Saturday, September 12, 2015

මගේ කතාව 2 - නසරානියන්ගේ නිවාඩු සෙල්ලං

අයියාට කුකුළු පැටව් විකුණා තිබුනේ ද මලිත් අයියා විසිනි. දිනක් මලිත් අයියාගේ ගෙදර තිබෙන දිහාවට ගිය විට මට දක්නට ලැබුනේ කුකුළු සායම් ගා පාට පාට කල කුකුළු පැටව් වේලෙන්නට අව්වේ දමා තිබෙන අයුරු ය.  එය ඔහුගේ එක් අමතර ව්‍යාපාරයක් විය. ඊට අමතරව ගප්පි වර්ග විකිණිම ද සිදු කරන ලදී. අවසානයේ අයියාට කියා පලක් නොවුනු කල තාත්තා විසින් මලිත් අයියාට අපේ නිවස තහනම් කලාපයක් කලේය. නමුත් දෙමව්පියන් නොමැති විට අයියා ඔහුව ගෙන්වා ගත් අවස්ථා තිබුනු බව මගේ මතකයේ ඇත.

අප පාසැල් නිවාඩු කාලයට විවිධ ක්‍රිඩා කරනු ලැබීය. අප වෙනත් ළමුන් ඇසුරක් එතරම් නොවූ බැවින්ද සෙල්ලම් කිරීමට තරම් ඉඩ කඩක් කුළි නිවස තුල නොවූ බැවින් ද, අපි අලුත් අලුත් දේ අත්හදා බැලීමූ. ඒ ගෙදර ඇඳක් තැබීමටවත් ඉඩකඩ මදි වූ බැවින් එක ඇඳක් පමණක් තාත්තා වෙනුවෙන් තිබුනු අතර අනෙක් හතර දෙනා නිදා ගත්තේ බිමය. අම්මා මදුරුදැල් දෙකක් එක්කොට එක් විශාල මදුරුදැලක් සකසා එය වහලයේ එල්ලා පැදුරු වටේට ගඩොල් හතරක් තබා නිදන යහන සකස් කලාය. උදේට සාලය රාත්‍රියට නිදන කාමරය වන්නේය.

තාත්තාගේ ඇඳ දමා තිබුනේ කුස්සියේය. ඒ ඇඳ වටේට ලනු ඇද එහි තෙත රෙදි එල්ලා එය ගුවන්යානයක් සේ බාවිතා කර අපි සෙල්ලම් කලෙමු. එ් අසලින් හිටවන විදුලිපංකාව දැමූ විට ගුවන්යානය තුල සිසිල් වෙයි. අයියා විදුලිපංකාව ඉදිරියට ගොස් “ගුවන්යානය ගුවන්ගතවීමට නියමතයි. සියළු මගීන් ආසනපටි පැලඳගන්න“ විධාන කරයි. විදුලිපංකාව ඉදිරියට ගොස් කතා කරනවිට ඔහුගේ කටහඩ ඇසෙන්නේ ඈත සිට මයික්‍රෆෝනයකින් කතා කරන ආකාරයටයි. ඉන් පසු විදුලිපංකාව ද රෙද්දකින් වැසූවිට ගුවන්යානයක හඞ නිකුත්වෙයි. ඉන්පසු පැමිනෙන්නේ ගුවන්සේවිකාව විසින් මගීන්ට ආහාර සපයන අවස්ථාවයි. අයියාගේ විධානයෙන් නංගී ගොස් ආහාර සූදානම් කරයි. තැටියක් ගෙන එහි අප තුන්දෙනාගේ කෝප්ප තබා ඒවාට සිනි හා කිරිපිටි එක්කර තනාගන්නා විශේෂ ආහාරය දමා රැගෙනවිත් බෙදාහැරීම සිදූකරන්නේ ඇයයි. ඉන්පසු අප තුන්දෙනා එක්වී එහි රස විඳිමු.
කුළි නිවසේ වහලය ටකරන්ය. ඒ නිසා දහවලට උණුසුම දරා ගැනීම ඉතා අපහසුය. එබැවින් අපි දිනපතාම වාගේ ස්නානය කරමු.  ස්නානය කිරීමට ඇත්තේ සිමෙන්තියෙන් බදින ලද විශාල ටැංකියකි. එයට වතුර පුරවා බාල්දියෙන් වතුරගෙන නා ගැනීම දෙමාපියන් සිදුකල ද අප තුන් දෙනාටම ඒ ටැංකියට බැසගතහැකි බැවින් අපි ටැංකියට බැස නා ගනිමු. අම්මා අපට ආකිමිඩිස් ගේ නිරුවතින් දිවූ කතාව කියා දී තිබූ බැවින් අපි ටැංකියට නිරුවතින් බැස ඔහුගේ ඉපිලුම් නියමය ආදර්ශනය කරන්නෙමු.
 එක් දිනක් චිත්‍රපටියක් රූගත කරමුයැයි යෝජනා කොට රූපවාහිනියේ දැක ඇති ජවනිකාවක් රූ ගත කිරීමට සැරසිමු. කතාවේ අධ්‍යක්ෂක තැනද කැමරා ශිල්පියා ද අයියා ය. මම ප්‍රධාන නලුවෙකි. මුලින්ම රූගත කිරීමට තිබුනේ ගෙල වැලලා ගැනීමකි. ඒ සඳහා ලණුවක් ගෙන අපහසුවෙන් අල්මාරිය උඩට නැග ලණුව පරාලයක එල්ලන ලදී. දැන් මට ඇත්තේ මේසය මත පුටුවක් තබා එයට නැග ගෙල වැලලාගෙන පුටුවට පයින් ගැසීමටයි. අයියා සියල්ල සූදානම් කර කැමරාව ඒ දෙසට යොමු කලේය. මම ඇක්ෂන් යැයි කියූ විට පුටුව උඩට නැග්ගෙමි. එවිටම වාගේ සියල්ල කඩාකප්පල් කරමින් තාත්තාගේ මිතුරෙකු නිවසට පැමිණියේ ය. එයින් අපේ සෙල්ලමද නැවතිණි. සකස් කල පසුතලය දුටු තාත්තාගේ මිතුරා කාරණා සියල්ලම අපෙන් දැනගෙන හැන්දෑවේ සිදුවීම තාත්තාගේ කනේ තිබ්බේය. එදා රාත්‍රීයේ ද අයියාට හොඳටම ගුටි කෑමට සිදුවූ අතර නංගිටයි මටයි ද හොඳටම බැනුම් ඇසීමට සිදුවිය. 
     

9 comments:

  1. patta machan kathawa (y)

    ReplyDelete
  2. අම්මේ බොල ඒ මනුස්සයා නේන්න අද මේ සටහනත් නෑ එහෙනං.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්න්නම්. කරුමෙ තමයි ඉතින්

      Delete
  3. තාත්තාගේ යාළුවා තම ඔබගේ ගැලවුම් කාරයා....

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ, දිව්‍යලෝකේ යන්න තිබ්බ චාන්ස් එකක්ද දන්නෑ මග ඇරුනේ

      Delete
  4. තාත්තාගේ යාළුවා තම ඔබගේ ගැලවුම් කාරයා....

    ReplyDelete
  5. තාත්තාගේ යාළුවා තම ඔබගේ ගැලවුම් කාරයා....

    ReplyDelete
  6. තාත්තාගේ යාළුවා තම ඔබගේ ගැලවුම් කාරයා....

    ReplyDelete