Thursday, March 31, 2016

161 සතිය

ඇත්ත සගවන්න උත්සහ කරනඅපි, අපිම මවාපාන ලෝකයට රැවටී සිටින්නෙමු.

Sunday, March 27, 2016

වහල්ලූ

මේ ලෝ මායාවේ වෙලීලා
බැදීලා ලෝ දනා 
පස්කම් සොයමින් වෙහෙසෙන්නේ 
නිවනක් කිසිදින නෑ ගන්නේ
 
නෙක නෙක රස දිව පිනවන්නේ 
විසිතුරු දේ නෙත ඉල්ලන්නේ 
නැහැයට සුගන්ධ සොයමින්නේ 
දනෝ ඇයිද මේ වෙහෙසෙන්නේ
 
නහවන්නේ ගත සරසන්නේ 
සතපන්නේ එය නලවන්නේ 
කුමක් කලත් නෑ ඇතිවන්නේ 
සිරුරට ඇයි වහලෙකු වන්නේ

Tuesday, March 22, 2016

160 සතිය

යම් කරුණක් ඇසූ පමණින් විශ්වාස කරන්නා මෝඩයෙකි. ප්‍රඥාවන්තයා යනු ඇසූ දෙයහි සත්‍ය අසත්‍ය තාව සොයාබලා අවබෝධකොට ගන්නා පුද්ගලයාටය. බුද්ධ දේශනාව ද ඇත්තේ ප්‍රඥාවන්තයින්ටයි. සෑම කාරණාවකට ම එහෙයි කියන්නා ට නොවේ.

Friday, March 11, 2016

මගේ කතාව 2 - හතරේ පන්තිය

අප අළුත් නිවසට එනවිට මා සිටියේ හතර වසරේය. ඒ වන විට මගේ දෙවැනි සැත්කම කිරීමට සුදුසු කාළය එලැඹෙමින් පැවතිනි. නමුත් දෙවන සැත්කම කිරීමට ඩොක්ටර් නරෙන්ද්‍ර අල්ලා ගැනීම පහසු කටයුක්තක් නොවීය. ඒ ඔහු නැවත ඉන්දියාවටනිතර යන එන බැවිනි. තාත්තා වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටියේය.

ඒ ගැන එතරම් අවබෝධයක් නොතිබූ මම සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි. හතර වසරේ පන්ති භාර ගුරුතුමා වූයේ ඩග්ලස් සර් ය. ඔහු අපට ගණිතය උගැන්වුවේය. වෙන පන්තිවල ගුරුවරු මෙන්ම මොහුද අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයෙක් වූ බැවින් අපේ තාත්තාගෙන් ණය ගැනීමට උපකාර ලබා ගත්තේ ය. අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගැනීමට පෝරම පුරවා ගැනීමට ගුරුවරුන්ට මා පියාගෙන් උදවු ලැබිනි. දිනක් අප ගණන් සාදමින් සිටින විට වෙනත් ගුරුවරයකු මා සොයා පැමිණියේය. ඒ මගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි. සර් ළමුන්ට ගණන් සාදන්නට කියා මාව කැඳවා අවශ්‍ය උපකාරය කල හැකිදැයි විමසීය. ඒ අතරතුර ළමුන් ගණන් සෑදීම පැත්තකින් තියා කෑකෝ ගසන්නට වූ බැවින් සර් කීපවරක්ම නිශ්ශබ්ද වන ලෙස සංඥා කලේ ය. නමුත් අනෙක් ගුරුතුමා යන තුරුම ඝෝෂාව පැවති බැවින් සර්ට තරහ ගියේ ය. ඔහු ඒ වනවිට ගණන් සාදා අවසන් නොමැති සිසුන්ට වේ වැල් කසාය දුන්නේ ය. මම සර් සමඟ සාකච්ඡා කල බැවින් මට ද ගණන් සෑදීමට වෙලා මඳ විය. මේ නිසා මට ද වේවැල් පහරක් වැදින. එවේලේ මට ඇඩුනි. ඒ වේ වැල් පාරටත් වඩා උදව් කරන්න ගිහින් මා නිරපරාදේ ගුටි කෑ නිසාය.

පුංචිම කාලේ සිටී අනුරධාගෙන් පස්සේ මගේ හොඳම යාළුවා වුනේ අනුරාධ ය.ඔහු මට මුණ ගැසුනේ දෙකේ පන්තියේ දීය. එනම් මා මහානාමයට ඇතුල් වූ වර්ශයේ මය. ඒ මට පන්තියේ තවත් ළමයෙකු පහරදෙන අවස්තාවක විය. මා දුර්වල ළමයෙකු බැවින් ඔහුට එරෙහිව සටන් කිරීමට ශක්තියක් මට නොතිබුනි. එවේලේ එතනට පැමිණි අනුරාධ වීරයකු සේ මා බේරා අනෙක් සිසුවාට පහර දී පලවා හැරියේ ය. එතැන් පටන් ඔහු මගේ හොඳම මිතුරා ද වීරයා ද විය. ඔහු ඒ කාලේ සිටම නාහෙට අහන්නැති දරුවකු වූ අතර ඉගෙනුමට ද දක්ෂ නොවීය. කෙසේ නමුත් ඔහු මා සමඟ හතර වසර දක්වාම එකට පැමිණියේ ය. ඉන් පසු අප දෙදෙන එකම පන්තියට වැටුනේ නැත. ඒ නිසාම ඔහුත් මාත් අතර වූ සම්බන්ධය ද බිඳ වැටිනි. පසුව ඔහු මයිකල් නයිට් ලෙස කා අතරත් ප්‍රසිද්ධ විය. නමුත් ඔහු තවදුරටත් චණ්ඩිය කු නම් නොවිනි.

දිනක් මගේ නැති වුනු පැන්සලයක් අනුරාධ ලඟ තිබෙනු මා දුටුවෙමි. මා එය ඉල්වූ විට ඔහු කීවේ ඒ තමාගේ පැන්සල බවයි. පසුව එය අප අතර දබරයක් ඇති කිරීමට හේතු විය. අවසානයේ පැමිණිල්ල ඩග්ලස් සර්ට යොමු විය. ඔහු පැන්සල තම බාරයට ගෙන පැන්සල උල් කලේ කෙසේදැයි දෙදෙනාගෙන් ම විමසීය. මා පැන්සල් උල් කරන්නේ පිහියෙන් බවත් ඔහු උල් කලේ කටර් එකෙන් බවත් පැවසූ විට පැන්සල හොඳින් නිරික්ෂණය කල ගුරුතුමා එය අනුරාධට අයිති බවට නිගමනය කලේය. නමුත් එක වරම පන්තියෙන් එම තීරණයට එරෙහි ඝෝෂාවක් ඇති විය. ඒ මා බොරු නොකියන බවත් එය මගේ පැන්සල විය යුතු බවත් පවසමිනි. ඒ අනුව බහුතර කැමැත්තට ඉඩ දෙමින් පැන්සල මට බාර දුන් අතර පැන්සල හොරකම් කිරීම සම්බන්ධයෙන් අනුරාධව දණ ගැස්වීමට කටයුතු කලේය. එවිට අනුරාධ දණ ගසාගෙන තරහ පිට කිරීමට මෙන් බිම තිබු වැලි කන්නට පටන්ගත්තේ ය. මෙයින් බියට පත් සර් ඔහු ලවා ලියුමක් ලියවා ගත්තේ ය. තමා වැලි කෑ බවත් එයින් යම් ආබාධයක් වූවොත් එහි වගකීම තමා සම්පූර්ණයෙන් බාර ගන්නා බවත් එහි සඳහන් විය.
පසු දිනක මට මගේ පැන්සල ගෙදර තිබී හමු විය. එයින් මම මහත් කම්පාවට පත් විය. සර් ගැටළුව විසඳු ආකාරය මට සිහිපත් විය. එවෙලේ මට සිහි වූයේ උම්මග්ග ජාතකයේ එන මහෝෂධ පණ්ඩිතයන් ය.  

Monday, March 7, 2016

159 සතිය

යම් ප්‍රතිඵලයක් සඳහා තිබියයුතු ‍හේතූන්ට වඩා නොතිබිය යුතු හේතුන් රාශියක් ඇති බව මතක තබා ගත යුතුය.

Saturday, February 27, 2016

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 2

ලැබුනු අලුත් නිදහස් පරිසරය තුල අපි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීමට පෙළඹුනෙමු. ගෙවත්තක අත්දැකීම අවුරුදු දෙකක් නොලැබුනු අපිට එතරම් විශාල නොවුනත් ඒ වටපිටාව හොදටෝම ප්‍රමානවත් විය. අපේ නිදහස ටිකක් හෝ ඇහිරුනේ සීනි ආච්චිගේ අඳා්ෙවැඩියාව නිසාය. හැමදාම හැන්දාවට වත්තේ මල්ගස් කැඩුවාය, මිදුල හැඩි කලාය යැයි අම්මාට ගතු කීම නිසා අම්මාගෙන් අපට බැනුම් අසන්නට සිදුවිය. අම්මා මෙය අපේ තැනක් නොවන බව සිහිතබාගන්නා ලෙස තරයේ අවවාද කර සිටියාය. නමුත් කොලු වයසේ සිටී අපට එය එතරම් ගනණක් නොවීය. අප සුදුරුදු පරිදි සෙල්ලමෙහි නිරත විය.

මා වඩාත් කැමති වූයේ සර්පයන් ගැන අවධානය යොමු කිරීමටය. එතරම්ම එහි විවිධ සර්පයන් දකින්නට ලැබුණි. වත්තට ඇතුලු වන තැනම ඇඹරැල්ලා ගසට යාව පිහිටි පොල් ගස්, කෝපි ගස් හා වෙනත් පඳුරු වර්ග තිබුනු කොටසේ ඇහැටුල්ලන්, පලා පොළඟන්, මාපිලන් හා අහර කුක්කන් වැනි කුඩා සර්ප වර්ග මෙන්ම නයි ගැරඬි හා පොළඟුන් වැනිතරමක් විශාල සර්පයන් ද ගැවසෙනු දැකගත හැකි වෙයි. දිනක් මට එහි සර්පයින් දෙදෙනකු වෙලී සිටිනු දැක ගන්නට හැකිවිය. පළමුව මා සිතුවේ ඒ ගැරඬි දෙදෙනකුකියාය. නමුත් ලංව බැලූ කල එක් සර්පයකුගේ හිසෙහි වූ 'ප' අකුර දැක ගත හැකි විය. දෙදෙනා එකට වේලී ඇඹරෙමින් රණ්ඩු කරන්නේ ද නැතිනම් ප්‍රේමාලිංගනයේ යෙදෙන්නේ දැයි මට කුතුහලයක් විය. ඒ අවදිය වන විට මා හතර වසරේ සිටී අතර ස්ත්‍රි පුරුෂ ප්‍රේමය ගැන පාසැල් වැන් රියේදී උගෙන ගත්තේ ඒ අවධියේ දීය. මේ නිසා එකට ඇලී සිටින කුහුඹු, මැසි, මැඬි වැනි සතුන් ජෝඩු දකින විට ඔවුන් ප්‍රේමයෙන් වෙලි සිටින්නේ යැයි අදහසක් මගේ සිතට නිතතින්ම පැමිණියේය. මේ නිසා දෝ මා සර්පයින් දෙදෙනාගේ වෙලීමත් හොඳින් නිරික්ෂණයේ නිමග්නව සිටියේ. එහෙත් එක වරටම පොල් ගසක් උඩ සිට වියලි පොල් අත්තක් සමඟ තවත් සර්පයෙක් ඒ අසලට වැටින. ඒ කුමන වර්ගයේ සර්පයෙක් දැයි දැන ගැනීමටත් පෙර උෟ බිලක් තුලට රිංගා ගත්තේ ය. වලිගයේ ස්භාවය අනුව ඒ විශාල ගැරඬියෙකැයි මම නිගමනය කලෙමි. මෙම සිද්ධියෙන් කලබලයට පත් අනෙක් සර්පයින් දෙදෙනා ද වෙලුම ලිහා ගැනීමටවත් ප්‍රමාද නොවී කොළරොඬු අතරේ සැඟවී ගියෝය.

