Monday, April 28, 2014

වදිම් මුනිදු ධා

ඕදාත නීල පෑ විහිදා සදුන් කුටිය තුල වඩනා
වදිම් සාදු සිත පහදා  සුගත් මුනිදු ධා

තුන්ලෝ සත වෙත කරුණා මෙත් ගගුලේ සිසිල බෙදා
දසබිම්බර මරු පැරදු බුදුහිමි වැඩ සිටිනා සේ සිතට දැනෙනවා

 නරලෝ සත සිත තෘෂ්ණා ගත් පාවක  නිවා සදා
නිවන පතනු රිසින් දනා බුදුහිමි දැක වදිනා සේ ධාතු වදිනවා

Thursday, April 24, 2014

97 සතිය

යතාර්ථවාදීව හෝ මවක ගේ දෑසින් හෝ ලෝකය දිහා බලන්න. ඔබට වැරදිකරුවකූ සොයාගත නොහැකි වනු ඇත.

Friday, April 18, 2014

96 සතිය

අප සියලු දෙනාටම ආදරය කලද සියලු දෙනාම විවාහ කරගත නොහැක. එසේම විවාහය ආදරය කිරීමට සීමා පනවයි නම් විවාහ නොවීම වඩා හොඳය.

Sunday, April 13, 2014

අපේ සංස්කෘතිය මොක ?

මේ දවස්වල ඉතින් හැම තැනම වෙනදට වඩා වෙනස් වෙලා නෙව. යකඩෝ සුපිරි මාර්කටු වලත් රෙද්ද හැට්ට ඇදගත්තු ලමිස්සියෝ ආයුබෝවන්ඩ කියලනෙව අපිව පිළිගන්නේ. හැබෑට මං බැලෙව්වා මොකෑ මේ වෙනස කියලා. බලාපිනම් මේ සංස්කෘතික මංගල්ලයක් නිසාලුනෙව. අපේ සංස්කෘතිය සාරසොබාවට පෙන්නන්ටලු නෙව ඔහොම ඉන්නේ.

හත්තිලව්වයි, මං මෙච්චරකල් හිතා උන්නේ අපේ සංස්කෘතිය නාඹර වයසේ නාම්බොයි නෑම්බියොයි  කියල වෙනසක් නැතිව කොයි කවුරුත් කලිසන් සෝර්ට් ඇදල ඉන්න එක කියලනෙව. මං උන්නේ ඒ අපේ සංස්කෘතික ඇදුම කියලමයි ඕං. උදේට මුලිච්චිවුන කෙනෙක්ට මෝර්නින්ග් කියන එකත් යනකොට බායී කියන එකත් අපේ සංස්කෘතියේ චාරිත්‍රයක් කියල නෙව මං හිතා උන්නේ. බැලින්නම් කවුරුහරි මුලිච්චි උනාම ආයුබොවන්ඩ බැහැරක්ද කියලා දොඩන එකලුනෙව අපේ සංස්කෘකිය.
ඒ විතරක්යෑ අපේ සංස්කෘතිය පෙන්නන්න කියලා උත්සවයක් තිබ්බොත් කියන්නෙම ජනකවි ජනගී නෙව. මං උන්නේ අපේ සංස්කෘතියේ ගීත නැටුම් කියන්නේ ටෙලිවිසොන් එකෙයි,  සැටොප් එකෙයි නිතර දේවේලේ යන එව්වා කියලනෙව. බැලින්නම් හප්පොච්චියේ අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නෙව.

මං මෙතුවක් කල් හිතාන උන්නේ රටක සංස්කෘතිය කියන්නේ ඒ රටේ බහුතර මිනිස්සුගේ ජීවන රටාව, කන බොන අදින පළදින විදිය කියල නෙව. දැං බැලින්නම් සංස්කෘතිය කියන්නේ ආදීවාසීන්ගේ ජීවන රටාවටනෙව. ඔය අර එදාහෙළදිව ලියපු සුදු මහත්තයා    වගේ පරදේසක් කාරයෙක්ට හිතුනොත් ලංකාවේ සංස්කෘතිය ගැන අද්දියොනයක්, පරීක්සොනයක් කාරිය කොරන්ට උන්නැහේ අලි අමාරුවක නෙව වැටෙන්නේ. උන්නැහේට බක්මහේ විතරයි නෙව ලංකාවේ සංස්කෘතිය ගැන අද්දියොනය කොරන්ට වෙන්නේ. අනේකාලේ වනේවාසේ කියන්නැහේ අපේ සංස්කෘතිය පෙන්නන්ටෙයි කීවම අපි කොරන්ටේ මේ ආදීකාලේ මිනිස්සු කොරපු කියපු ඒව පෙන්නන එක මිසක්කා අපේ වර්තමාන සංස්කෘතික ලක්සොන පෙන්නන එක නොවේය කියලත් මට හිතෙනව අප්පා.

