Saturday, August 30, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 30 (අවසන් කොටස)

කාර් එක ඇවිත් අපි දෙන්නා ඉස්සරහින් නැවැත්තුවා. කාර් එකේ ඉස්සරහින් අවුරුදු 35 ක් විතර පෙනුම තියෙන ගැණු කෙනෙක් වාඩීවෙලා හිටියා. ඈ මං දිහා බලලා අමාරුවෙන් හිනා උනා. ඒ හිනාවෙ නම් කිසිම ලෙන්ගතු කමක් තිබ්බෙ නෑ. ඒ ගැනී නම් ඩෙල්සි නෝනාගේ නෑයෙක් බව දැක්ක ගමන් තේරුණා.

ඉනෝකා ඉදිරියට පැනලා කාර් එකේ පිටිපස්සෙ දොර අරින ගමන් “මේ මගේ මමී, මේ ඩැඩී“ කියලා තාත්තාගේ පැත්තට ඇඟිල්ල දික්කලා. මම ටිකක් නැවිලා එයාගේ තාත්තා දිහා බැලුවා. මිනිහා මං දිහා බලලා කටපුරා ලොකු හිනාවක් දැම්මා.  “නගින්න පුතා වාහනේට“  කියලා තාත්තා ඉස්සරහ බලා ගත්තා. ඒ මිනිහාගේ මූණ දැක්ක ගමන් මාව ගැස්සිලා ගියා. මොකද ඒ ඩ්‍රයිවර් සීට් එකේ හිටියේ මගේ තාත්තමයි.

ඉනෝකා නැග්ගට පස්සේ මාත් කාර් එකට නැගලා ඉනෝකාට නොගෑවෙන විදියට ඉදගත්තා. ඊට පස්සේ කාර් එක ඉස්සරහට ගියා. යන ගමන්  තාත්තා මගෙන් ප්‍රශ්න කරන්නන පටන්ගත්තා. “පුතා ගාල්ල පැත්තෙ කිව්ව නේද ?තාත්තා ඇහුවා. “ආ.. ඔව් ඔව් අම්බලන්ගොඩ කිරිණුගේ “ කියලා මං කිව්වම මිනිහාගේ මූණ බයඋන බවක් කණ්නාඩියෙන් මං දැක්කා. “අරවින් ද ගැන ගොඩාක් දේවල් ඉනෝකා අපිට කියල තියෙනවා. පුතාගේ තාත්තා නැති උනේ අසනීප වෙලාද? “ තාත්තා ඇහුවා. “නෑ... බෝම්බෙකට අහුවෙලා...“  කියලා මං කිව්ව ගමන් ඒක පාරටම වාහනේ රේස්වෙලා හිට්ටා. “ මොකද ඩැඩී උනේ?“ ඉනෝකාගේ අම්මා එකපාරටම ඇහුවා. “නෑ මේ ක්ලච් එක එකපාරට අතඇරුණා“  කියලා වාහනේ නැවත පණගන්වගෙන ගියා.

ඊට පස්සේ ටිකක් වෙලා යනකන් කවුරුත් කතාකලේ නෑ. මං මාත් එක්කම කතා කරන්න පටන් ගත්තා. මේක පුදුම වැඩක් ඉනෝකාගේ තාත්තට තියෙන්නෙත් අපේ තාත්තගේ මූණමයි. අපේ වාසගමුත් එකමයි. මේ නම් තාත්තගේ සහෝදරයෙක්ම වෙන්න ඕනෑ කියලා මට හිතුනා. එහෙම හිතලා මං ඇහුවා “තාත්තට සහෝදරයෙක් හිටිය ද ගුණපාල නානායක්කාර කියලා“ “නෑ නෑ මට ගුණපාල නෙවේ කිසිම සහෝදරයෙක් නෑ“ නෑ කියලා මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. ඒක මහ ව්‍යාජ හිනාවක්  බව හොදටම තේරූණා. ඊට පස්සේ මිනිහා කතාව වෙන පැත්තකට හැරෙව්වා. මගේ අනාගතේ ගැනත්, මිනිහගේ බිස්නස් වලට මාව සම්බන්ධ කරගන්න බවත් මිනිහා කිව්වා. අන්තිමට තාත්තා මට මෙහෙම කිව්වා. “අපේනම් කිසිම විරුද්ධක්වයක් නෑ මේ සම්බන්දෙට. නමුත් පුතා පොරොන්දම් හරියට ගැලපෙනවද කියලා බලලා තමා තීන්දුවක් ගන්න ඕන.“ එහෙම කිව්ව ගමන් ඉනෝකා බය උනා. “ඩැඩී කවදාවත් හඳහන් බලපු කෙනෙක්වත් ඕවා විශ්වාස කරපු කෙනෙක්වත් නෙවීනේ. ඇයි මේ එකපාරටම එහෙම හිතුනේ“ ඉනෝකා ඇහුවා. “ඒ මොනවා උනත් දුව මේ කාරණාවලදි හදහන් නොබලා වැඩ කරන එක හොඳම නෑ“ කියලා තාත්තා උත්තර දුන්නා.
මට තේරුණා ඒක නම් හොදකට කියපු දෙයක් නෙවේ කියලා. මොකද ඉනොකා මටත් කියලා තිබුනා තාත්තා ඔවා හොයල බලන කෙනෙක් නෙවේය කියලා. ඇත්තම කාරණයනම් ඒ මිනිහා වෙන කවුරුවත් නෙවේ. මගෙත් තාත්තමයි. තාත්තට ඉනෝකාගේ අම්මා හම්බවෙලා තියෙන්නේ බිස්නස් වලට කොළඹ ආපුවාමලූ.
මං පස්සෙ ඔක්කොම විස්තරේ තාත්ගෙන්ම අහගත්තා.

