ නිසා ප්‍රධාන පාරෙන් යනවාට වඩා පහසුවෙන් මලිත් අයියාගේ නිවස අසලින් වැටී තුබූ අඩිපාරකින් පන්සලට යාමට අපට හැකි විය. ඉරිදා උදේම ගෙයි මුල්ලේ පිහිටි වතුසුද්ද ගසෙන් මල් නෙලාගෙන මල්වට්ටියක් සකස් කරගෙන තුන්දෙනාත් සමඟ දහම්පාසැල් ගියහැටි මට තාම මතකය. හැමදාම දහම්පාසල ආරම්භ කරන සීනූව නාදකරන හඬ ඇසෙන විට අපි ගෙදරින් පිටත් විමු. පළමුව රැස්වීමට සහභාගී වන ළමෝ පේලි සැදී නායක හාමුදුරුවන් සමඟ පන්සිල්ගෙන බුදුන්ට මල් පහන් පූජා කරයි. අනතුරුව හාමුදුරුවන් කෙටි අනුශාසනාවක් කරන අතර, ගුරුවරයකුගෙන් කතාවක් ද, ඉහළ පන්තියක සිසුවෙකුගෙන් කතාවක් ද බැගින් කතා දෙකක් පවත්වා රැස්වීම අවසන් කෙරේ.  පසුව අපි පන්ති වලට ගොස් දහම් අධ්‍යාපනය ලැබුවෙමු. එහිදී උගෙනගත් සිරිත් මල්දමෙහි එන එක් කවියක් මට තාම මතකය.
උරුවන් බබා වත් 
සිව්පද කියා ගෙන වත්
 සින්දු කියමින් වත්
 ගෙවල් අසලින් යාම නොහොබිත්

අයියාව මට්ටු කිරීම පිණිස ඔහුව ශිෂ්‍යත්ව පන්තියකටත්, රිචීලයි අම්මා විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පන්තියටත් ඇතුලත් කලේය. පාසැල් ඇරී පැමිණිමෙන් පසුව අයියාට අමතර පන්ති යාමට තුබූ නිසා ටිකක් ඔහුගේ දඟවැඩ පාලනය කරගැනීමට මව සමත් විය. නංගී සුපුරුදු පරිදි සවස්කාලය ගතකලේ අම්මාගේ වැඩපලේය. හැන්දෑවට බොහෝවිට ගෙදර ඉතිරි වූයේ මා පමණි. මම එවැනි දිනවල හැන්දෑව ගතකලේ සාංකාවෙනි. 



නමුත් නිවාඩූ කාලවලදී තුන්දෙනාම ගෙදර බැවින් අම්මා අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තාය. අයියා ශිෂ්‍යත්වයට සූදානම් වන බැවින් ඔහුට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ද, මට කොටුරූල් පොතක ලියන ලද එකතු කිරීමේ, අඩු කිරීමේ හා ගුණ කිරීමේ ගනණ් සියයක් හෝ පනහක් ද, නංගීට ඩබල් රූල් පොතක අකුරක් හෝ අකුරු පේලීයක් ද බැගින් දී හැන්දෑවට එනවිට ඒවා සම්පූර්ණ කර තබන ලෙස අණකොට වැඩට යයි. හැන්දෑවට පැමිණි පසු ගෙදර වැඩ පරික්ෂා කරන මව ඒවා නොකර තිබුනේ නම් වේවැල් කසාය දුන්නාය. මීට අමතරව දවසට එක සංඛ්‍යාව බැගින් චක්‍කරය ද පාඩම් දිය යුතුය. නංගීට ලැබෙන්නේ දෙවරක් සිට පස් වරක් දක්වා වන අතර මට එය අට වරක් දක්වාද අයියාට දොලොස් වරක් දක්වා ද වෙයි. 

මෙසේ අපව යහමඟ පෙන්වීමට අම්මා විශේෂයෙන් කැප වී කටයුතු කලාය.


  

Friday, October 2, 2015

146 සතිය

ධර්මය යටනොවී තබා ගැනීම කලහැක්කේ ධර්ම ප්‍රචාරය කරමින් ප්‍රඥාවන්තයන් බිහිකිරීමෙන් මිස උප්පැන්නෙට සිමා වූ බෞද්ධයන් බිහිකිරීමෙන් නොවේ.