මෙසේ කාලය ගෙවන අතර දිනක් අයියා මට රොබින්හුඩ් කරමුදැයි යෝජනා කලේය. එකල රොබින්හුඩ් යනු අයියාගේ වීරයෙක් විය. අපි ගමේ ඉන්නකාලයේ දුනු ඊ තල සාදාගෙන ටාසන් සමඟ දඩයමේ ගියාට පසු නැවත එවැනි ක්‍රිඩා කිරීමේ අවස්තාවක් අපට නොලැබිණි. ඒ කාලයේ රොබින්හුඩ්ලා සිටියේ නැත. කෙසේ වෙතත් දුන්නකට මගෙත් ආසාවක් තුබූ බැවින් කෝපි දඬු දෙකක් ගෙන එවායේ ලනු දෙකක් බැඳ දුනු දෙකක් සාදා කෝපි කොටුම කීපයක් උල් කර ඊ තල ද සාදාගෙන අපි රොබින් හුඩ් කලෙමු. එහිදි දෙදෙනා මීටර 100ක් පමණ දුර සිට මාරුවෙන් මාරුවට ඊ තල විද ගනිමු. ඊ තල වලින් බේරුනු කෙනා ජය ගන්නා අතර ඊ තල වැදුනු කෙනා පරාජය වේ. අප අතර තුබුනු දුරේ හැටියට ඊ තලයක් වැදුනේ බොහොම කලා තුරකිනි. වැදුනත් උල් කල පැත්තම නොවැදී යන අතර වදින වේගය ද ඉතා අඩු බැවින් දෙදෙනාටම අනතුරක් නොවිනි. එහෙත් සවස් වන විට ඊ තල පැහැදිලිව නොපෙනීමට විය. මේ නිසාම එක් වරම පැමිනි ඊ තලයක් මගේ දකුණු ඇසේ වැදින. වහාම ඇස දෑතින් වසා ගත් මම එතැනම වාඩි විය. එයින් බයටත් තැතිගැනීමටත් පත් අයියා මා අසලට පැමිණ ඇහැ පරික්ෂා කර බැලීය. එය ඇසත් නාසයත් අතර තැනක වැදී ඇති බවත් ඇස කෙලවරින් ලේ ගලන බවත් වහා ඇස සොදාගන්නා ලෙසත් අයියා පැවසීය. නමුත් මට ඇස ඇරගැනීමට නොහැකි විය.අම්මා පැමිණි විට කීමට බොරුවක් ද අපි ගොතා ගතිමු. සාදා ගත් දුනු ඊ තලද හතරට පහට කඩා ඈත වත්තකට විසි කලෙමු.

හවස අම්මා පැමිණි විට ඇසට වූ විපත දැක වහා මා ආරෝග්‍යශාලාවකට ගෙන ගියේය. වත්තේ අැවිදින විට කෝටුවක් ඇනුණු බවයි මා ඔවුන්ට පැවසූවේ. ඇස පරික්ෂා කල වෛද්‍යවරයා ඇසට හානියක් නොමැති බව පවසා බෙහෙත් දමා ඇස රෙදිකඩකින් වැසුවේ ය. ඇසෙහි ගැල්වීමට බෙහෙත් වර්ගයක් ද දුන්නේ ය. ඇස සුව අතට හැරීමට මාසයක් පමණ ගත විය. ඊට පෙර දිනයක දිමි ගොට්ටක් ඇසට වැටීවූ අලකලංචියද එවේලේ මගේ සිහියට නැගින.
  