අරවින්ද එසේ කියද්දි මට මතක් උනේ, අරවින්දගේ තාත්තා බොම්බෙට අහුවුන වෙලාවේ තාත්තව හැඳුන්ම්පතින් අඳුරගත් බව අරවින්ද පැවසූ බවයි. එ බැවින් මං ඒ ගැන අරවින්දගෙන් විමසුවෙමි.
 “ඒත් උඹ කිව්වානේද බොම්බෙට අහුවෙච්ච වෙලාවේ තාත්තව අදුරගත්තා කියලා?“ 
 “ඔව් ඒ වෙලාවේ තාත්තගේ හැදුන්ම්පතින්නෙ අදුරගත්තේ. එදාම තාත්තගේ පර්ස්එක ගැටකපන්නෙක් අරගෙන තියෙනවා. ඒ මිනිහා තමා මැරිලා තියෙන්නේ, තාත්තා නෙවේ.“ අරවින්ද මා ඇසු පැනයට එලෙස පිළිතුරු දුන්නේය. ඒ පිළිතුරින් මට තවත් දහසක් දේ අරවින්දගෙන් අසා දැනගැනීමට ඉතිරි විය. නමුත් ඒ වෙලාවේම ඉදිරිපස උළුවස්සෙන් එළියට එබුනු අරවින්දගේ බිරිද “අනේ ඔයාලා තාම නිදි නැද්ද?, හෙට වැඩට යන්නෙ නැද්ද, දැන් එකටත් කිට්ටුවෙලානේ.“ කීවාය. ඇය කිවේ සත්‍ය බව ජනෙල් කවුළුව තුලින් සාලයේ බිත්තියේ එල්ලා තිබුනු බිත්ති ඔරලෝසුව දෙස බැලීමෙන් මට පසක් විය.

“ඇත්තමයි.. මිසිස් අරවින්ද මේ අරවිගේ කතාව අහන් ඉන්නකොට වෙලාව යනවා දැනුනේම නැ නෙව“ කියූ මම “එහෙනම් හෙට රෑට උඹේ කතාවේ ඉතිරි ටික කියපන්කෝ “ කියමින් පුටුවෙන් නැගිටිටෙමි. “හා හා එහෙනම් දැන් නිදාගමු. පළවෙනි දවසෙම ජොබ් එකට පරක්කුවෙලා ගියොත් එහෙම උඹට හෙටම ගෙදර නවතින්න වේවී“ කියා හිනාවක් දැමූ අරවින්ද “මේ කරුණේ ගේ බෙඩ් එක රෙඩි නේද අනුලා “  කියමින් අප පිටුපසින් ගෙට ඇතුළු විය.
ඒත් සමගම අනුලා දෙස බැලුනු මට අනූති හෙවත් අනුලා  සිහිපත් විය. මේ ඉන්නේ ඒ අනුලා ම දැයි සැකයක් එවේලේ මගේ සිතට ඇතුළු වූයේ නිරායාසයෙනි.

පළමු කොටස නිමියේ ය. 

Postscript - http://asanka-mind.blogspot.com/2014/09/blog-post.html 

3 comments:

  1. මෙක මුල ඉදල බලන්න ඔන්න.මෙතනින් ඉවර වුනාද?
    කතවා කියවපු ටිකනම් ලස්සනයි

    ReplyDelete
  2. මොකක්ද බං පළමු කොටස.. අවසන් කොටස.. එතකොට ඉවර නැද්ද.. අරවිගේ කතාව ආයි කියාවිද?

    ReplyDelete
  3. ස්තූතියි දමිත්,
    දේශකයානෙණි, ඒ ගැන සම්පූර්ණ පිළිතුරක් මං පසුවදන යටතේ ඊ ළඟ ලිපියෙන් කියන්නයි උන්නේ. තාත්තාගේ පොතේ අන්තිමට තිබ්බේ ඒහෙමයි.
    පළමු කොටස නිමියේ ය.

    ReplyDelete