Tuesday, July 9, 2013

11 ලිපිය - සතුට (අවසානය)

සතුටින් සිටිමේ ක්‍රම යටතේ අපි ක්‍රම කීපයක් සාකච්ඡා කලා. එම ලිපි පෙළහි අවසන් ලිපිය ලෙස එම ක්‍රම නැවත සාරාංශ කිරීමක් මෙම ලිපියෙන් සිදුවේ. ඒ අනුව සැනසීමෙන් එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ ප්‍රායෝගිකව මා විසින් අනුගමනය කරන ක්‍රම කීපයක් මෙලෙස සංශික්ප්තව නැවත දක්වමි.

අප බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ විමුක්තිය ලබා ගැනීමට වඩා සැනසිල්ලේ ජීවත් වීමටයි. නමුත් එසේ ජීවත් වීමේදී අපේ සැනසිල්ලට බාධා පමුණුවන නොයෙක් දේවල් වලට මුහුණ පෑමට අපට සිදුවේ. එවැනි අවස්තාවලදී සිත නැවත සකස් කරගැනීමට පහත ක්‍රම අනුගමනය කලහැක.
  1. වෙනත් කෝණයකින් ප්‍රශ්න දෙස බැලීම
    1. සුභවාදීව බැලීම
    2. පරාර්ථකාමීව බැලීම
  2. අත්හැරීම
    1. කාලය අත් හැරීම
    2. තණ්හාව අත්හැරීම
      1. සම්මුතිය තුලින් අත්හැරීම
      2. පරමාර්ථය තුලින් අත්හැරීම
වෙනත් කෝණයකින් බැලීමේදී අප කලයුත්තේ එක්කො එම ගැටලුව නිසා තමාටත් අනුන්ටත් වන යහපත ගැන සිතා සිත හදා ගැනීමයි. ගම්වල මිනිසුන් යමක් බිදුනු විට “ඇස්වහ යන්නත් එක්ක ඕක බිදුන එක හොදයි“ කියල කියන්නේ ඔය ක්‍රමයෙන් හිත හදා ගැනීමෙනි. නැත්නම්  ගැටලුවකට අදාල අනෙක් පාර්ශ්වයන්ගේ මානසිකත්වයෙන් සිතා සැනසීම ඇතිකර ගැනීමයි. “එයාට හොදක් වෙනවනම් මට මොනව උනත් කමක් නෑ“ කියලා කියන්නේ එහෙම හිතන අයයි. හොදම උදාහරණයනම් දෙමව්පියන් ගැටළුවකදී දරුවන් දෙස බලන ආකාරයයි.

අනෙක් ප්‍රධාන ක්‍රමයනම් අත්හැරීමයි. අප බොහෝවිට සිත් තැවුල් ඇතිකර ගන්නේ පසුගිය සිදූ වීමක් මුල් කරගෙනය. අතීතය යනු කවදාවත් යලි වෙනස් නොකලහැකි දෙයක් ලෙස සිතා එම දේවල් සිතෙන් බැහැර කිරීම මෙයින් සිදු කරයි. අනාගතය ගැනද එසේමය. වර්තමානයේ දී නම් කල යුත්තේ දිගින් දිගට කල්පනා කරමින් නොසිට කරන දෙය (මේ මොහොත) ගැන අවධානයෙන් සිටීමයි. මන්ද අප සිත් තැවුල් ඇති කරගන්නේ සිතින්ම නිර්මාණය කරගන්නා මිත්‍යාවකටයි. උදාහරණයකින් දක්වනවනම් අපට ඇසෙන්නේ ශබ්ද රාශියක් පමණි. ඒ ශබ්ද වචනවලට හරවා එයට අර්ථකතනයන් දී සිත් තැවුල් ඇති කරගන්නේ අපේම සිතයි. 

අවසාන වශයෙන් අපට තණ්හාව අත්හැරීමට පුලුවන්. එය ටික ටික පුහුණු විය යුතු කුසලයක් වන අතර එය ද අපට දෙයාකාරයකට පුරුදු විය හැක. ලෝකයේ පවතින අසුබ, පිළිකුල්, අසාර , අප්‍රිය දේවල් සිහිකර ලෝකය පිළිබද ඇලීම අත් හැරීම හෝ ලෝකයේ පවතින අනිත්‍ය ස්භාවය යතාර්ථවාදීව සිහිකිරිමෙන් ඇලීම දුරු කිරීම එම ක්‍රම දෙකයි.

මෙලෙස විවිධ උපක්‍රම යොදා ගැනීම මගින් අපට එදිනෙදා ජීවිතයේ දී සැනසීමෙන් කල්ගත කිරීමට අපට හැකියාව තිබෙනවා. ඔබ කුමන ක්‍රමයක් බාවිතා කලද එය නිවැරදී ක්‍රමයක්දැයි සලකා බැලිය යුතුයි. ඒ සදහා ඇති හොදම ක්‍රමයනම් තමා සැනසීම ලැබීමට යොදාගන්න ක්‍රමයෙන් තමාටත් අනුන්ටත් කිසිම අයුරක අයහපතක් නොවනවාදැයි සලකා බලන්න. එසේ කිසිවකුටත් අයහපතක් නොවී සැනසීම ලබාගතහැකි ක්‍රමයක් ඇත්නම් එය බාවිතා කරන්න.

ඔබ බාවිතා කරන ක්‍රම ඇත්නම් සදහන් කරන්න. ඔබට නිවන් සුව ලැබේවා !  

2 comments:

  1. තම ජිවිත අත්දැකිම් හරි හැටි අවබෝධ කර ගනිමින් ජිවිතය ට යා කර ගන්නවා නම් ජිවිතය ගලාගෙන යයි.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් හරි හැටි අවබෝධ කර නොගන්න එක නෙව ගැටළුව.

      අදහසට බොහොම ස්තූතියි !

      Delete