Sunday, September 27, 2015

හමුවේවී වෙන්වේවී සංසාර ආදරේ

ගැ : සසර සරනා තුරා නොයමි හැරදා මෙමා
       කියූ ඔබ මා හැරා ගියේ ඇයි දෝ දමා

පි : ගතින් ගියදෝ හැරා සිතින් ඔබ හා මෙමා
      ඉදිමි සසරේ පුරා නොයමි කිසිදා දමා

ගැ : සිතින් එක්වීමදෝ ගතින් ලංවීමදෝ
      ආදරේ කුමකදෝ මට කියා දෙන්නෙදෝ

පි : සිතින් එක්වීම හෝ ගතින් ලංවීම හෝ
      බිදේ කවදාක හෝ සසර නපුරුයි බොහෝ

ගැ : අපගේ ප්‍රේමේ නමින් උන්නේ ඔබගේ ලගින්
       මගෙන් වෙන් වී ගිහින් කුමක් කරනුද ඉතින්

පි : සසරේ පෙරදා ලෙසේ වෙන්ව ගියසේ මෙසේ
     යලිත් එක් වී එසේ ඉදිනු සැමදා කෙසේ


Monday, September 21, 2015

145 සතිය

තමන් හා ලෝකය දෙකක් ලෙස නොව තමාත් ලෝකයටම අයත් අනෙක් මනුස්සයන් වගේම තවත් මනුස්සයෙක් පමණක් යැයි සිතා කටයුතු කිරීමෙන් මමත්වය නැති වේ.

Sunday, September 13, 2015

144 සතිය

වස්තුවත්, ආලෝකයත්, දර්පණයේ ඔපයත් නිසා ප්‍රතිබිම්බය සැදෙන බව නොදත් මෝඩයින් මේ ප්‍රතිබිම්බය නිර්මාණය කල කෙනා සොයමින් වෙහෙසෙයි.

Saturday, September 12, 2015

මගේ කතාව 2 - නසරානියන්ගේ නිවාඩු සෙල්ලං

අයියාට කුකුළු පැටව් විකුණා තිබුනේ ද මලිත් අයියා විසිනි. දිනක් මලිත් අයියාගේ ගෙදර තිබෙන දිහාවට ගිය විට මට දක්නට ලැබුනේ කුකුළු සායම් ගා පාට පාට කල කුකුළු පැටව් වේලෙන්නට අව්වේ දමා තිබෙන අයුරු ය.  එය ඔහුගේ එක් අමතර ව්‍යාපාරයක් විය. ඊට අමතරව ගප්පි වර්ග විකිණිම ද සිදු කරන ලදී. අවසානයේ අයියාට කියා පලක් නොවුනු කල තාත්තා විසින් මලිත් අයියාට අපේ නිවස තහනම් කලාපයක් කලේය. නමුත් දෙමව්පියන් නොමැති විට අයියා ඔහුව ගෙන්වා ගත් අවස්ථා තිබුනු බව මගේ මතකයේ ඇත.

අප පාසැල් නිවාඩු කාලයට විවිධ ක්‍රිඩා කරනු ලැබීය. අප වෙනත් ළමුන් ඇසුරක් එතරම් නොවූ බැවින්ද සෙල්ලම් කිරීමට තරම් ඉඩ කඩක් කුළි නිවස තුල නොවූ බැවින් ද, අපි අලුත් අලුත් දේ අත්හදා බැලීමූ. ඒ ගෙදර ඇඳක් තැබීමටවත් ඉඩකඩ මදි වූ බැවින් එක ඇඳක් පමණක් තාත්තා වෙනුවෙන් තිබුනු අතර අනෙක් හතර දෙනා නිදා ගත්තේ බිමය. අම්මා මදුරුදැල් දෙකක් එක්කොට එක් විශාල මදුරුදැලක් සකසා එය වහලයේ එල්ලා පැදුරු වටේට ගඩොල් හතරක් තබා නිදන යහන සකස් කලාය. උදේට සාලය රාත්‍රියට නිදන කාමරය වන්නේය.

