Friday, October 5, 2012

අවසාන දින කීපය

දැඩිසත්කාර ඒකකයේ සිටි සති දෙකෙන් පලමු දින දෙක දී මට කිසිදු ආහාරයක් නොලැබුනු අතර වතුර ද ලැබුනේ තොලකට තෙමා ගැනීම සදහා පමණි. අවශ්‍ය සියළු දේ ලැබුනේ බට ආධාරයෙනි. ඒ සති දෙක අවසානයේ සියලු බට ඉවත් කෙරිණි. එය සිදු කලේ හිරි වැට්ටවීමෙන් පසුවය. නමුත් මා බලා සිටිද්දීම ඒවා ඉවත් කිරීම ඇග කිලිපොළා යන්නකි.

සති දෙක අවසානයේ මා ළමා වාට්ටුවට ඇතුලත් කෙරිණ. එහි ඇදන් උසය, ඇද වටා යකඩ වැටකි. මෙතෙක් දවස් අම්මා නිදා ගත්තේ පුටුවක වාඩි වී ඇද මත හිස තබාගෙනය. නමුත් මෙහි දී වැට නිසා එය කල නොහැකි බැවින් අම්මා ද මා සමග ඇදේ නිදා ගත්තාය. දිනක් මහ රෑ ශබ්දයකින් ඇහැරුනි. නර්ස් කෙනෙකු අම්මාට බැන වදිමින් සිටියාය.
"ඔය ළමයව මරා ගන්නද හදන්නේ, ඇද තියෙන්නේ ලෙඩාට මිසක් අම්මලට නෙවෙයි" යනාදී දොස් නගමින් නර්ස් කෑ ගැවාය. ඒ හඩින් ඇහැරුණු අනෙක් ළමෝද පූස් පැටව් මෙන් චෑස් චෑස් ගාන්න ගත්තෝය.  එදායින් පසු අම්මා නිදා ගත්තේ ඇද යටය. මට අම්මා ගැන දුක සිතුණි.

දිනක් හදිසියේ බබෙක්ව වාට්ටුවට ඇතුල් කලේය. ඩොක්ටර් ඇවිත් ළමයාට සේලයින් දිය යුතු බැවින් සමනල කටුවක් ගෙනෙන ලෙසට මවට දැන්වීය. වාට්ටුවේ සිටින සියලු අය එවැනි කටුවක් ලග තබා ගැනීමට උපදෙස් ලබා ඇත. ඒ අවස්ථාවේ දී කිසිවකුත් තමා සතු කටුව දීමට ඉදිරිපත් නොවූයෙන් ඇයට සිදුවූයේ ෆාමසියක් සොයා යෑමටයි. ඒත් එවේලෙහි අම්මා මා වෙනුවෙන් තබා ගෙන සිටි කටුව ඇයට පිරිනැමූ බැවින් වහා ළමයාට ප්‍රතිකාර කල හැකි විය.

රෝහලේ සිටි අවසාන දින කීපයේ මා බැලීමට නෑදැයින් හා හිතවතුන් කීප දෙනෙකුම පැමිණියෝය. ඒ අතර මට ලේ දුන්නු අමරේ මාමා ද , නිහාල් අංකල්ද සිටියෝය. තාත්තා ද මට ලේ දී තිබිණ. නමුත්  බොහෝ දිනවල මට තනිවම දිවා කාලය ගෙවා දැමීමට සිදු වූයේ  අම්මා සැමදා වැඩට ගිය බැවිණි. සමහර දිනවල වෙනත් ලෙඩුන් බලන්නට එන අය මා සමගද කතා කර ගියේ මා තනිවම ඇදේ සිටිනු දැක විය හැක.

අවශ්‍ය පරීක්ෂණ සදහා ද මා තනිවම ගියේය. රෝහල මට ගෙදර තරම්ම විය. බොහෝ දෙනෙකු මා ගැන ආඩම්බර විය. මට තෑගී බෝග ද ලැබිණ. මෙසේ මාසයක් පමණ ළමා වාට්ටුවේ ගත කලේය.

1 comment:

  1. කලින් කොටසුත් කියවලාම මේකත් කියවන්න ඕන...

    ReplyDelete