Sunday, July 26, 2015

තාම මං තනිකඩය

ගං තෙරේ හැමදාම දිය දහර ගැලුවාට
ළිං පතුල තාමත් ඉරි තලයි දිය නොඑන
තුන්යාමේ සිහිනයක නුඹ මාව සිම්ඹාට
කන්වයින තාමත් තනිකඩය නිදි යහන

කතර ගඟුලක් වේද මල් තුහින වැස්සාට
මලේ පැණි රස වේද සමනළුන් වැසුවාට
සඳේ ලප නැතිවේද වළාවෙන් පිස්සාට
තාම මං තනිකඩය නුඹ ලඟින් හිටියාට

සයුර මට හිමිවේද රළ පතුල් තෙමුවාට
පැලේ තනි නැතිවේද නුඹ ගැනම සිතුවාට
ලඳේ නූඹ මගෙ වේද තුටු වදන් දෙඩුවාට
ප්‍රේම රන් මන්දිරය ඇරෙන්නේ කවදාට

5 comments:

  1. කවි ගී ලියා පද වැල් ලිව්වාට
    ගලනා ඇළ දොළට උපමා බැන්දාට
    අහසේ තරු කැට වලින් ආලය යැද්දාට
    පිළියම් ලැබෙද පෙලෙනා මෙම තනිකමට.. :-D

    ReplyDelete
    Replies
    1. කවි ගී ලිව්වේ සිත තනිකම හැරගන්ට
      ඕනේ නොමැත මට බන්ධන කරගන්ට
      ඕනැ කමක් ඇත්නම් මට හිරගන්ට
      දන්නෙමි ක්‍රමය මං තරුණියො අරගන්ට :D

      Delete
  2. ලස්සනයි කවි ටික

    ReplyDelete