Thursday, April 7, 2016

අවීචිකම හා සමාජසේවය

ඔන්න එකෝමත් එක කාලෙක අවිචියේ නරකයන් එකතුවී අවිචීකම රැකගැනීම හා සමාජසේවය පිළිබඳ රැස්වීමක් තිබුණා. ඉතින් එක් නරයෙක් නැගිට මෙසේ අදහස් ඉදිරිපත් කලා. “අපි අපේ අවිචීකම සමාජසේවය උදෙසා පාවිච්චි කල යුතුයි. අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ නරකාදියේ අපි විඳින දුක නැති කිරීමට කටයුතු කල යුතුයි. නැතිනම් ඔවුන් අපට සාප කරාවී. ඒ නිසා මා යෝජනා කරනවා මේ කටු ඉඹුලේ කටු මොට කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ලෝදිය සිසිල් කිරීම සඳහා පර්යේෂණ කිරීම සඳහා අපේ උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පැවරීමටත්.

මේ කතාවට බොහෝ දෙනෙක් අත්පොලොසන් දුන්නා. ඊ ළඟට තවත් අයෙක් නැගිට කම අදහස ඉදිරිපත් කලා. “අපේ සහෝදරයා ප්‍රකාශකලා වගේ අපි මේ නරකාදිය සුරපුරයක් කලයුතුයි. එය අපේ අනාගත පරම්පරාවට වගේම අපටම කරගන්නා සේවයක් වෙනවා. මන්ද නැවත අපි මේ නරකාදියේ උපදිනකොට මෙය දියුණු ලෝකයක් වී තියේවී. ඒ නිසා මා යෝජනා කරනවා කටු ඉඹුල කුෂන් කිරීමටත් ලෝදිය හැලිය උණු කරන ලිප නොදැල්වෙන ආකාරයේ නව තාක්ෂණික ක්‍රමවේදයක් සොයා ගැනීමට පර්යේෂණ කලයුතු බවටත්.

මෙසේ ඔහුගේ අදහසත් ඉදිරිපත් කල පසු තවත් නරකයෙක් නැගිට මෙසේ අදහස් ප්‍රකාශ කලා. “ මට පෙනෙන විදියටනම් අපි මුලාවට පත්වෙලයි ඉන්නේ. කලින් අදහස් දැක් වූ දෙදෙනා නිවැරදි ලෙස ගැටළුව අධ්‍යනය නොකර ඇති බවයි හැඟී යන්නේ. ඔවුන් යෝජනා කරන දේවල් තාවකාලික විසඳුම් පමණක් බවයි මගේ හැඟීම. ඔවුන් ප්‍රකාශ කල පරිදි අපි කටු ඉඹුල කුෂන් කලත් මොට කලත් නැවත අලුතින් කටු සැදී එනවිට පරන කටු හැලී යනවා. ඒ වගේම අපි ලෝදිය උණු කරන ලිපේ ගිනි නැති කලත් යමපල්ලෝ විදුලියෙන් හරි ලෝදිය උණු කරාවී. අපිට කවදාවත් මේ නරකය සුරපුරයක් කරන්න නොහැකී. එම නිසා මා යෝජනා කරන්නේ අපි මේ නරකාදියෙන් බේරී පලා යාමට මාර්ගයක් සොයාගතයුතු බවත් ඒ මාර්ගය ලෝකය පුරා ප්‍රචාරය කර අනාගතයේ මෙහි නොපැමිනෙන ලෙසට ඒ මාර්ගය සියල්ලන්ටම උගැන්වීමත් ය. එවිට අපට නැවතත් කිසි දිනක මේ දුක උරුම නොවනු ඇත. එසේයි අප සමාජසේවය කලයුත්තේ.


ප.ලි. මනුස්ස ලෝකයේද මනුස්සකම හා සමාජසේවය පිළිබඳ මෙවැනි කතා අසන්නට ලැබේ.

2 comments:

  1. මනුස්ස ලෝකෙත් මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. වහෙන් ඔරෝ කිව්වේ ඒක තමා...

      Delete