Saturday, February 27, 2016

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 2

ලැබුනු අලුත් නිදහස් පරිසරය තුල අපි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීමට පෙළඹුනෙමු. ගෙවත්තක අත්දැකීම අවුරුදු දෙකක් නොලැබුනු අපිට එතරම් විශාල නොවුනත් ඒ වටපිටාව හොදටෝම ප්‍රමානවත් විය. අපේ නිදහස ටිකක් හෝ ඇහිරුනේ සීනි ආච්චිගේ අඳා්ෙවැඩියාව නිසාය. හැමදාම හැන්දාවට වත්තේ මල්ගස් කැඩුවාය, මිදුල හැඩි කලාය යැයි අම්මාට ගතු කීම නිසා අම්මාගෙන් අපට බැනුම් අසන්නට සිදුවිය. අම්මා මෙය අපේ තැනක් නොවන බව සිහිතබාගන්නා ලෙස තරයේ අවවාද කර සිටියාය. නමුත් කොලු වයසේ සිටී අපට එය එතරම් ගනණක් නොවීය. අප සුදුරුදු පරිදි සෙල්ලමෙහි නිරත විය.

මා වඩාත් කැමති වූයේ සර්පයන් ගැන අවධානය යොමු කිරීමටය. එතරම්ම එහි විවිධ සර්පයන් දකින්නට ලැබුණි. වත්තට ඇතුලු වන තැනම ඇඹරැල්ලා ගසට යාව පිහිටි පොල් ගස්, කෝපි ගස් හා වෙනත් පඳුරු වර්ග තිබුනු කොටසේ ඇහැටුල්ලන්, පලා පොළඟන්, මාපිලන් හා අහර කුක්කන් වැනි කුඩා සර්ප වර්ග මෙන්ම නයි ගැරඬි හා පොළඟුන් වැනිතරමක් විශාල සර්පයන් ද ගැවසෙනු දැකගත හැකි වෙයි. දිනක් මට එහි සර්පයින් දෙදෙනකු වෙලී සිටිනු දැක ගන්නට හැකිවිය. පළමුව මා සිතුවේ ඒ ගැරඬි දෙදෙනකුකියාය. නමුත් ලංව බැලූ කල එක් සර්පයකුගේ හිසෙහි වූ 'ප' අකුර දැක ගත හැකි විය. දෙදෙනා එකට වේලී ඇඹරෙමින් රණ්ඩු කරන්නේ ද නැතිනම් ප්‍රේමාලිංගනයේ යෙදෙන්නේ දැයි මට කුතුහලයක් විය. ඒ අවදිය වන විට මා හතර වසරේ සිටී අතර ස්ත්‍රි පුරුෂ ප්‍රේමය ගැන පාසැල් වැන් රියේදී උගෙන ගත්තේ ඒ අවධියේ දීය. මේ නිසා එකට ඇලී සිටින කුහුඹු, මැසි, මැඬි වැනි සතුන් ජෝඩු දකින විට ඔවුන් ප්‍රේමයෙන් වෙලි සිටින්නේ යැයි අදහසක් මගේ සිතට නිතතින්ම පැමිණියේය. මේ නිසා දෝ මා සර්පයින් දෙදෙනාගේ වෙලීමත් හොඳින් නිරික්ෂණයේ නිමග්නව සිටියේ. එහෙත් එක වරටම පොල් ගසක් උඩ සිට වියලි පොල් අත්තක් සමඟ තවත් සර්පයෙක් ඒ අසලට වැටින. ඒ කුමන වර්ගයේ සර්පයෙක් දැයි දැන ගැනීමටත් පෙර උෟ බිලක් තුලට රිංගා ගත්තේ ය. වලිගයේ ස්භාවය අනුව ඒ විශාල ගැරඬියෙකැයි මම නිගමනය කලෙමි. මෙම සිද්ධියෙන් කලබලයට පත් අනෙක් සර්පයින් දෙදෙනා ද වෙලුම ලිහා ගැනීමටවත් ප්‍රමාද නොවී කොළරොඬු අතරේ සැඟවී ගියෝය.