තාත්තාගේ ඇඳ දමා තිබුනේ කුස්සියේය. ඒ ඇඳ වටේට ලනු ඇද එහි තෙත රෙදි එල්ලා එය ගුවන්යානයක් සේ බාවිතා කර අපි සෙල්ලම් කලෙමු. එ් අසලින් හිටවන විදුලිපංකාව දැමූ විට ගුවන්යානය තුල සිසිල් වෙයි. අයියා විදුලිපංකාව ඉදිරියට ගොස් “ගුවන්යානය ගුවන්ගතවීමට නියමතයි. සියළු මගීන් ආසනපටි පැලඳගන්න“ විධාන කරයි. විදුලිපංකාව ඉදිරියට ගොස් කතා කරනවිට ඔහුගේ කටහඩ ඇසෙන්නේ ඈත සිට මයික්‍රෆෝනයකින් කතා කරන ආකාරයටයි. ඉන් පසු විදුලිපංකාව ද රෙද්දකින් වැසූවිට ගුවන්යානයක හඞ නිකුත්වෙයි. ඉන්පසු පැමිනෙන්නේ ගුවන්සේවිකාව විසින් මගීන්ට ආහාර සපයන අවස්ථාවයි. අයියාගේ විධානයෙන් නංගී ගොස් ආහාර සූදානම් කරයි. තැටියක් ගෙන එහි අප තුන්දෙනාගේ කෝප්ප තබා ඒවාට සිනි හා කිරිපිටි එක්කර තනාගන්නා විශේෂ ආහාරය දමා රැගෙනවිත් බෙදාහැරීම සිදූකරන්නේ ඇයයි. ඉන්පසු අප තුන්දෙනා එක්වී එහි රස විඳිමු.
කුළි නිවසේ වහලය ටකරන්ය. ඒ නිසා දහවලට උණුසුම දරා ගැනීම ඉතා අපහසුය. එබැවින් අපි දිනපතාම වාගේ ස්නානය කරමු.  ස්නානය කිරීමට ඇත්තේ සිමෙන්තියෙන් බදින ලද විශාල ටැංකියකි. එයට වතුර පුරවා බාල්දියෙන් වතුරගෙන නා ගැනීම දෙමාපියන් සිදුකල ද අප තුන් දෙනාටම ඒ ටැංකියට බැසගතහැකි බැවින් අපි ටැංකියට බැස නා ගනිමු. අම්මා අපට ආකිමිඩිස් ගේ නිරුවතින් දිවූ කතාව කියා දී තිබූ බැවින් අපි ටැංකියට නිරුවතින් බැස ඔහුගේ ඉපිලුම් නියමය ආදර්ශනය කරන්නෙමු.
 එක් දිනක් චිත්‍රපටියක් රූගත කරමුයැයි යෝජනා කොට රූපවාහිනියේ දැක ඇති ජවනිකාවක් රූ ගත කිරීමට සැරසිමු. කතාවේ අධ්‍යක්ෂක තැනද කැමරා ශිල්පියා ද අයියා ය. මම ප්‍රධාන නලුවෙකි. මුලින්ම රූගත කිරීමට තිබුනේ ගෙල වැලලා ගැනීමකි. ඒ සඳහා ලණුවක් ගෙන අපහසුවෙන් අල්මාරිය උඩට නැග ලණුව පරාලයක එල්ලන ලදී. දැන් මට ඇත්තේ මේසය මත පුටුවක් තබා එයට නැග ගෙල වැලලාගෙන පුටුවට පයින් ගැසීමටයි. අයියා සියල්ල සූදානම් කර කැමරාව ඒ දෙසට යොමු කලේය. මම ඇක්ෂන් යැයි කියූ විට පුටුව උඩට නැග්ගෙමි. එවිටම වාගේ සියල්ල කඩාකප්පල් කරමින් තාත්තාගේ මිතුරෙකු නිවසට පැමිණියේ ය. එයින් අපේ සෙල්ලමද නැවතිණි. සකස් කල පසුතලය දුටු තාත්තාගේ මිතුරා කාරණා සියල්ලම අපෙන් දැනගෙන හැන්දෑවේ සිදුවීම තාත්තාගේ කනේ තිබ්බේය. එදා රාත්‍රීයේ ද අයියාට හොඳටම ගුටි කෑමට සිදුවූ අතර නංගිටයි මටයි ද හොඳටම බැනුම් ඇසීමට සිදුවිය. 
     

Monday, August 31, 2015

143 සතිය

අනුන්ගේ වැරදි වලට තමන්ගේ සිත රිදවගන්න එපා. එවිට එය ඔබේ වරදක් වේවී.

Wednesday, August 26, 2015

අප්පච්චී....

කාටත් නොපෙනෙන කවුරුත් නොහඳුනනා
හද තුල තෙරපෙන උතුරා ගොඩගලනා

ඒ ආදරයයි - ඔබගේ ආදරයයි //

සඳකට සැගවී මා වෙත සුව ගෙනෙනා
මා සතුටේ උල්පතටත් දිය බෙදනා
සිහිනෙන් ඇවිදින් මා සුරතල් කරනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි

හිරු ඇහැරෙන සඳ නිවසින් පිය මනිනා
මට නොපෙනෙන දුර ඈතක බර අදිනා
නුඔමයි කඩ ඇණ ගමනට මඟ සදනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි