Thursday, January 28, 2016

156 සතිය

අද ප්‍රේමයට එරෙහිව එන ඕනැම භාහිර බලවේගයකට ජීවිත පරිත්‍යාගයෙන් සටන්කරන මිනිසුන් ඒ ප්‍රේමය බිඳ වැටුනු විට ඉතා ඉක්මනින් තවකෙක් හා පෙමින් බැදෙන්නේ ඔවුන් කාමයට දාසකම් කරන්නෝ බැවිනි.

Saturday, January 16, 2016

155 සතිය

එකම රූපය අන්වීක්ෂයෙන් බැලූ විට හා පියවි ඇසින් බැලූ විට පෙනෙන්නේ වෙනස් විදියටයි. එසේ නම් ඇත්තම රූප මොන වගේ ඇත්ද?

Sunday, January 10, 2016

මගේ කතාව 2 - වෙනත් කූඩුවක් කරා.....

අප කොළඹට ඇවිත් අවුරුදු දෙකක් වන්නේ 1998 පෙබරවාරි මාසයටයි. අප එසේ පැමිණි මුල්ම කුඩා නිවස අප එනවිටත් ඉතා පැරණි නිවසක් විය. නමුත් ගෙවල් හිමිකරු විසින් එය පිළිසකර කර දුන් අතර නොබෝ කලකින්ම එහි යතා ස්වරූපය අපට අවබෝධ වන්නට විය. දහවලට ටකරන් රත් වී පෝරණුවක් සේ ගෙතුල රත් විය. වැසි කලට ගෙදර සියලු හැලිවලං වතුර රැස් කිරීමට තැබීමට සිදුවිය. නමුත් අප ගෙවූ කුලියේ හැටියට ඒ මුදලට කොළඹින් වෙනත් නිවසක් සොයා ගැනීම ද අපහසු විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වූයේ තවදුරටත් එම නිවසේ විසීමෙන් එකතැන පල්වනවා මිස අනාගතයක් නොමැති බවයි. එබැවින් දෙහිවලම වෙනත් නිවසක් සොයා ගැනීමට අම්මා වෙහෙසිනි. අම්මා වැඩ කලේ දෙහිවල ජල සම්පාදන මණ්ඩලයේ වූ බැවින් අම්මාට ඒ කාරිය එතරම් අපහසු දෙයක් ද නොවීය. නමුත් දැරිය හැකි මුදලකට කුළි නිවසක් සොයා ගැනීම ද ලෙහෙසි නොවිනි. අවසානයේ කෙසේ හෝ අම්මා වෙනත් කුළි නිවසක් සොයා ගත්ත ද එහි කුළිය තරමක් වැඩි විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වුයේ මේ නරකාදියෙන් ගැලවී යාම වඩා සුදුසු බවයි. අප වෙනත් නිවසකට යනබව නිවෙස් හිමිකරුට දැන්වූ විට ඔහු පවසා සිටියේ අප වැනි කුළී කරුවන් ඔහුට හමු වී නැති බවත් තව දුරටත් එහි රැදෙන්නේ නම් නිවස පිළිසකර කර දෙන බවත් ය. නමුත් අම්මාගේ තීරණය වෙස් නොවිනි.
ඒ අනුව දෙහිවල කරගම්පිටිය ප්‍රදේශයේ මේධංකර පාරේ පිහිටි නිවසකට අපි පදිංචියට පැමිණියෙමු. එය කලින් නිවසට වඩා විශාල නිවසක් වුවත් එය සම්පූර්ණයෙන්ම අපට අයිති නොවිනි. එහි කුලියට දීමට තිබුනේ ඇනෙක්සියක් වුවත් එය ඒ වනවිටත් කුලියට දී තිබුණි. මේ නිසා අපට හිමි වුයේ අයිතිකරුවන් පදිංචි නිවසේම විසිත්ත කාමරයේ හාඩ් බෝඩ් වලින් වෙන් කරන ලද කොටසකි. ඊට අමතරව කුස්සියක් ද අපට හිමි විය. එහි අයිතිකරු වූයේ බර්නාඩ් නම් පුද්ගලයෙකි. කාමර දෙකකින් හා කුස්සි දෙකකින් සමන්විත වූ ඒ නිවසේ ඔහුත්, බිරිඳත්, අම්මලා දෙදෙනාත් පුතාත් විය. අපත් සමඟ එහි මුළු සාමාජික සංඛ්‍යාව 10ක් විය. අප නැවතත් කුඩූ වූ නමුත් එහි යම් ප්‍රමාණයක මිදුලක් තිබීම කුඩා වයසේ වූ අපට සතුටට කාරණාවක් විය. අප කලින් උන් නිවසේ මිදුලක් තිබුනේම නැත. වතුර ගැනීමට විශාල ලිඳක් තිබූ අතර එයට මෝටරයක් සවිකොට ටැංකියකට වතුර පිරීවීය. එයින් නිවසට නල ජලය ලැබිණ. කෙසේ වෙතත් මෙහි දී ද ඇඳක නිදා ගැනීමේ භාග්‍ය හිමිවූයේ තාත්තාට පමණි. ඒත් පෙර පරදිම කුස්සියේ ය.
බර්නාඩ් අංකල් කුමන රස්සාවක් කලේ දැයි අපි නොදනිමු. නමුත් ඔහු ඉතා රෑ බොවී නිවසට පැමිණි අතර උදේ පාන්දරින්ම නිවසින් පිටවිය. ඔහුගේ පුතා පසන් වූ අතර අම්මා නිතරම ඔහු පස්සෙන් වූ බැවින් ඇන්ටී ද දහවලට ගෙදර උන්නේ ළමයාට පන්ති නැත්නම් පමණි. ඔවුන්ගේ අම්මලා දෙදෙනා පමණක් දහවලට නිවසේ වූ අතර ඉන් එක් මවක් අන්ධ තැනැත්තියකි. ඇගේ උදව්වට හිටියේ අනිත් අම්මාය.  ඈ අන්ධ වූ නමුත් බොහෝ වැඩ තනියම කර ගැනීමට ඈට හැකිවිය. අපට වඩා හොඳට ගේ ඇතුලේ ඇවිදීමට ඈට හැකිවිය. අපි ඈට පැණි ආච්චි යැයි ද අනෙක් තැනැත්තියට සීනි ආච්චියැයි ද පැවසුවෙමු.

Wednesday, January 6, 2016

154 සතිය

ගැටුමක දී ප්‍රතිවාදීයාගේ මානසිකත්වයෙන් බැලූ කල තමාගේ වරද දැකිය හැක.

Saturday, January 2, 2016

මගේ කතාව 2 - දරුවන්ගේ පෝෂණය

ගොඩක් පවුල් වල මෙන්ම අපේ පවුලේ ද ගෘහ මූලිකයා තාත්තා වුනත් මහ මොළකරු ද පවුලේ වගකීම් දරන්නා ද අම්මා විය. එබැවින් අපේ පවුලේ අනාගතය සැලසුම් කලේ ද ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග ක්‍රියාත්මක කලේ ද අම්මාය. තාත්තා කලේ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සහ බුද්ධිමය හා කායික ශක්තිය ලබා දීමයි. ඊට අමතරව අම්මා පවුලේ අභ්‍යන්තර ගැටළු විසඳු අතර තාත්තා බාහිරින් පැමිනෙණ ගැටළු වලින් පවුල ආරක්ෂා කලේය. අම්මත් තාත්තාත් සහයෝගයෙන් කටයුතු කලත් දෙදෙනා අතර බහින් බස් වීම් ද නිතර නිතර ඇති විය.
එක් දවසක් මා පාසැල් ඇරී ගෙදර එනවිට කම්බුල් දෙක කසන්නට විය. වේදනාව වැඩිවන විට කලහැකි යමක් නොතිබූ බැවින් තාත්තාගේ ඇඳට වී නිදා ගත් අතර නැවත ඇහැරුනේ අම්මා ගෙදර පැමිණි විටය. අම්මා පරික්ෂාකොට බලා මට කම්බුල් ගාය සෑදී ඇති බව තීරණය කෙරිණි. ඒ සඳහා අලි හක්කක් උරච්චිකොට ගෑ යුතු බැවින් තාත්තා එනතුරු අත්බෙහෙතක් කිරීමට තීරණය කලාය. එනම් නිල් කුඩු දෙහි සමඟ මිශ්‍රකොට කම්බුල දෙපැත්තේ ඉලීමයි. නැවත මට නින්ද ගිය අතර නැවත මට ඇහැරුනේ ටකරන් වහලයට වැස්ස වැටීම නිසා ඇති වූ ශබ්දයටයි. මට මගේ මූණ ඉතා බර වී ඇති බවක් හැඟින. ඇස් කරකවා වට පිට බැලූ විට සුපුරුදු පරිදි වැහි වතුර රැස් කිරීමට තැන තැන හට්ටි වළං තබා තිබෙනු පෙනිණ. ඒ වර්ෂාවේ ශබ්දය අතරේ මට තවත් ශබ්දයක් ඇසිණ. ඒ අම්මාත් තාත්තාත් අතර වූ ගෝරණාඩුවකි. “මේ මනුස්සයට කොච්චර කිව්වත් තේරෙන් නෑනේ. මේ ළමයට බෙහෙත් ටිකක් ගේන්න නැතුව ඉදලා ෆිට් එකට ආවොත් මොකද කරන්නේ?“ යැයි අම්මා කෑ ගෑවාය. “මේ රෑ කොහෙන්ද මං අලි හක්කක් හොයන්නේ. අනික මේ වැස්සේ කොහොම ද මේ ළමයා ස්පිරිතාලෙට එක්ක යන්නේ“ තාත්තා පවසනු ඇසින. “ ඇයි මනුස්සයෝ මේ ළමයා එළි වෙනකන් මෙහෙම තියන්නද කියන්නේ, ත්‍රී වීල් එකකින් හරි ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් එන්න බැරිද“ අම්මා නැවතත් ගෑ ගෑවාය. එවිට තාත්තාට තරහ ගියේය. “කට වහගනින් , මේක මල වදයක් උනානේ, වැඩ ඇරිල ආව වෙලේ ඉඳන් කනක් ඇහිල ඉන්න නෑ. කම්බුල් ගාය කියන්නේ මහ ලෙඩක් නෙවේ, මටත් පොඩිකාලේ හැඳිල තියෙනවා“ කියූ තාත්තාගේ අතින් හට්ටික් බිමට වැටුණු හඩක් ඇසිණ. ඉන් පසු ඇසුනේ අම්මාගේ කෙඳිරිලි හඩක් පමණි. අම්මාත් තාත්තාත් රණ්ඩු වන්නේ මා නිසායැයි මට මහත් සංවේගයක් ඇති විය. මා නිදා ඉන්නවා සේ දෑස් පියාගෙන උන්නත් මගේ දෑස් අඟින් කඳුළු කඩා හැලින.