මෙසේ කාලය ගෙවන අතර දිනක් අයියා මට රොබින්හුඩ් කරමුදැයි යෝජනා කලේය. එකල රොබින්හුඩ් යනු අයියාගේ වීරයෙක් විය. අපි ගමේ ඉන්නකාලයේ දුනු ඊ තල සාදාගෙන ටාසන් සමඟ දඩයමේ ගියාට පසු නැවත එවැනි ක්‍රිඩා කිරීමේ අවස්තාවක් අපට නොලැබිණි. ඒ කාලයේ රොබින්හුඩ්ලා සිටියේ නැත. කෙසේ වෙතත් දුන්නකට මගෙත් ආසාවක් තුබූ බැවින් කෝපි දඬු දෙකක් ගෙන එවායේ ලනු දෙකක් බැඳ දුනු දෙකක් සාදා කෝපි කොටුම කීපයක් උල් කර ඊ තල ද සාදාගෙන අපි රොබින් හුඩ් කලෙමු. එහිදි දෙදෙනා මීටර 100ක් පමණ දුර සිට මාරුවෙන් මාරුවට ඊ තල විද ගනිමු. ඊ තල වලින් බේරුනු කෙනා ජය ගන්නා අතර ඊ තල වැදුනු කෙනා පරාජය වේ. අප අතර තුබුනු දුරේ හැටියට ඊ තලයක් වැදුනේ බොහොම කලා තුරකිනි. වැදුනත් උල් කල පැත්තම නොවැදී යන අතර වදින වේගය ද ඉතා අඩු බැවින් දෙදෙනාටම අනතුරක් නොවිනි. එහෙත් සවස් වන විට ඊ තල පැහැදිලිව නොපෙනීමට විය. මේ නිසාම එක් වරම පැමිනි ඊ තලයක් මගේ දකුණු ඇසේ වැදින. වහාම ඇස දෑතින් වසා ගත් මම එතැනම වාඩි විය. එයින් බයටත් තැතිගැනීමටත් පත් අයියා මා අසලට පැමිණ ඇහැ පරික්ෂා කර බැලීය. එය ඇසත් නාසයත් අතර තැනක වැදී ඇති බවත් ඇස කෙලවරින් ලේ ගලන බවත් වහා ඇස සොදාගන්නා ලෙසත් අයියා පැවසීය. නමුත් මට ඇස ඇරගැනීමට නොහැකි විය.අම්මා පැමිණි විට කීමට බොරුවක් ද අපි ගොතා ගතිමු. සාදා ගත් දුනු ඊ තලද හතරට පහට කඩා ඈත වත්තකට විසි කලෙමු.

හවස අම්මා පැමිණි විට ඇසට වූ විපත දැක වහා මා ආරෝග්‍යශාලාවකට ගෙන ගියේය. වත්තේ අැවිදින විට කෝටුවක් ඇනුණු බවයි මා ඔවුන්ට පැවසූවේ. ඇස පරික්ෂා කල වෛද්‍යවරයා ඇසට හානියක් නොමැති බව පවසා බෙහෙත් දමා ඇස රෙදිකඩකින් වැසුවේ ය. ඇසෙහි ගැල්වීමට බෙහෙත් වර්ගයක් ද දුන්නේ ය. ඇස සුව අතට හැරීමට මාසයක් පමණ ගත විය. ඊට පෙර දිනයක දිමි ගොට්ටක් ඇසට වැටීවූ අලකලංචියද එවේලේ මගේ සිහියට නැගින.
  

2 comments:

  1. මට මේ කොටස මිස්වෙලා...
    ඇත්තටම අපි ඒ කාලේ ගෙවපු ළමා කාලය මොනතරම් සුන්දරද...

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම හිතුනට ඒ කාලෙට එහෙම හිතෙන්නේ නෑනේ. ඔහොම තමයි එක්කෝ අතීතය සුන්දරයි නැත්නම් අනාගතේ සුන්දරයි. වර්තමානේ නම් හොඳයි කියලා හිතෙන්නේ නෑනේ

      Delete