මේ ඇත්තටම අපේ සංස්කෘතිය මොක?  

Thursday, April 10, 2014

95 සතිය

අප පවින් වැලකිය යුත්තේ අපේ යහපකට නොව බහුතරයකගේ නියම යහපතටයි. එවිට අපේ නියම යහපතද සැලසේ.

Saturday, April 5, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 25

අනූෂාගේ මූණ හරියට නිකන් යකෙක් දැකලා බය වෙච්ච එකක් වගේ ඒ වෙලාවේ තිබුනේ. හාන්සි වෙලා උන්නු මම එයා දැකක් ගමන් ඉද්ද ගැහුව වගේ කෙලින් උනා. කෙලින් වෙලා ඇද මිට්ටමට හේත්තු වෙලා අනූෂාගෙන් ඇහුවා "මොක ද අනුෂා මේ රෑ, මොකක්ද ප්‍රශ්නේ ?" කියලා. එතකොට එයා කිව්වා "අනේ අරවින්ද ඔයාට ඉනෝකා ඕනනම් මෙහෙන් යන්න. මට හරි බයයි අරවින්ද " කියලා. මං බැලුවා මොකක්ද මේ එකපාරටම කඩන් වැටිච්ච හෙනේ, මට නම් මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඉතින් මං අනූෂාට කිව්වා "හරි හරි දැන් මොකක් ද වෙලා තියෙන්නේ ඇයි මං මෙහෙන් යන්නේ කලබල නැතුව මෙහෙන් ඉදගෙන හරියටම මොකක්ද උනේ කියන්න" කියලා.

අනූෂා දොර ලග තිබුනු පුටුව දිහා බලලා ඒක උඩ ඉන්දඋනා. ඊ ළගට ටිකක් වෙලා බලන් ඉදලා "අද අපි දෙන්නව ඩැඩීගේ අතටම අහුවුනා. මායි ඉවෝනුයි ක්ලබ් එකේ ඉන්නකොට ඩැඩී එකපාරටම ක්ලබ් එකට ආවා. මායි ඉවෝනුයි සැටි එකක් උඩ හිටියේ. ඩැඩී ළගට එනකම්ම දැක්කෙ නෑ. එක පාරටම "අනූෂා.." කියලා මගේ අතින් ඇදලා අරන් කම්බුලට පාරක් ගහලා "පලයං ගිහින් කාරෙකට නැගපන්.." කියලා මාව තල්ලු කලා. ඊ ළගට ඉවොන් දිහා බලලා "උඹ ගැන මං පස්සේ බලා ගන්නම් සිරිල්ගේ කටු කන බල්ලා.." කියලා මාවත් ඇදගෙන ඇවිත් කාරෙකට නග්ගගෙන ගෙදර ආවා. ගෙදර ඇවිත් මට හොදටම දෙහි කපලා අන්තිමට කිව්වා "තෝ ආයේ ඉගෙන ගන්න ඕන නෑ. ඔය ඉගෙන ගත්ත හරිය ඇති. දැන් ඉතින් කසාදයක් කරල දෙන එකයි තියෙන්නේ. උඔ ලැස්ති වෙයන් අරවින්ද ව බදින්න" කියලා. ඔයා දන්නේ නෑඅපේ ඩැඩිගේ හැටි, එයා දෙයක් කිව්වොත් කිව්වා. අනේ අරවින්ද ඔයා මෙහෙන් ගිහින් වෙන කොහේ හරි ඉන්න. නැත්නම් ඩැඩී ඔයාව මට බන්දන එක නම් ෂුවර්" කියලා කිව්වා.

අලි මදිවට හරක් කියන්නැහේ මේ මොකක් ද බොල මේ වෙන්නේ කියලා මාව තුෂ්නි:භූත වෙලා ගියා. එයා කියපු දේවල් හරියට මොලේට තේරුම් යනකන් ටිකක් ඉදලා මං කිව්වා "එහෙම කොහොමද අනූෂා මිනිස්සුන්ව බලෙන් බන්දන්නේ, ඔයා බය නැතුව ඉන්න. අනික ඔය තාත්තා තරහට කියපු දෙයක් මිසක් හිතලා කියපු දෙයක් නෙවේ. ඔයාගේ තාත්තට පිස්සුයෑ මං වගේ හිඟන්නෙකුට තමන්ගේ එකම දුව බන්දල දෙන්න. පිස්සු නැතිව ගිහින් බුදිය ගන්න අනූෂා" කියලා.ඒ පාර අනූෂා කියනවා "විහිළු නෙවේ අරවින්ද ඩැඩී ඒක කියපු විදියට නම් එයා මාව ඔයාට බන්දලා දේවීමයි. මං කියන දේ අහලා ඉනෝකාගේ තාත්තට කියලා හරි කමක් නෑ, වෙන රස්සාවක් හොයාගෙන මෙහෙන් යන්න ප්ලීස්.." කියලා. මං ඉතින් එයාගේ හිත හදන්නත් එක්ක "හරි හරි ළමයෝ මං ඒක බලා ගන්නම්, ඔයා දැන් ගිහින් බුදිය ගන්න, දැන් මුදලාලී මේ පැත්තට ආවොත් විසුමක් වෙන්නේ නෑ, මාත් කපෝතියි" කියලා කිව්වා. ඊට පස්සේ අනූෂා " මං ඔයාගේ හොදටයි කිව්වේ, මං කොහොමත් ඉවොන්ට ආදරේ කලේ නෑ, ඒත් ඔයයි ඉනෝකායි අතර තියෙන්නේ ඇත්තම ඇත්ත ආදරයක්, එහෙම නේද අරවින්ද?, ඒක නිසා ඔයාට ඉනෝකාව ඕන්නම් මෙහෙන් යන්න.." කියලා ඉක්මනට දොර ඇරගෙන එළියට ගියා. 

එයා ගියාට පස්සේ මට අමුතු බයක් දැනෙන්න පටන් ගත්තා. මාව නිකන් කුම්නත්‍රණ කාරයෝ ගොඩකට අහුවෙලා වගේ දැනෙන්න පටන් ගත්තා. කවුරු හරි ද කවුරු වැරදි ද, මං කා ගැන ද විශ්වාස තබන්නේ කියලා හිතාගන්න බැරුවයි මන් උන්නේ. ඇත්තටම අනූෂා කියපු දේ ගනන් ගත යුතු දෙයක් ද?, තාත්තලා තරහ ගියාම ඔයවගේ දේවල් කියන එක සාමාන්‍ය දෙයක්නේ. ඒක හරියට තෝ මං කියන විදියට හිටියේ නැත්නම් නරියෙකුට බන්දලා දෙනවා කිව්ව වගේ කතාවක්නේ කියලා මට හිතුනා. ඒත් එක්කම මුදලාලී කියපු දෙයකින් ආයෙත් හිත ගැස්සෙන්න පටන් ගත්තා. මොකද මිනිහා කිව්වනේ  මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න කියලා.ඒ මේ කාරණාව ගැනද? නැත්නම් වැඩපලේ දෙයක් ගැනද? 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/05/26.html

Tuesday, April 1, 2014

94 සතිය

ඉගෙනීම යනු ආයතන හයට ලැබෙන අරමුණු අනුව සිදුවන මානසික හා කායික ක්‍රියාවලිය නිසා ඇතිවන ආකල්පමය හා ක්‍රියාකාරී වෙනසයි.

Thursday, March 27, 2014

කීකරු නෑ සිත ඉස්සර වාගේ

කීකරු නෑ මට අවනත නෑ සිත - ඉන්නෙම නෑ මගෙ ලඟට වෙලා
ඔබ දුටු දා සිට  මුරණ්ඩු වී ඇත  - යන්නෙම ඔබ හා දැවටීලා

උඩු සුළඟට අසු වී සේවෙන් මිදිලා - ඈතට ඇදෙනා සරුංගලේ වාගේ
යුවනෝදෙට මැදි වී ආලෙන් වෙලිලා - ඒ සිත අද නෑ නිසංසලේ මාගේ

මහ වැස්සක සැඩ වී වේගෙන් ගලලා - සයුරට ඇදෙනා මහෝඝයක් වාගේ
අඩ නින්දක පසු වී හීනෙන් මිදිලා - උඹවම සොයනා ආතුර සිත මාගේ

Tuesday, March 25, 2014

93 සතිය

යමක් කිරීම අවශ්‍යම නම් හා එය කිරීමට අකමැතිනම්/බයනම් සිතීම නතර කල යුතුය. එවිට එය කිරීම අපහසු නොවනු ඇත.