අපේ අම්මා අපේ පෝෂණය ගැන බොහෝ උනන්දු විය. ඒ කෙතරම් ද යත් නැදැයින් අපේ ගෙදර හැඳින් වූයේ වෙද ගෙදර ලෙසිණි. සෑම ආහාර වේලකටම කොල මැල්ලුමක් හා මස්, මාළු, කරවල, බිත්තර යන වර්ග වලින් එකක් ද කරවිල, දඹල, මුං ඇට වැනි ආහාරයක් ද එක් විය. බොහෝ විට තුන් වේලම කෑවේ බත් ය. නමුත් අම්මා මහන්සි වී හෝ පමා වී හෝ ගෙදර පැමිණෙන දින වලදී කඩෙන් පාන්, ආප්ප, ඉඳිආප්ප වැනි දෙයක් රැගෙන එන්නී ය. එසේ ගෙනාවත් හට්ටි වල යම් එළවළුවක් ඉතිරි වී තිබුනොත් ඒවා බලහත්කාරයෙන් අපට කවන්නී ය. අම්මා කියන්නේ බත් නොකෑවත් හොඳි ටික කෑ යුතු බවයි. ඉඳින් අපි දහවල් එළවළු ඉවර කිරීමට අපොහොසත් වූවොත් රාත්‍රියට නික්න් හෝ කන්නට සිදුවන බැවින් සමහර දින වල දී ඉතිරිවන එළවළු ගේ පිටිපස්සේ හලා සියල්ල කෑ ලෙස හට්ටි හිස්කර තබන්නේ ය.
අම්මා අපිට පෝෂණිය ආහාර කැවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළා ය. සෑම ඉරිදාවකම වාගේ උදේට කොළකැඳ හදන අම්මා ඒවා කෝප්ප වලට දමා අපට කතා කරයි. “අද අපි තරඟයක් තියමු. ඔය තුන්දෙනා අතන ඉඳන් දුවන් ඇවිල්ලා ඉක්මනටම කොළකැඳ බීලා ඉවර කරන කෙනා දිනුම්.“ මෙසේ අම්මා අපිට උපක්‍රමයෙන් කොළ කැඳ පොවයි. තවත් දවසෙක කොළ කොටා ඉස්ම ගන්නා අම්මා ඉන් අඬු කෝප්ප කාල බැගින් දමා වෙද පප්පාගේ අරිශ්ඨය සාදා ඇති බව පවසා සූර පප්පා වගේ ශක්තිමත් වන්නට එක හුස්මට බොන ලෙස කියයි.  අපි ද සූර පප්පා වගේ වීමට එක හුස්මට එය බී ගනී. එවිට එහි සැරට අපේ ඇඟපුරා සියුම් විදුලියක් යනු දැනෙයි. එවිට ඇත්තටම ඇඟට යම් ජීවයක් ද ලැබෙයි.
අම්මා ඉරිදා පොළේ ගියවිට අනිවාර්යයෙන්ම වෙරළු, උගුරැස්ස, ලොවි, නෙල්ලි වැනි පලතුරු වර්ග කීපයක් රැගෙන එයි. ඉරිදාට අම්මා අපි තුන් දෙනාටම කවයි. ලොකු හට්ටියකට බත් බෙදා ගන්නා අම්මා අපි තුන්දෙනාටම පිලිවෙළට කවයි. බත් හට්ටිය අවසන් කිරීමට පෙර අප කෑම ප්‍රතික්ෂේප කලොත් අම්මා කරන්නේ බත් ගුලි තුනක් ගසා පිඟානක තබා එක් එක් ගුලිය අපි තුන්දෙනාට බෙදා පිඟාන කරකවයි. කරකවා තම තමන්ට අයිති ගුලිය පෙන්නන්ට කියයි. අපි පෙන්වන ගුලිය නිවැරදි යයි පවසා එය අපිට කවයි. මෙසේ උපක්‍රමයෙන් බත් හට්ටියම අවසන් කරයි.
අම්මා ඉස්සො, දැල්ලෝ, කකුළුවෝ වැනි කෑමක් උයන්නේ කලාතුරකිනි. එසේ ඉව්වත් එහි උෂ්ණය කැපෙන ලෙස මුං ඇට හෝ පළා මැල්ලුමක් හෝ සාදයි. එවැනි ආහාර සඳහා මුරුංගා කොළ යෙදීම ද අනිවාර්යය වේ. මෙසේ නිතරම අම්මා අපේ පෝෂණය ගැන උනන්දු වූවා ය.
 

Saturday, December 26, 2015

මගේ සොඳුරියේ

ටිකිරි සිනහ සලන මාගේ
සිඟිති ලදැරියේ
කොමළ අඟර දඟර පාන 
මගේ සොඳුරියේ
 
මේ වනන්තරේ 
හිඳ නිරන්තරේ 
කුරුළු ගීත අසන්නේ 
තුරුළු වී හදේ
 
ඔබ සැරින්සැරේ 
දී සිහින්සරේ 
මගේ අදර සිඹින්නේ 
හැඟේ පෙම් සුවේ

Thursday, December 24, 2015

153 සතිය

ඇදුමෙහි මඩ ගෑවුනු කල එය සෝදා පිරිසිදු කරගන්නා නුවණැත්තෙකි, දක්ෂයෙකි. නමුත් පිරිසිදු ඇදුම් මඩෙහි දමමින් සෝදන්නා දක්ෂයකු නොව මෝඩයෙකි.

