Friday, March 11, 2016

මගේ කතාව 2 - හතරේ පන්තිය

අප අළුත් නිවසට එනවිට මා සිටියේ හතර වසරේය. ඒ වන විට මගේ දෙවැනි සැත්කම කිරීමට සුදුසු කාළය එලැඹෙමින් පැවතිනි. නමුත් දෙවන සැත්කම කිරීමට ඩොක්ටර් නරෙන්ද්‍ර අල්ලා ගැනීම පහසු කටයුක්තක් නොවීය. ඒ ඔහු නැවත ඉන්දියාවටනිතර යන එන බැවිනි. තාත්තා වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටියේය.

ඒ ගැන එතරම් අවබෝධයක් නොතිබූ මම සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි. හතර වසරේ පන්ති භාර ගුරුතුමා වූයේ ඩග්ලස් සර් ය. ඔහු අපට ගණිතය උගැන්වුවේය. වෙන පන්තිවල ගුරුවරු මෙන්ම මොහුද අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයෙක් වූ බැවින් අපේ තාත්තාගෙන් ණය ගැනීමට උපකාර ලබා ගත්තේ ය. අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගැනීමට පෝරම පුරවා ගැනීමට ගුරුවරුන්ට මා පියාගෙන් උදවු ලැබිනි. දිනක් අප ගණන් සාදමින් සිටින විට වෙනත් ගුරුවරයකු මා සොයා පැමිණියේය. ඒ මගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි. සර් ළමුන්ට ගණන් සාදන්නට කියා මාව කැඳවා අවශ්‍ය උපකාරය කල හැකිදැයි විමසීය. ඒ අතරතුර ළමුන් ගණන් සෑදීම පැත්තකින් තියා කෑකෝ ගසන්නට වූ බැවින් සර් කීපවරක්ම නිශ්ශබ්ද වන ලෙස සංඥා කලේ ය. නමුත් අනෙක් ගුරුතුමා යන තුරුම ඝෝෂාව පැවති බැවින් සර්ට තරහ ගියේ ය. ඔහු ඒ වනවිට ගණන් සාදා අවසන් නොමැති සිසුන්ට වේ වැල් කසාය දුන්නේ ය. මම සර් සමඟ සාකච්ඡා කල බැවින් මට ද ගණන් සෑදීමට වෙලා මඳ විය. මේ නිසා මට ද වේවැල් පහරක් වැදින. එවේලේ මට ඇඩුනි. ඒ වේ වැල් පාරටත් වඩා උදව් කරන්න ගිහින් මා නිරපරාදේ ගුටි කෑ නිසාය.

පුංචිම කාලේ සිටී අනුරධාගෙන් පස්සේ මගේ හොඳම යාළුවා වුනේ අනුරාධ ය.ඔහු මට මුණ ගැසුනේ දෙකේ පන්තියේ දීය. එනම් මා මහානාමයට ඇතුල් වූ වර්ශයේ මය. ඒ මට පන්තියේ තවත් ළමයෙකු පහරදෙන අවස්තාවක විය. මා දුර්වල ළමයෙකු බැවින් ඔහුට එරෙහිව සටන් කිරීමට ශක්තියක් මට නොතිබුනි. එවේලේ එතනට පැමිණි අනුරාධ වීරයකු සේ මා බේරා අනෙක් සිසුවාට පහර දී පලවා හැරියේ ය. එතැන් පටන් ඔහු මගේ හොඳම මිතුරා ද වීරයා ද විය. ඔහු ඒ කාලේ සිටම නාහෙට අහන්නැති දරුවකු වූ අතර ඉගෙනුමට ද දක්ෂ නොවීය. කෙසේ නමුත් ඔහු මා සමඟ හතර වසර දක්වාම එකට පැමිණියේ ය. ඉන් පසු අප දෙදෙන එකම පන්තියට වැටුනේ නැත. ඒ නිසාම ඔහුත් මාත් අතර වූ සම්බන්ධය ද බිඳ වැටිනි. පසුව ඔහු මයිකල් නයිට් ලෙස කා අතරත් ප්‍රසිද්ධ විය. නමුත් ඔහු තවදුරටත් චණ්ඩිය කු නම් නොවිනි.

දිනක් මගේ නැති වුනු පැන්සලයක් අනුරාධ ලඟ තිබෙනු මා දුටුවෙමි. මා එය ඉල්වූ විට ඔහු කීවේ ඒ තමාගේ පැන්සල බවයි. පසුව එය අප අතර දබරයක් ඇති කිරීමට හේතු විය. අවසානයේ පැමිණිල්ල ඩග්ලස් සර්ට යොමු විය. ඔහු පැන්සල තම බාරයට ගෙන පැන්සල උල් කලේ කෙසේදැයි දෙදෙනාගෙන් ම විමසීය. මා පැන්සල් උල් කරන්නේ පිහියෙන් බවත් ඔහු උල් කලේ කටර් එකෙන් බවත් පැවසූ විට පැන්සල හොඳින් නිරික්ෂණය කල ගුරුතුමා එය අනුරාධට අයිති බවට නිගමනය කලේය. නමුත් එක වරම පන්තියෙන් එම තීරණයට එරෙහි ඝෝෂාවක් ඇති විය. ඒ මා බොරු නොකියන බවත් එය මගේ පැන්සල විය යුතු බවත් පවසමිනි. ඒ අනුව බහුතර කැමැත්තට ඉඩ දෙමින් පැන්සල මට බාර දුන් අතර පැන්සල හොරකම් කිරීම සම්බන්ධයෙන් අනුරාධව දණ ගැස්වීමට කටයුතු කලේය. එවිට අනුරාධ දණ ගසාගෙන තරහ පිට කිරීමට මෙන් බිම තිබු වැලි කන්නට පටන්ගත්තේ ය. මෙයින් බියට පත් සර් ඔහු ලවා ලියුමක් ලියවා ගත්තේ ය. තමා වැලි කෑ බවත් එයින් යම් ආබාධයක් වූවොත් එහි වගකීම තමා සම්පූර්ණයෙන් බාර ගන්නා බවත් එහි සඳහන් විය.
පසු දිනක මට මගේ පැන්සල ගෙදර තිබී හමු විය. එයින් මම මහත් කම්පාවට පත් විය. සර් ගැටළුව විසඳු ආකාරය මට සිහිපත් විය. එවෙලේ මට සිහි වූයේ උම්මග්ග ජාතකයේ එන මහෝෂධ පණ්ඩිතයන් ය.  

3 comments:

  1. පව් අර කොල්ලා....

    ReplyDelete
  2. මොනා කරන්නද? පෙර වැරදි තියෙනකොට සැකයට භාජනය වෙනවා. ඒකයි අප හැම විටම නිවැරදි විය යුත්තේ. මට මේ වෙලාවේ මතක් වෙනවා සිංහල පොතේ තිබුනු ඇන්ටන් චෙකොෆ් ලියා කේ. ජී කරුණාතිලක පරිවර්තනය කල බිම්ගෙයි සිරකරුවා කතාව...

    ReplyDelete