Thursday, February 25, 2016

සංසාරය

පෙරදිනේ කුමක් වී දැයි නොදනිමි
හෙටදිනේ කුමක් වේ දැයි නොදනිමි
ඉන්නෙ මා දන්නෙ මා අදගැනයි එපමණයි
හමුවුනේ වෙන්වුනේ කෙලසදැයි දන්නෙ මං අද ගැනයි
 
පෙරදිනේ රැස්කලා යම් දෙයක් මා ඉතින් - විඳින්නේ වේදනා ඒ නිසයි මේ ලෙසින්
පෙරදිනේ ඔබ සොයා ආ නිසයි මා ඉතින් - හමුවුනේ අද දිනේ අප යලිත් ‍මේ ලෙසින්
 
අද දිනේ රැස් කලොත් යම්දෙයක් මේ ලෙසින් - ලැබෙන්නේ මට යලිත් ඒ දෙයයි හෙට ඉතින්
පතන්නේ මා යලිත් ඔබව නම් මේ ලෙසින් - විඳින්නේ මේ වියෝ දුක තමයි හෙට ඉතින්

Friday, February 19, 2016

158 සතිය

අප විසින් ම සාදාගත් සීමාවන්ට අප සිර වී සිටින්නෙමු.

Friday, February 12, 2016

මගේ කතාව 2 - අලුත් ලෝකය

සීනි ආච්චි තරමක් ලෝභ තැනැත්තියක් වූ අතර පැණි ආච්චි යහපත් කෙනෙක් විය. ඈට තිබුනු එකම හා ලඟම මිතුරා වූයේ වෑර්ලස් රේඩියෝවයි. නිතරම එයට සවන් දෙමින් කාමරයට වී සිටී ඈ එළියට ආවේ ආහාර ගැනීමටත්, හවස බුදුන් වැඳීමට මල් කැඩීමටත්ය. එම නිවසේ ඉදිරිපස වම් කෙලවරට වන්නට පිච්ච වැලක් තුබූ අතර ඈ මල් පෙති අත ගාමින් හීන් සීරුවට හොඳම මල් පමණක් තෝරා ගනී. නංගී නිවසේ සිටියෝත් ඈ නංගීව ද බුදුන් වැඳීමට අඬ ගසා ගනී.

පිච්ච වැලට අමතරව රෝස, ඇන්තූරියම්, වද, කූඩළු, දාස් පෙතියා ඇතුලු විවිධ වර්ගයේ මල් ගස් මෙන්ම වෙනත් වර්ගයේ ගස් ද විශාල ප්‍රමාණයක් වත්තේ තිබිණ. අපේ මුල්ම නිවසේ තිබූ තරම් විශාල වත්තක් නොවුනත් කලින්  කොහෙත්ම වත්තක් නොතිබුනු කූඩුවට වඩා අලුත් නිවස අපට දෙව් විමනක් විය. එය ප්‍රධාන පාරෙන් ඇතුලට වන්නට ගුරු පාරකට මුහුණලා තිබුනු බැවින් අපට පාරද සෙල්ලම් කිරීමට යොදා ගතහැකි විය. එය දෙමව්පියන්ට ද මහත් සහනයක් වන්නට ඇත. මන්ද අප වාහනයකට යටවීමේ අවධානමක් එහි නොවීමය. ඒ බය අපට ද නොවුනු බැව්න්දෝ මා පා පැදියකට හැප්පුනේ.