Friday, December 18, 2015

කණ්ඩායම් සාදය

බොලාලාට කියාපිනාලන්ට මේ පහුගිය දොහක අපේ පාසැල් වාරොසික කණ්ඩායම් සාදය සංවිධානය වුනා නෙව. මටත් ඕං ආරාධනාවකුත් කොරාලා ලඟටම පුරවේස පත්තරයකුත් ගෙනත් දුන්නු හින්දා පළමු වතාවට ඕං මාත් සහභාගී වුනා කියමුකෝ.
හප්පච්චියේ කලැබ් එකට ඇතුළු වෙනකොටම සල්ලි කොල පුලුස්සාගෙන දුම් පිට කොර කොරා සැට් එකක් දොරකොඩට වෙලා අල්ලාප සල්ලාපයේ. බොලාට කියාපියාලන්ට මේ හිච්චියට උන්න මිත්තරයො බාප්පොච්චිලා වගේ නෙව අඳුරගන්නත් අමාරුයි. මාත් ඕං දුං ගහනඑක ඉවසා දරාගන්න බැරිව කලැබ් එක ඇතුලට ගියා. ඇතුලට ගිය හැටියෙම නැටුම් තෙල් සප්පායම. මට ඉතින් නටාපිනාලන්ට ඔය තෙලේ මක්කටැයි කියාලා ඇපොල් කැල්ලක් දෙකක් කාපිනාලා සිසිල් බීම වීදුරුවක් තොල ගාපිනා. ඉතිං ඕං පුරාණ යාළු මිත්තරයෝ ඇවිත් “ආ මචාං කොහොමදැයි, මක්කදැයි මේ දවස්වල කොරාපිනාලන්නේ “ කියාලා අතට අත දීලා බදාගෙන ඉඳලා යනවා.

ඒ අස්සේ මේං දහඅටේ විස්සේ ගැටිස්සියො ටිකකුත් මුන් ගෙන්නාපිනාලා. තනියෙන් නටාපිනාලන්ට බැරි ඈයින්ට ඡෝඩු දමාගෙන නටාපියාලන්ට. හප්පොච්චියේ මේ ගැටිස්සියොටික දැක්කම මට හෝස් ගාලා ගියා. අම්මාපල්ලා මුන් මව් දෙමව්පියො නැති අහසින් වැට්ච්චි එවුන් වගේනෙව හැසිරුනේ. තමන්ගේ දුවලා මේ වයසට කොරන එව්වා දැක්කොත් ඒ අම්මලා විලි ලැඡ්ඡාවේ පොලෝ පලාපියාගෙන යාවී කියලා මට හිතුනා.

කොහොමැ කොහොමැ හරි රෑ දෙගොඩහරිය වෙනකම් කකා බිබී නටාපිනාලා කට්ටිය ගෙවල්වලට ගියාපිනා. සමහරු නැටුම්තෙල් වැඩිවෙලා උන්ගේ බාල සන්ධිය මතක්වෙලා වාගේ දණගාපිනාලා, බඩ ගාපිනාලා, තව අයගේ කර උඩින් නෙව ගියේ.

අම්මාපල්ලා මට මේ සේරම අවසානයේ මගේ මේ ඔළුවට ආවේ, අර ගැටිස්සියොයි අපෙයි අතරේ වෙනස මක්කදැයි කියාලා. අපි කාපිනාලා බී පිනාලා, නටාපිනාලා රුපියල් දෙතුන්දාහකුත් වියපැහැදම් කොරාපිනාලද්දී එවුනුත් කාපිනාලා බී පිනාලා, නටාපිනාලා රුපියල් දෙතුන්දාහකුත් උපයා සපයාගෙන ගියා.

බලාපිනාලාගෙන යනකොට බාබර්ට සල්ලිත් දීලා කොණ්ඩෙත් දීපිනාලා එනවා වගේ පිරිමි වෙච්චි අපිත් සමහර වේලාවට  ගැනූන්ට වින්දනයත් දීලා සල්ලිත් දීපිනාලා එනවා නෙව 

Saturday, December 12, 2015

152 සතිය

අපට ලෝකේ කැමතිම දේ තුරුලු කරගෙන ඉන්න දුන්නොත් කොපමණ කාලයක් එසේ සිටිය හැකිද?
මවකට තම එකම දරු සිඟිත්තා එපා නොවී කොපමණ කාලයක් තුරුළු කරගෙන සිටිය හැක්ද?

Tuesday, December 1, 2015

151 සතිය

පිං කිරීමෙන් ප්‍රාර්ථනා කල යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ඇසුරට ලැබීමයි.