Friday, March 21, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 24

එතනින් එළියට ආවට පස්සේ මගේ ඔලුව නිකන් යකාගේ කම්මල වගේ වැඩ කරන්න පටන් ගත්තා. ඔලුව නිකන් පැලෙන්න වගේ. එක පැත්තකින් ගණිකාවක් ඇසුරු කිරීම ගැන මගේ හිත මටම දෙස් තියනවා. අනෙක් පැත්තෙන් මගේ සත්ගුණවත් මුදලාලියා මහ ජඩ නරුමයෙක්. ඒ විතරක් නෙවේ ලෝකෙට සුදනා කියල පෙන්නන ඉනෝකාගේ තාත්තා රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ දෙබිඩි චරිතයක්.
මං දැන් මොනා කරන්නද කියලා හිත හිත තමයි මං ගෙදර ආවේ. ගෙදර එනකොටම මුදලාලියා ඉන්නවා ඉහඅත බදාගෙන හාන්සි පුටුවකට බරවෙලා අහස පොළව ගැටලන්න වගේ උඩ බලාගෙන. මට දැන් ඒ මිනිහා දිහා කෙලින් බලන්නත් මොකක් ද වගේ. ඒත් අමාරුවෙන් බොරු හිනාවක් මවාගෙන ගෙට ගොඩවුනා.
එතකම්ම මිනිහා මාව දැක්කෙ නෑ. මං ස්තෝප්පුවට ගොඩඋන ගමන් මිනිහා මාව දැකලා මට කතා කලා. "ආ අරවින්ද මොකද මේච්චර රෑ වෙලා. සෑහෙන්න මහන්සි පාටයි. මොකද වැඩ හොදට යනවනේ". මට අහපු ප්‍රශ්නේ එකපාරට ඔලුවට ආවේත් නෑ. මං "ආ.. ම්මෙ.. ඔව් ඔව් ඒවා ඔක්කොම හරි" කියලා මං ගෙට ඇතුල්වෙන්න හැදුවම මිනිහා කිව්වා " මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න, ඒත් දැන් රෑ වෙලා වැඩී. ඒක පස්සෙ වෙලාවක  නිදහසේ කතාකරන්න ඕන කාරණාවක්". මුදලාලී මට පුතා කියලා කතා කරන්නේ බොහෝම කලාතුරකින්. ගොඩක් වෙලාවට අයිසේ, තමුසේ, කොල්ලෝ වගේ නම් වලින් තමා කතා කලේ.ඉතින් ඒක නම් සෑහෙන්න වැදගත් දෙයක් වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඒ වෙලාවේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. මාත්" හොඳයි මුදලාලී " කියලා කාමරේට වැදිලා ඇද උඩ පෙරලුනා. ටිකක් එහෙම ඉදලා වොශ් එකක් දාගෙන සරමට බැහැලා හාන්සියක් දාගෙන උන්නා. මොන, හාන්සියක් දැම්මට කිසි වැඩක් උනේ නෑ. අනුලාගේ කතාවයි, මං අහුවෙලා ඉන්න මේ දුශ්ඨ ලොකේ ගැනයි නොයෙක් දේවල් සොරොව්ව ඇරපු වැවක වතුර වගේ හෝ ගාලා ඔලුවට ගලාගෙන එනවා.

අන්තිමට මං තීරණය කලා සමාජය මොන වගේ උනත් ඒක මගේ වැඩ වලට බාධාවක් නෙවෙයි. මං මුදලාලී ගාව වැඩ කලාට එයාගේ ජරා වැඩ වලට අනුබල දෙන්නෙත් නෑ. ඉනෝකාගෙ තාත්තා මොන විදියෙ මිනිහෙක් උනත් ඉනෝකා හොදට හැදිච්චි ලමයෙක්. ඉතින් මං මොකට ද ඕන්නැති දේවල් ඔලුවට දාගන්නේ කියලා.

ඉතින් ඔයවගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට කවුද කාමරේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. ඒක  හරිම හෙමින් ඇහුනේ. කවුද මේ වෙලාවේ හෙමීට දොරට තට්ටු කරන්නේ. මුදලාලීගේ හිතේ තියෙන කාරණාව ඉවසන් ඉන්න බැරුව ද දන්නෙත් නෑ. ඒක එහෙමනං ඒ කාරණාව බොහොම රහසිගත එකක් වෙන්න ඕන. නැත්නම් මගේ කාමරේට එන්නවත් හෙමීට දොරට තට්ටු කරන්නවත් හේතුවක් නෑ නෙව කියලා මට හිතුණා. මං "කවුද දොර ඇරල තියෙන්නේ " කියලා කිව්වා.
"මං මේ අනූෂා" කියලා හේමීට කියාගෙන අනූෂා දොර හෙමීට ඇරගෙන ඇතුලට ඇවිත් ටක්ගාලා දොර වැහුවා. 

  Next chapter - http://asanka-mind.blogspot.com/2014/04/25.html