වත්තට ඇතුලු වන තැනම වම් කෙලවරේ ඇඹරැල්ලා ගසක් ද පොල්ගස් කීපයක් ද සහිතව කැලෑව වැවී තිබූ අතර එය ගැරඬියන්, නයින් හා පොළඟුන්ට ද නවාතැනක් විය. ඊට අමතරව පලා පොළගුන් හා ඇහැටුල්ලන් ද ඉඳහිට එහි පැමිණ සිටිනු අපට දැක ගත හැකි විය. වත්තේ ඉදිරිපස දකුණු පැත්තේ කෝපී ගස් සිටුවා තිබූ අතර ළිඳ පිහිටියේ ද ඒ හරියේ ය. එය විශාල ළිඳක් වූ අතර දැලකින් ආවරණය කොට තිබිණ. එහි හුංඟන් කීප දෙනෙක් සහ ඉස්ගෙඩියන් විශාල ප්‍රමාණයක් ද ජිවත් විය. නිවසේ දකුණු දෙසින් නම නොදන්නා ගසක් තිබූ අතර එයට නැගීමෙන් නිවසේ වහලට නැගීමට හැකිවිය. නමුත් එහි දිමිගොටු දහයක් පහලොවක් තිබූ බැවින් වහලට නැගීම එතරම් පහසු කාර්යයක් ද නොවීය. වත්ත පිටුපස වතුර ටැංකිය ද වැසිකිලිය ද විය. ඒ හරියේ නිතර තෙත ගතියෙන් යුක්ත වූ බැවින් මඩේ සැදෙන කටු පඳුරු කීපයක් විය.

මේධංකර පාර ප්‍රධාන පාරේ සිට පල්ලමට වූ බැවින් වත්තේ වම් පැත්තට අල්ලපු ඉඩම තරමක් ඉහලිනි පිහිටියේ. එහි තරමක් පරණ නිවසක් වූ අතර එහි ජීවත් වූ පවුලේ අයියා කෙනෙක් හා අක්ක කෙනෙක් වූ නමුත් අප සමඟ මිත්‍රවූයේ අක්කා පමණි. ඇය නමින් සාගරිකා ය. එම නිවසේ ද ඇනෙක්සියක මුස්ලිම් පවුලක් ජීවත් විය. ඒ අළුත විවාහ වූ ජෝඩුවකි. අප නිවසේ ඇනෙක්සියේ උන්නේ ද අළුත විවාහ වූ ජෝඩුවක් නමුත් ඔවුන්ට කිරිකැටියෙක් ද විය.
ඉදිරි පසින් ගුරුපාර ද, දකුණු පසින් හා පිටු පසින් හිස් ඉඩම් ද වූ බැවින් අසල්වැසියන් ලෙස සිටියේ සාගරිකා අක්කලා පමණි. සාගරිකා අක්කා ද නංගිගේ පාසලේම විය. ඒ නිසයි ඈ හා අප ඉක්මනින් ම මිතුරු වූයේ. ඇඹරැල්ලා ගස ඔවුනගේ වත්තට මායිම්ව පැවති නිසා අප එකතු වූයේ ඇඹරැල්ලා ගස අසලටයි. ඒ කාලයට පවතින උඩින් යෑමේ ආසාව නිසා අප බොහෝවිට උන්නේ ගස උඩය. සාගරිකා අක්කා සෙල්ලම් කිරීමට වැඩි ප්‍රියතාවයක් නොදැක් වූ අතර කෑදර තැනැත්තියක් විය. ඒ නිසා බොහෝ විට ඈ යෝජනා කලේ ආහාර ගැනිමේ ක්‍රම පිළිබඳවයි. ඈ අක්කා වු බැවින් ඈ කරන යෝජනා බොහෝ විට ක්‍රියාත්මක විය. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් ගෙන එහි ඇති රසකාරක පැකට්ටුවේ ඇති කුඩුත් සමඟ බයිට් වර්ග කන්නා සේ අමුවෙන් ආහාරයට ගැනීම ඇගේ විනෝදාංශයක් වූ බැවින් අපි ඇඹරැල්ලා ගස උඩ ඉඳගෙන ඒවා ආහාරයට ගතිමු. ඊට අමතරව පාන් පුඩින් සෑදීම, වෙරළු තම්බා අච්චාරු දැමිම ඇතුළු විවිධ ආහාර වර්ග සෑදීම සාගරිකා අක්කා සමඟ කල ක්‍රියාකාරකම් අතර විය. ඇගේ කෑදරකම නිසාමදෝ ඇය අපට පෙනි පෙනී මහත් විය.

Monday, February 8, 2016

157 සතිය

අනුන් ලියන නව කතාවකින් තමා කැමති කතාවක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.